මානසික රෝගියා පහර කා මිය යෑම: හෙදියන් දෙදෙනාට රට යෑම තහනම්

1252

රෝහල් සේවකයන් සිව්දෙනා 12දා තෙක් යළි රිමාන්ඩ්

මානසික රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අංගොඩ මානසික රෝහලට ඇතුළත් කර සිටි 46 හැවිරිදි එක්දරු පියකු රෝහල් සේවකයන්ගේ පහරදීමෙන් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහලේ සේවය කරන හෙද නිලධාරිනියන් දෙදෙනෙකුට විදේශ ගතවීම වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (05දා) නියෝගයක් නිකුත් කළාය.

එම හෙද නිලධාරිනියන් දෙදෙනාද එම පහරදීම සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ සිට ඇති බව සී.සී.ටී.වී දර්ශන අනුව පැහැදිලි වන බවත් ඔවුන් දෙදෙනා ද එකී විමර්ශනවල සැකකාරියන් ලෙස නම් කිරීමට ඉඩකඩ පවතින බවත් කියමින් පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය වහාම ආගමන විගමන බලධාරීන් වෙත යැවීමට ද නියෝග කළාය.

එකී මරණය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසිය සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමට පත්නොවන බවත් එබැවින් විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියෝගයක් කරන ලෙසත්, මියගිය අයගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ. මරණය සිදුවී බොහෝ දිනක් ගතවී ඇතත් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේ සාක්‍ෂි කැඳවීමකට හෝ මේ දක්වා පියවර නොගැනීමෙන්ම පොලිසිය සිදුකරන විමර්ශනවල උදාසීන භාවය පෙන්නුම් කරන්නේ යැයි කියමින් එම නීතිඥවරු එම ඉල්ලීම කළහ. සාක්‍ෂි කැඳවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන බව පෙන්වා දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරිය ලබන 12 වැනිදා සාක්‍ෂි කැඳවීමට පියවර ගන්නා ලෙසට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළාය.

එම රෝහල තුළදී නේවාසික රෝගීන්ට මින් පෙරද අමානුෂික ලෙස පහරදීම් සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතත් රෝහලේ සවිකර ඇති සී.සී.ටී.වී. දර්ශන සහිත දත්ත රෝහල් අධ්‍යක්‍ෂවරිය විසින් විටෙන් විට ගලවාගෙන ඇගේ භාරයට ගෙන ඇති බවත් එබැවින් ඒවා අනාවරණය කර ගැනීමේ අවස්ථාව අහිමිවී ඇති බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවසූහ. එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකාර රෝහල් සේවකයන් සිව්දෙනා ලබන 12 වැනිදා දක්වා තවදුරටත් රෝහල් ගත කිරීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment