ලේඛන කලාව හා බැඳුනු වෛරෝඩිය

51

Cat Eye හෙවත් බළල් ඇස ලෙස නම් දරා ඇති වෛරෝඩිය නූල සහිත මැණිකකි. මැණික් ඉතා දීප්තිමත් වුවද, වෛරෝඩිය දීප්තියෙන් ඉතා අඩු මැණිකකි. වෛරෝඩි මැණික් වර්ග කිහිපයකින් දැකිය හැක. සුදු වෛරෝඩි, කහ වෛරෝඩි, අළු වෛරෝඩි, කොළ වෛරෝඩි හා දුඹුරු වෛරෝඩි ලෙසය. මේවායින් සුදු වෛරෝඩි බහුලව පවතී. මෙම සෑම පාටක වෛරෝඩියකම අඩසඳ වන් නූලක් දැකිය හැක.

සාමාන්‍යයෙන් සිංහල බෞද්ධයන් මැණික් පැළඳීම බහුලව සිදුකළද අන්‍යජාතිකයන් මැණික් පැළඳීම කලාතුරකින් සිදුකරන්නකි. නමුත් වෛරෝඩි මැණික අන්‍යජාතිකයන් බෙහෙවින් පැළඳීම සිදුකරයි. මීට අමතරව ඕනෑම වයස් මට්ටමක අයකුට වෛරෝඩි මැණික පළඳා සුභඵල උදාකරගත හැක. එය වෛරෝඩියේ ඇති සුවිශේෂී බලයකි.

වෛරෝඩි මැණික පැළඳීමෙන් රැකී රක්‍ෂා දියුණුව ඇතිවීම, ලැබුවා වූ දියුණුව වේගවත් වීම, අධ්‍යාපන කටයුතුවල දියුණුව ඇතිවීම, විභාග ආදියෙන් ජයලබා ගැනීම, මතක ශක්තිය වර්ධනය වීමට හේතු වේ. මීට අමතරව විවාහ ප්‍රමාද වූවන්ගේ විවාහ ඉක්මන් වීම හා විවාහ ජීවිතයේ සතුට සමගිය වර්ධනය වීම සිදුවේ.

ඡායා ග්‍රහයන් දෙදෙනාගෙන් අයෙක් වන කේතු ග්‍රහයාට අයිති මැණික ලෙස වෛරෝඩිය නම් දරයි. කේතු ග්‍රහයා හුදෙක් ශාස්ත්‍රීය කටයුතුවලට හිමිකම් කියන බැවින් ශාස්ත්‍රීය කටයුතුවල යෙදෙන්නන් එනම් ලේඛන කටයුතු, ග්‍රන්ථකරණය වැනි දේ කරන්නන් වෛරෝඩි මැණික පැළඳීමෙන් එම කටයුතුවල උසස් දියුණුවක්, උසස් නැග්මක් ලබාගත හැක. මෙම සුභ ඵලවල ප්‍රබලතාවය කේතු ග්‍රහයාගේ මහදශා, අතුරුදශා, විදශා, ප්‍රාණ දශා කාල උදාවෙත්ම දැකගත හැක.

වෛරෝඩි මැණික පැළඳීමෙන් ලැබෙන සුභඵල ඉහත ආකාර වුවද හිතුමතේට වෛරෝඩි පැළඳීම නොකළ යුතුයි. අදාළ ජන්මියාගේ භාව කේන්ද්‍රය තුළ කේතු ග්‍රහයා ප්‍රබල බලයකින් යුක්තව සිටියදී පැළඳීම තුළින් සුභඵල උදාකර ගත හැක. එනම් කේතු ග්‍රහයා කේන්ද්‍රය තුළ උච්ඡ, ස්වක්‍ෂේත්‍ර, මිත්‍ර හෝ නීච භංග රාජයෝග බලයෙන් සිටී නම් වෛරෝඩිය පැළඳීම තුළින් උසස් ප්‍රතිඵල ලබාගත හැක. යම් හෙයකින් කේතු ග්‍රහයා සතුරු, සම, සතුරු මුළු හෝ භංග නොවන නීචයක වේ නම් කිසිවිට එවන් ජන්මීන්ට වෛරෝඩි මැණික පැළඳීමට නිර්දේශ නොකරන්න. එවන්නවුන් වෛරෝඩි මැණික පැළඳීමෙන් ජීවිතයම උදාසීන වී අඩපන වී යෑම සිදුවේ.

තවදුරටත් විස්තර කළහොත් ජන්ම පත්‍රය තුළ කේතු ග්‍රහයා මීන, වෘශ්චික, සිංහ, මේෂ, කටක, ධනු වැනි කේතුට හිතකර රාශියක වේ නම් එවන් ජන්මීන්ට වෛරෝඩි මැණික පැළඳීමෙන් සියලු සුබඵල උදාකරගත හැක. කේතු ග්‍රහයා ජන්ම පත්‍රය තුළ මෙවන් රාශියක ප්‍රබලව සිට, එම කේන්ද්‍රය හිමි ජන්මියාගේ ජන්ම නැකතද අස්විද, මා, මුල යන කේතුගේ නැකැත් තුනින් එකක් වුණි නම් සුභ ඵල තව තවත් තීව්‍ර කරනු ඇත.

යම් හෙයකින් ජන්ම පත්‍රය තුළ කේතු ග්‍රහයා වෘෂභ, කන්‍යා, තුලා, මකර, කුම්භ වැනි කේතුට අහිතකර රාශියක වේනම් වෛරෝඩිය පැළඳීමෙන් අශුභ ඵල රැසක් නිසැකවම හිමිවේ.

මෙම වෛරෝඩි මැණික පැළඳීමේදී ශරීරයේ ස්පර්ශ වන තරමේ විශාලත්වයකින් යුත් වෛරෝඩියක් පැළඳීමට වගබලා ගන්න. ශරීරයේ ස්පර්ශ නොවන වෛරෝඩියකින් කිසිදු ඵලයක් හිමි නොවේ. ඒ සඳහා මුදුවකට හෝ පෙන්ඩනයකට වෛරෝඩිය ඔබ්බවා පළඳින්න.

වෛරෝඩියෙන් ලැබෙනා සුභඵල එක් එක් ලග්නයට බලපාන ආකාරය විමසා බලමු.

ජන්ම පත්‍රය තුළ කේතු ග්‍රහයා බලවත් වූ මේෂ ලග්න හිමියෙක් වෛරෝඩි මැණිකක් පැළඳීමෙන් මාරක අපල, මාරක අනතුරු ආදියෙන් බේරීමේ අවකාශ උදාවන අතර විදෙස්ගතවූ ජාතීන්ට හා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයට සුභ ඵල උදාකරයි. විදෙස් රැකියාවේ දියුණුව, තිබූ කරදර බාධක දුරුවීම් මෙන්ම පඩි වැඩිවීම්, තනතුරු උසස්වීම් ආදිය සිදුවනු ඇති අතර දරුඵල අහිමි වූවන්ට හා දරුඵල ප්‍රමාද වූවන්ට මෙම මැණික පැළඳීමෙන් සහන උදාවනු ඇත. අධ්‍යාපනයෙන් ජය හිමිවන අතර ධාරණ ශක්තියද වැඩිදියුණු වේ. ඉගෙනීමට උනන්දුව හා කැපවීම නොවඩුව ඇතිවේ.

වෘෂභ ලග්න හිමියෙක් වෛරෝඩි මැණික පැළඳීමෙන් ඔහු හෝ ඇයට ගේ දොර දියුණුව ඇතිවන අතර ඉඩකඩම් ලාභ, වාහන ලාභ හිමිවනු ඇත. තවද ගෘහ ජීවිතයේ ඇති ප්‍රශ්න, ගැටලු නිරාකරණය වී අඹුසැමියන් අතර ආදරය, කරුණාව වර්ධනය වනු ඇත. විවාහ ප්‍රමාද වූවන්ටද විවාහ යෝජනා පැමිණෙන අතර විවාහ ස්ථිර වීම්ද සිදුවනු ඇත. තවද මොවුන්ගේ ආදායම් මාර්ග වර්ධනය වී ලැබීම් ද වැඩිවනු ඇත.

කේතු ග්‍රහයා බලවත් මිථුන ලග්න හිමියකු මෙම මැණික පැළඳීමෙන් ඔහුට හෝ ඇයට ඇති සහජ දක්‍ෂතා මෙන්ම කුසලතාද ඔප්නැංවී එයින් ඵල ප්‍රයෝජනද හිමිවේ. සහෝදර සහෝදරියන්ගේ දියුණුව මෙන්ම ඔවුන්ගේ උදව් උපකාරද නොවඩුව හිමිවනු ඇත. එමෙන්ම එතෙක් පැවැති සතුරු කරදර මෙන්ම රෝග පීඩාද සමතයකට පත්වනු ඇත. රැකියාවේ දියුණුව, උසස් වීම් මෙන්ම

රැකියාවේ පඩි වැඩිවීම්ද නිතතින් සිදුවේ. රැකියාවේ තිබූ බාධකද නැතිවී සහනය උදාවේ.

කටක ලග්න හිමියෙක් වෛරෝඩි මැණිකක් පැළඳීමෙන් ආර්ථික අපහසුතා මග හැරී ධනය ගලාගෙන ඒම සිදුවේ. විශේෂයෙන් හදිසි ධනලාභ ඇතිවීමට බොහෝ ඉඩකඩ වැඩිය. ව්‍යාපාර දියුණු වී අතමිට සරු කාලයක් උදාවේ. දරුඵල අහිමිවූවන්ට මෙන්ම දරුඵල ප්‍රමාද වූවන්ටද බොහෝ සහන අත්වනු ඇත. ඉගෙනීමේ කටයුතු ප්‍රවර්ධනය වී අධ්‍යාපනයෙන් විවිධ ජයග්‍රහණ නිතතින් ලැබෙනු ඇත. ඉගෙනීමට අලස ගති ඇති අයටද ඉගෙනීමට, පාඩම් කිරීමට ප්‍රියතාවය ඇතිකරයි. මෙම මැණික පැළඳීමෙන් මොවුන්ගේ පෙර පිංද මතුකරවීම සුවිශේෂී ගුණයක් වේ.

සිංහ ලග්න හිමියෙක් වෛරෝඩි මැණික් පැළඳීමෙන් ඔහුගේ හෝ ඇයගේ පෞරුෂය මෙන්ම ආත්ම ශක්තියද වර්ධනය වනු ඇත. ආත්ම අභිමානය හා ආත්ම විශ්වාසයද නිතතින් වර්ධනය වනු ඇත. එමෙන්ම ගේ දොර දියුණුව, ඉඩකඩම් ලාභ හිමිවේ. නිවසට අලුත් ගෘහභාණ්ඩ මිලදී ගැනීම්, වාහන ආදිය මිලදී ගැනීම් සිදුවේ. එමෙන් ඇතිවීමට ඇති මාරක අපල හා අනතුරුවලින් බේරීමේ අවකාශ ලැබේ. වැළැක්විය නොහැකි මාරක අනතුරක් වුවද සුළු අනතුරක් වී සමතයකට පත්වේ.

කන්‍යා ලග්න හිමියෙක් වෛරෝඩි මැණිකක් පැළඳීමෙන් ඔවුන්ගේ සහජ දක්‍ෂතා මෙන්ම කුසලතාද ඔප්නැංවෙන අතර එමගින් දියුණුවද උදාකර ගනී. විවාහ ජීවිතයේ ඇති ප්‍රශ්න, ගැටලු මගහැරී යුවතිපතීන් අතර ආදරය, ගෞරවය

ගොඩනැඟේ. විවාහ ප්‍රමාද වුවන්ගේ විවාහ ඉක්මනින් වේ. විවාහ යුවල අතර ශාරීරික දුබලකම් වේ නම් ඒවාද මෙම මැණික් විශේෂය පැළඳීමෙන් දුරුවී යනු ඇත. විදෙස්ගතව සිටින අයටද වාසි මෙන්ම සහනද හිමිවනු ඇත. විදෙස් ගමන් හෝ දුර ගමන් යෑම මගින් දියුණු විය හැක.

තුලා ලග්න හිමියෙක් වෛරෝඩි මැණිකක් පැළඳීමෙන් ඔහු හෝ ඇයට ධනය ගලා එන කාලයක් උදාකර ගත හැක. ව්‍යාපාර ආදිය සාර්ථක වී අත මිට සරුවේ. හදිසි ධන ලාභ මතු කරන වකවානුවක් වනු ඇත. ඊට අමතරව මෙම ජන්මියාට පැවැති සතුරු කරදර, ලෙඩ දුක් ආදිය සමතයකට පත්වන අතර හරි හම්බ කිරීමට තිබුණු දුෂ්කරතාද මගහැරී යනු ඇත. ආදායම් තත්ත්වය හොඳ වී නිතර සතුටින් සිටීමට වරම් හිමිවේ.

වෘශ්චික ලග්න හිමියෙක් වෛරෝඩි මැණික පැළඳීමෙන් ඔවුන්ගේ දරුවන්ගේ දියුණුව, අධ්‍යාපනය සාර්ථක වීම්, දරුඵල ප්‍රමාද වූවන්ට සහන උදාවීම් ආදිය සිදුවන අතර පෞරුෂ වර්ධනයද නොවඩුව සිදුවේ. ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා ආත්ම අභිමානයද නොවඩුව හිමිවන අයෙකි. ඊට අමතරව රැකී රක්‍ෂා දියුණුව, රැකියා උසස් වීම් හා එතෙක් පැවැති රැකියාවේ දුෂ්කරතා පහව යනු ද දැකිය හැක.

ධනු ලග්න හිමියෙක් වෛරෝඩියක් පැළඳීමෙන් ගේදොර දියුණුව, යාන වාහන වතුපිටි මිලදී ගැනීම් වැනි දේ සිදුවන අතර කුලී නිවසියන්ට තමන්ගේම නිවසකට යෑමේ භාග්‍යයද හිමිවනු ඇත. මෙම මැණික පැළඳීමෙන් අදාළ ජන්මියාගේ පෙර පිං පලදීමද සිදුවේ. එනිසා බොහෝ සුබඵල අත්වනු දැකිය හැක. විදෙස් ගතවූවන්ටද, විදෙස් ගත වීමට බලාපොරොත්තුව සිටින අයටද බොහෝ වාසි අත්වනු ඇත. විවාහ ජීවිතයේ ශාරීරික ගැටලු තිබූ යුවතිපතීන්ටද එම ගැටලු නැතිවී විවාහ ජීවිතයේ සතුට උදාවනු ඇත.

මකර ලග්න හිමියෙක් වෛරෝඩියක් පැළඳීමෙන් ඔවුන්ගේ සහජ දක්‍ෂතා, සහජ කුසලතා ඔප්නැංවෙන අතර එම දක්‍ෂතාවලින් ප්‍රසිද්ධිය මෙන්ම මුදල්ද හිමිවෙනු ඇත. සහෝදර සහෝදරියන්ගේ සහයෝගයද නොවඩුව ජන්මියාට හිමිවනු ඇත. මාරක අනතුරු, මාකර අපල දුරුවී සමතයකට පත්වනු ඇත. ලැබීම් වැඩිවන අතර ඉපයීම්ද වැඩිවනු ඇත. අතමිට සරුසාර කාලයක් උදාවනු නියතය.

කුම්භ ලග්න හිමියෙක් වෛරෝඩියක් පැළඳීමෙන් ධනය වර්ධනය වන අතර හදිසි ධන ලාභද හිමිවනු ඇත. ව්‍යාපාර සාර්ථක වී මිල මුදල් වලින් අතමිට සරුවී නිතර සිනහ මුසු මුහුණින් ප්‍රීතියෙන් කාලය ගතකළ හැක. විවාහ ජීවිතයේ ඇති ප්‍රශ්න ගැටලු දුරුවී යන අතර දෙදෙනා අතර ආදරය, ගෞරවය ගොඩනැගීම සිදුවේ. විවාහ ප්‍රමාද වූවන්ටද විවාහ කඩිනම් වීම සිදුවේ. ඊට අමතරව රැකී රක්‍ෂා දියුණුව, උසස්වීම්, පඩි වැඩිවීම් ආදිය සිදුවන අතර ජන්මියාට කරදරයකින් තොරව සතුටින් කාලය ගතකිරීමට අවස්ථාව උදාවේ.

මීන ලග්න හිමියන් වෛරෝඩි මැණික් පැළඳීමෙන් පෞරුෂ වර්ධනය මෙන්ම ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසයද නිතැතින් වැඩිවනු ඇත. සතුරු කරදර, ලෙඩ දුක් ආදිය සමනය වී නීරෝගී සුවය ඇතිවනු ඇත. මෙම ජන්මියාට පෙර පිංද මතුවන කාලයක් වේ. එනිසාම සුබඵල ඵලදීම පහසු වේ. ජන්මියාට බොහෝ සතුටින් කාලය ගතකිරීමට අවස්ථාව හිමිවනු ඇත.

ඔබත්, ඔබේ භාව කේන්ද්‍රයේ කේතු ග්‍රහයා බලවත් නම් පමණක් ඔබේ ලග්නයට වෛරෝඩිය පළඳින්න. එවිට ඔබට බොහෝ සුබඵල අත්වනු ඇත.

ලේඛන කලාව හා බැඳුනු වෛරෝඩිය

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර.

advertistmentadvertistment
advertistmentadvertistment