අපේ මුහුදේ යන රට නැව්වලින් ඩොලර් ලබාගැනීමේ අයිතිය තිබුණත් ඵලක් ලබා නෑ – පනතේ වාසි අධිකරණ ඇමැති පහදයි

278

මෙරට මුහුදු සීමාවෙන් ගමන් ගන්නා විදෙස් නෞකාවලින් ඩොලර් ගාස්තු ලබා ගැනීමේ අයිතිය පැවතිය ද එය මෙතෙක් භාවිත කර නොමැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ජල ශාස්ත්‍රීය පනත ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලූ අවස්ථාවේ හෙතෙම මෙම අනාවරණය කර ඇත.

ඒ අනුව විදෙස් නෞකාවලින් ඩොලර් ගාස්තු ලබා ගැනීමේ අයිතිය සඳහා අවශ්‍ය නෛතික බලය මෙම පනත් කෙටුම්පත සම්මත වීම හරහා ශ්‍රී ලංකාවට ලැබෙන බවද අධිකරණ ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම මෙම පනත මගින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය පිහිටුවීම හරහා ජල ශාස්ත්‍රීය මිනින්දෝරුවරුන් සහ නාවික සිතියම් නිර්මාණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඒ හා සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සිදුවන බව ද කාරක සභාව හමුවේ අදහස් දක්වමින් ඊට සහභාගී වූ නිලධාරීහු පැවසූහ.

දකුණු මුහුදම ආවරණය කරමින් නැව් ගමනාගමනය සඳහා එංගලන්ත රාජකීය නාවික හමුදාව විසින් සිතියම් 3ක් නිර්මාණය කර ඇති බව නාවික හමුදාව මෙහිදී ප්‍රකාශ කෙරිණි. ඒ අනුව මේ දක්වා එම සිතියම් නිර්මාණය සඳහා ශ්‍රී ලංකාවෙන් ලබා දී ඇත්තේ දත්ත පමණක් බව එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.

එහිදී එම දත්ත ලබාගෙන අදාළ මුහුදු ප්‍රදේශ සඳහා සිතියම් නිර්මාණය කිරීමේ බලය මෙරටට හිමිවන බවට නාවික හමුදා නිලධාරීන් විසින් කාරක සභාව දැනුවත් කරන ලදී. මෙම යාවත්කාලීන වන දත්ත පදනම් කරගනිමින් අදාළ සිතියම් ද යාවත්කාලීන කර ඩොලර් උත්පාදනය කළ හැකි බව එම නිලධාරීහු වැඩිදුරටත් පැවැසූහ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment