මට සමාවෙයන් රත්තරන් මල්ලියේ කුඩු තමයි මේ ඔක්කොම කළේ – තමා අතින් ඝාතනය වූ මල්ලිගේ දේහය අසල හඬා වැටෙමින් රිමාන්ඩ් එකේ සිට ආ අයියා කියයි

1201

ඇයි මගේ දරුවයි මාවයි අසරණ කළේ – මියගිය පුද්ගලයාගේ බිරිඳ කියයි

“මට සමාවෙයන් රත්තරං මල්ලියේ. උඹ වැරදි නැහැ. කුඩු තමයි මේ ඔක්කොම විනාශය කළේ” යැයි සිය අතින් ඝාතනයට ලක් වූ මල්ලිගේ දේහය අසළ හඬා වැළපුණු අයියා එසේ පැවසීය.

ඔහු රක්‍ෂිත බන්ධනාගාරගතව සිට බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණය මැද සිය සොහොයුරාට අවසන් ගෞරව දක්වන්නට කිරුළපන නිවසේ තැන්පත් කර තිබූ සිය බාල සොහොයුරාගේ දේහය අසලට පැමිණ එසේ කීය.

කිරුළපන පදිංචිව සිටි අමිල සඳරුවන් නමැති 29 හැවිරිදි විවාහකයෙක් තම වැඩිමහල් සොහොයුරා එල්ල කළ පිහි පහරකින් පසුගිය 16 වැනිදා මරුමුවට පත්විය.

ත්‍රිරෝද රථයකින් තම දරුවා පෙර පාසල් රැගෙන යෑම සඳහා බාල සොහොයුරා (මරණකරු) සූදානම් වෙමින් සිටියදී පිටුපසින් පැමිණි වැඩිමහල් සොහොයුරා පිහියකින් ඇන අදාළ ඝාතනය සිදුකර තිබූ බව කිරුළපන පොලිසිය කියයි.

දේපළ ගැටලුවක් මෙම ඝාතනයට හේතු වී ඇතැයි ද පොලිසිය පවසයි.

ඝාතනය සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට සිය බාල සොහොයුරාට අවසන් ගෞරව දක්වන්නට පැමිණි වැඩිමහල් සොහොයුරා මෙසේද කීය.

“උඹලා දන්නේ නැහැ උඹලට වැඩිය මගේ මල්ලිට මම ආදරෙයි. මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ. මගේ ජීවිතේ උඹට තරම් ආදරේ කළේ නැහැ මගේ වස්තුවේ. මල්ලියේ උඹගේ හිනාව මට මැවි මැවී පේනවා බං. මේ කුඩු නිසා තමයි අද ජීවිතයක් නැති වුණේ. මං හිතලා මේ දේ කළේ නැහැ රත්තරනේ. මල්ලිගෙ චරිතය පට්ට චරිතයක්. අවංක කොල්ලෙක්. මල්ලි වැරදි නැහැ. කුඩු තමයි මේ ඔක්කොම විනාශය කළේ.” (පපුවට ගහගෙන හගගෙන යමින් හඬයි)

මෙහිදී මියගිය සොහොයුරාගේ බිරිඳ මෙසේ කියා සිටියාය.

“ඇයි මගේ දරුවයි මාවයි අසරණ කළේ. එහෙම කරන්නෙ නැතුව ඉන්න කියලා මම වැන්දා නේද? මගේ දරුවා ගැන හිතන්න කියලා කියද්දිත් ඔයා එහෙම කළා”

“මට සමාවෙයන් නංගියේ’ කියමින් වැඩිමල් සොහොයුරා හඬා වැටුණේය.

පසුව ඔහුව බන්ධනාගාරය වෙත රැගෙන යෑමට බන්ධනාගාර නිලධාරීහු පියවර ගත්හ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment