සුන්දර දුම්බර කඳුළු කතාව: ගිලා නොබසින් ඇටන්වල

1942

නිවාස පුපුරා නායයෑමේ අවදානමක්

ඇටැන්වල පවුල් 51ක් ඉවත් කරයි

ගම්වැසියන්ටත් වඩා අපි “ඇටන්වල” ගමට ආදරය කළෙමු. ඒ එතරම් සුන්දර තවත් ගමක් දුම්බර වන බද ගම්මාන අතර නැති නිසා ය. එතරම් දර්ශන තලයක් දැකගන්නට හැකි වෙනත් ගම්මානයක් දුම්බර නැති නිසාය. එනිසාම දුම්බර කඳුකර ගම්මාන අතර සංචාරය කරන අපට මෙන්ම, කාහටත් මාතලේ පැත්තෙන් “රිවර්ස්ටර්න්” කඳු මුදුන, “පිටවල පතන” පසුකර පිටවල, ඉලුක්කුඹුර, රත්නින්ද ගම් පැත්තට යන්නේ නම්, “ඇටන්වල” නොගිහින් ඒ චාරිකාව නිමා කරන්නට හිත නොදුන්නේය. කොටින්ම ඇටන්වලට නොයන දුම්බර චාරිකාවකින් වැඩක් නැත. ඒ නිසාම බොහෝ දෙනෙක් ඇටන්වලට ආදරය කරන්නේය.

සුන්දර දුම්බර කඳුළු කතාව: ගිලා නොබසින් ඇටන්වල

හෙල්මළු කුඹුරුවලින් සමන්විත ඇටන්වල ගම්මානය පිහිටා ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ලග්ගල උඩසිය පත්තුවේය. මාතලේ-රත්තොට-රිවර්ස්ටර්න් ඔස්සේ මෙන්ම ලග්ගල පල්ලේගම-ඉලුක්කුඹුර ඔස්සේ ද බස් රථ මාර්ග දෙකක් ගමන් කළ හැකි ඇටන්වල අතිශයින්ම කඳුකර ප්‍රදේශයක පිහිටි ගිරි දුර්ග-ජල දුර්ගවලින් වටවූ ඉතා අලංකාර වන බද ගම්මානයකි. ගම් මණ්ඩිය හා හෙල්මළු කුඹුරු මණ්ඩිය එක පැත්තකින් දුම්බර වනාන්තර සංරක්ෂිත මායිමේ පිහිටි “මානිගල” නම් පර්වතය දක්වා ගමන් කර රජයේ කැලෑ මණ්ඩියෙන් සීමා වන අතර, ගම්මානයේ පහළ බෑවුම කෙළවර වන්නේ සුප්‍රකට “තෙල්ගමුව” ඔයෙනි.

මේ නිසාම වන්නට ඇටන්වල තරම් සංචාරකයින්ගේ සිත් දිනාගත් මෙවන් ගම්මානයක් දුම්බර වනපෙතේ කොතැනකවත් නැත. කෙසේ වෙතත් “තෙල්ගමුව” ඔයෙන් එගොඩ වූ මොහොතේ පටන් වෙල්යාය පසුකර ගම්මණ්ඩිය දක්වාම කිලෝමීටරයක් තරම් දුරට ඇත්තේ එක හුස්මට නගින්නට ඇති දළ බෑවුමකි. එකල ගම්මානයට යන්නට තිබුණේ ගල් පඩිපෙළක් නමුත් පසුගිය කාලයේ ඉතා අපහසුවෙන් ගමට කොන්ක්‍රීට් පාරක් හදාගන්නට ගම්වැසියෝ සමත් වූහ. මේ නිසාම ඇටන්වලට පමණක් නොව, මානිගලට, එතැනින් ඔබ්බෙන් වනය මැද වූ වල්පොලමුල්ල නටබුන් ගම්මානයට යෑමට දහස් ගණන් සංචාරක පිරිස් පසුගිය කාලයේ එන්නට ඇත.

එනමුත් හැමදාමත් මහා වැසි වැටෙන කාලයට ඇටන්වල පවතින සීතල හා සුන්දරත්වය පරයා මහා ලොකු භයංකාරයකින් ඇටන්වල වෙළී ගියේය. ඒ නම්, ඇටන්වල ඉරිතලා පුපුරා යෑමේ අවදානමයි. මීට දස වසරකට පෙර එනම්, මාතලේ කඳුවලට අනෝරා වැසි වැටී සුප්‍රකට “නිකොලොය” නාය යෑම සිදුවුණු මොහොතේ ඇටන්වල ගම්මානයට ඉහළින් භූ පැල්මක් ඇතිවුණු බවට වාර්තා විය. එහිදී ගමේ සිටි පවුල් 100 ක් පමණ ඉවත් කරන්නට නිලධාරීන්, බලධාරීන් තීන්දු කරද්දී එම අත්තනෝමතික තීරණය නවත්වා ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිවැරදි විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකර ඊට තිරසාර විසඳුමක් දෙන්නට පරිසර හිතකාමීන්ට හැකිවිය.

නමුත්, ඊට තවත් දස වසරකට පසු මේ වන විට දින ගණනාවක් මුළුල්ලේ මාතලේ කඳු පන්තිවලට වැටෙන අනෝරා වැසිවලින් පොලොන්නරුව, මනම්පිටිය උතුරා යමින් පවතී. එහි නියත ප්‍රතිපලය ලෙස යළිත් ඇටන්වල ගමේ නිවාස ඉරිතලා යෑම, කොන්ක්‍රීට් පාරවල්, කුඹුරු ඉරි තැලීම, බොර දිය කඳන් මතුවීම හා අධික ජල ගැලීම් ස්වභාවයක් නිර්මාණය වීම සිදුව ඇත. ගම්මානයෙන් පහළට ගලායන දිය දහරාවලින් තෙල්ගමුඔය දෙගොඩතලා ගලායයි.

සුන්දර දුම්බර කඳුළු කතාව: ගිලා නොබසින් ඇටන්වල
සුන්දර දුම්බර කඳුළු කතාව: ගිලා නොබසින් ඇටන්වල
සුන්දර දුම්බර කඳුළු කතාව: ගිලා නොබසින් ඇටන්වල

මේ වන විට ඇටන්වල ගම්මානයේ නිර්මාණය වී ඇත්තේ අරාජික තත්ත්වයකි. කාලගුණික විපර්යාසය මගින් නිර්මාණය කළ ආපදාව නිසා මේ වන විට ඇටන්වල සුන්දරත්වය ගිලිහී ඒ වෙනුවට ගම්වැසියන්ට එහි දිවි ගෙවීම අපහසු තැනට වැඩ කටයුතු යෙදී ඇති නිසා ගමේ මේ වන විට දිවිගෙවන පවුල් 51 ක පමණ ගම්වැසියන් 100 දෙනකු පමණම ගම්මානයෙන් ඉවත් කර තෙල්ගමු ඔයෙන් මෙගොඩට කැඳවන්නට ආපදා කළමනාකරණ අංශ ක්‍රියාකර ඇත. ඇටන්වල ගම්මානයේ පවතින බෑවුම් ස්වභාවය නිසා පවතින වැස්සත් සමග නිවාස කිහිපයක සහ කොන්ක්‍රීට් මාර්ග පද්ධතියේ මෙන්ම කුඹුරු යායේ තැනින් තැන ඉරි තලා බොර වතුර උල්පත් මතුවීම හා ගිලා බැසීමේ අවදානමක් මතුවීම හේතුවෙන් ඇටන්වල ගම්වැසියන් විසින් පෙරේදා (01) රාත්‍රියේම කරන ලද දැනුම්දීමක් අනුව අදාළ රාජ්‍ය ආයතන ක්‍රියාත්මක වී මෙසේ ගම්වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.

සුන්දර දුම්බර කඳුළු කතාව: ගිලා නොබසින් ඇටන්වල
සුන්දර දුම්බර කඳුළු කතාව: ගිලා නොබසින් ඇටන්වල

ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මේ වන විට රත්නින්ද, මහලකොටුව විද්‍යාලය යන ස්ථානවල තාවකාලික අවතැන් මධ්‍යස්ථාන පිහිටුවා ගම්වැසියන් ඊට කැඳවා ඇත. එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දැනටමත් ගම්මානය පිළිබඳව භූ විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකරමින් පවතී.

ලග්ගල ප්‍රාදේශීය ලේකම්වරිය, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න, මාතලේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ චමින්ද අමරවීර, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ මාතලේ කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මොරේමඩ යන මහත්වරු ගම්මානයේ නිරීක්ෂණයන්ට එක්වෙමින් මේ සුන්දර ඇටන්වල ගම්මානයට සිදු වූ ඛේදවාචකය ගැන අධ්‍යයනයේ යෙදෙමින් සිටින අතර, දුම්බර සුන්දර කළ ඇටන්වල යළි ප්‍රකෘතිමත් කළ හැක්කේ කෙසේදැයි ඔවුන් හෙට දිනයේ පවසනු ඇත.

● ජගත් කණහැරආරච්චි

● නිමල් කණහැරආරච්චි

● මාතලේ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment