සමාජය වෙනස් කළ හැකිද?’ – (ඍණාන්තයෙන් ධනාන්තයට)

71

සාමාන්‍යයෙන් මිනිස් ආත්මයක උපතේ පටන් ගලා යන අවකාශයක අප අරමුණු දෙයාකාර වේ. ඉන් ප්‍රමුඛතම පළමුවැන්න වන්නේ පුද්ගලික (Personal) නැතහොත් යමකු තමා සංවිධානය කරගන්නට නැතිනම් තමා තෘප්තිමත් කරගන්නට දරන උත්සාහයන්ය. විශේෂයෙන් මානව වංශ කතාවේ ගෝත්‍රික අවධිය තුළත් මෑත කාලීනව දෙවන ලෝක යුද්ධයෙන් මෙපිටට වර්ධනය වන ගෝලීය ලිබරල් දේශපාලන අර්ථ ක්‍රමය තුළ ද අප සියල්ලට ම වඩා පුද්ගලික අරමුණු මත ලබා දෙනුයේ විශේෂ සැලකිල්ලකි. නමුත් මෙය මහත් අපහසු කාරණයක් නොවේ. මන්ද තමා පිළිබඳව වගකීම තමා විසින් දැරීම ඕනෑම අයකුට කළ හැකි කටයුත්තක් වීම නිසයි. එහි සිතන්නට හෝ අරුමත්වයක් දැකීමට යම් දෙයක් තවත් නොමැත. ලොව බොහොමයක් දෙනා හුස්ම නවතින තුරුම කරන්නට උත්සාහ කරන දෙය එය වන බව සැබෑවකි. නමුත් සමාජය වෙනස් කිරීම නම් විරල සිද්ධාන්තය හමුවන්නේ ඉහත දෙවැන්න විභාග කිරීමේදීය. සැබෑ වශයෙන් පෞද්ගලිකත්වයෙන් ඔබ්බට හමුවන මේකී අරමුණු තම ජීවිතය කොට ගන්නේ ලොව 1%ක් පමණි. එය නම් තම සමාජීය අරමුණුය. මෙහිලා සමාජීය අරමුණු යනු කුමන පෞද්ගලික අභිමතාර්ථයක් යටතේ වුවද සමාජීය වශයෙන් පුද්ගලයකු හීන දකින අවකාශයයි.

එසේ කරන්නට සෑම දෙනාට ම නොහැකිය. තමාව හැකි උපරිමයෙන් තෘප්තිමත් කිරීමට හැකි බොහෝ අයට සමාජය වෙනුවෙන් ඇතැම්විට මිය යන තුරුම කිසිවක් කිරීමට නොහැකි වී ඇත. ඒ සඳහා විරල ලෙස මනුෂ්‍ය ආත්මයක පිහිටන සමාජ ආදරය අවශ්‍යය. අප උක්ත ප්‍රස්තුතය මතුවන්නේ මෙවැනි අවකාශයකයි. එනම් කුමන කෝණයකින් බැලුවත් විරල වන සමාජීය අරමුණක් වන සමාජය වෙනස් කිරීමයි. මෙය බොහෝ අධ්‍යතන සමාජවල අර්ථ දක්වනු ලබන්නේ රචනා ශෛලියේ අසම්භාවිගත, කළ නොහැකි ඉතාමත් පටු ලෙසිනි. එහිදී ඔවුන් එය දකින්නේ සමස්ත සමාජයක මිනිසුන් සියල්ලන්ගේ හැඩහුරුව එකම ආකෘතියකට හැඩගස්වීමක් ලෙසයි. එය ඉතාමත් සාවද්‍ය වන අතර සංස්කෘතික ජීවිත ඇති කිසිම රටක එසේ කිරීම කළ නොහැකි වන සහ නොකළ යුතු යමකි. එය හුදෙක් එක් මානයක ඒකාකෘතිකරණයක් (Stereotype) වන අතර විය යුත්තේ එය නොව සමාජයක් තුළ එකිනෙකා හට තම තමන්ට අනන්‍ය ක්‍රමයකට පැවතීමට ඉඩ දීමය. එය එසේ වුවද බොහෝ අය වෙනස් කිරීම යන්න අර්ථ දකිනුයේ යටත් පිරිසෙන් සියල්ල එකම ලෙසකට කණපිට හැරවිය යුතු බවකි. වැරදි කොණ ඇත්තේ එතැනය. සමාජය වෙනස් කිරීම ඇත්තේ එතැන නොව සැබැවින්ම සමාජය වෙනස් කිරීම යනු අන් කවරකුත් නොව සමාජයේ කුමන හෝ සන්දර්භයකට අදාළ පවතින තත්ත්වය වඩා සාධනීය ලෙස වෙනස් කිරීමට දරන අව්‍යාජ මැදිහත්වීමකි.

කිසිවිටෙකත් සියල්ලන් එය කොහොමත් පිළිනොගනු ඇත. එයට ආශිර්වාද ද නොකරනු ඇත. ඒ වෙත ප්‍රවේශ වෙද්දි ඍණාත්මකව පැහැදිලිවම අධෛර්යමත් කරනු ඇත. මෙය ලෝක ඉතිහාසය පුරාවට ම කොහොමත් එසේමය. මන්ද බහුතරයක් ධනාත්මක ප්‍රවේශයට අකමැති නිසාය. එනමුත් පෞද්ගලික අවකාශයකට වඩා මඩ ගොහුරු වූ පද්ධතියක් වඩා සාධනීය තැනකට රැගෙන යෑම වැනි ගුණාංගයක් කලාතුරකින් යමකුට උපතින් විරල ලෙස පිහිටා තිබිය හැකිය. ඊට ස්වරූපය අදාළ කර නොගෙන එකී මැදිහත්වීම කළ යුතුය. ඇතැමුන් අර්ථ දක්වන අන්දමට එකී සමාජ වෙනස් කිරීම අපේක්ෂා කළ හැක්කේ දේශපාලනයෙන් පමණක් නොවේ. එහි වැඩි අවධාරිත බලයක් තිබුණ ද මානව ජීවිතය තුළ හා සබැඳි සෑම සන්දර්භයක් හරහා ම එකී මැදිහත්වීම (Particular Involvement) කළ හැකිය. කලාව ආගම, ලේඛනය, සාහිත්‍ය, මාධ්‍ය ආදී ඕනෑම ව්‍යුහාත්මක පරිසරයකින් එකී මැදිහත්වීම කළ හැකිය. මේ ඕනෑම යමක් තුළින් පවතින තත්ත්වය අපටහට වඩා සාධනීය ලෙස වෙනස් කළ හැකිය. උදාහරණ ලෙස පශ්චාත් නිදහස් ලංකාව තුළ ගැමි ශෛලිය උපයෝගී කරගනිමින් මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලාංකීය ආසන්න 20 වන සියවසේ ගැමි සමාජය වෙනසකට සංශෝධනය කිරීමට සමත් විය.

එපමණක් නොව වර්ෂ 1980 දශකයෙන් මෙපිටට ශාස්ත්‍රීය බටහිර විද්‍යාවට අභියෝග කළ මහාචාර්ය නලින් ද සිල්වා ද එවැන්නෙකි. පැවැති අනවබෝධය සහ ජාතික උන්මාදය ඇති කිරීමෙහිලා දහසක් අභියෝග මැද බටහිර විද්‍යාවේ කඩා වැටීමත්, ජාතිකත්ව රාජ්‍යයක අවශ්‍යතාවත් ඒත්තු ගැන්වීමටත් (Persuate) ඔහු කළ මැදිහත්වීම එවැන්නකි. සියල්ලන්ගේ ඔළුගෙඩි වෙනස් කිරීම පුහු යමකි. එය ප්‍රායෝගික ද නැත අවශ්‍ය වනුයේම සමාජයේ ප්‍රමුඛ තැනකට ගෙන හැකි පිරිසෙන් ප්‍රමාණයකට හෝ ආමන්ත්‍රණය කිරීමටය. ලාංකීය සන්දර්භය තුළ එවැනි වර්ෂ රැසක් හමුවුණු බව විශේෂයෙන්ම දැකිය හැකිය. එනමුත් අවසානයක් ලෙස එකී ගමන පහසු නැත. මන්ද දහසක් අභියෝග කම්කටොලු මතින් මෙවැනි මිනිසකු තම ගමන ආරම්භ කළ විගසම සමාජය සිදුකරන එල්ල කරනු ලබන්නේ දැඩි ඍණාත්මක ප්‍රහාරයකි. මන්ද තෝරාගත් ගැටලු විනිවිධ දැකීමට ලොව මිනිසුන් කැමති වුවත් එයට පිළිතුරු ලෙස පද්ධති ශෝධනයට සමාජය වැඩිපුර කැමති නැති හෙයිනි. බලා සිටින අත බලා යන ක්‍රමයට හැඩ ගැහීමට බොහෝ අය දක්ෂ අතරම උන් ඉතිහාසය පුරාවට ම ඔවුන්ට අත්පොළසන් එල්ල කෙරීය. නමුත් එය තාවකාලිකය. සමාජයක ලේවලින් ලියවෙන්නේ උඩුගම් බලා පීනන අය පමණකි. මන්ද දුෂ්කර සමාජ දූෂිත පද්ධතියක වුවද අසාධනීය දෑ සැමදා එක ලෙස පවතින්නේ නැත. ඒවා නිර්මාණය වූ මුල් විනාශ වී වූ විගස පද්ධතිය විප්ලවයකට භාජනය වේ.

එපමණක් නොව, ඇතැමුන් මෙවැනි අයකුට දෙන ප්‍රබලතම චෝදනාව නම් එවැනි යමකට ඉදිරිපත් විය යුතු ඇයි ද? යන්නයි. එකී යහපත් චේතනාව අප තුළම තබාගෙන සිටීම සරල සුගම බවත් ඔවුන් හේතු ලෙස දක්වයි. මෙකී සංකථනයේ විෂ සහිතම (Most Toxicable) තැන මෙය වේ. නිකමට කල්පනා කොට බලමු. සමාජයේ සෑම අයකුම මේ ආකාරයෙන් සිදු කළහොත් සමාජය දිශානතියට කුමක් සිදු වේවිද? දහසක් එලෙසින් සිතුවත් එසේ නොවන යමක් අව්‍යාජ චේතනාවෙන් කළ යුතු යැයි කල්පනා කරන අයවලුන් එකෙක් හෝ සෑම සන්දර්භයකම උත්පාදනය වෙයි. එනමුත් අවසනදී අනෙකුත් දහසකගේම ජීවිත එළිය කරන්නේ ඇතැම්විට එම තැනැත්තාය. එවැන්නකුට තම අරමුණ මිසක ඒ වෙත යෑමේදී කෙරෙන බාධා, අභියෝග තමාට වේතනයන් අහිමිවේද? යන්න නොසිතිය යුතුමය. කල්පනා කළ යුත්තේ දිවි හැරී යන දාට තමා වෙනුවෙන් නොව නොමැරෙන ලෙස සමාජීය වශයෙන් ස්ථාපනය කළ දෑය. ඒවා සදාකාලිකය. ඒ සඳහා අවශ්‍ය එක් දෙයක් පමණකි. දූෂිත පද්ධතියක් කුමන ආකාරය විපර්යාසයකට ලක් වුවත් අවසානයේ ඉලක්කය පමණක් සංජානනය වන දැඩි මනසක් තමාට තිබිය යුතුය. එම ගමනේදී ඒ සියල්ලක් මුණගැසීම් ලෙස සලකා යන ගමන වැළැක්වීමට කිසිවකුටත් නොහැකිය. අප හැමදාමත් සංකේන්ද්‍රණය විය යුත්තේ එතැනටය. හොඳ හොඳ ලෙස තබාගෙන නිෂ්ක්‍රීය ලෙස (Deactivate) සිටීමට සියල්ලක්ට නොහැකිය. එකෙකු හෝ පවතින සමාජ තත්ත්වයන් වෙනස් කිරීමේලා ඉදිරිපත් වන්නකු වීමට ඇති ආලය ඇතිවේ.

එය පෙර සඳහන් කළ සමාජ ආදරය තුළින් විරලවම පිහිටන්නකි. නිර්භයව වුවත් සමාජය අත්පොළසන් දිය යුත්තේ එවැන්නකුටය. යහපත් චේතනාව සමගින් එතැනට ගමන් කිරීමේදී කුමන බාධා පැමිණිය ද ලෝකෝත්තර දිවිය තුළ එය පරාජය නොවේ. බෞද්ධ ජාතක කතාවක් නිර්මාණය වීමට තරම් බෝසතුන් වීර්යය වැඩුවේ ද එම කාරණය සංසාරික ජීවිතය තුළ යථාර්ථයක් කළ නිසාය. ඒ නිසාවෙන් සමාජය වෙනස් කිරීම මෙන්ම ඊට අනුගත යහපත් හෘද සාක්ෂිය ද අප සැමදා ප්‍රකටීකරණය කළ යුතුමය.

● සහන් ඇලෙක්සැන්ඩර්
කොළඹ විශ්වවිද්‍යාලය

සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment