නාඳුනන දළඹුවා ගොයම වනසයි අක්කර සිය ගණනක් විනාශයි

95

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය රත්මලේ ප්‍රදේශය තුළ මෙවර මහ කන්නය යටතේ වගාකළ වී වගාවන් තුළ හඳුනා නොගත් පණුවන් විශේෂයක් පැතිර යෑම හේතුවෙන් එම වී වගාවන් රැසක් සුදුපැහැ ගැන්වී විනාශ වීමෙන් එම ප්‍රදේශයේ ගොවි ජනතාව මේ වනවිට දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති.

මෙවර මහ කන්නය යටතේ රත්මලේ වැව යටතේ ගොවීන් 90 දෙනකු පමණ කුඹුරු අක්කර 220ක් වගාකර ඇති අතර එම සියලු වගාබිම් පුරා මෙම ආක්‍රමණශීලී පණු විශේෂය පැතිරී ගොයමට දැඩි හානියක් සිදුව ඇති බවට එම ගොවි ජනතාව පවසා සිටිති.

පීදීමට ආසන්න වී ගොයම් ආශ්‍රිතව පැතිර යන මෙම හඳුනා නොගත් දළඹු විශේෂය ගොයම් ගසේ පත්‍ර තුළ රැඳී සිටිමින් එම පත්‍රවල යුෂ උරාබීම හේතුවෙන් ගොයම් ගසේ පත්‍ර සුදුපැහැ ගැන්වී ගොයම් ගස් විනාශ වී ඇති බවට ගොවීන් පෙන්වා දෙති. මෙවන් තත්ත්වයක් තුළ මෙම පණුවන් විසින් සිදු කරනු ලබන විනාශය හේතුවෙන් පීදෙමින් පවතින ගොයම් කරල් සුදු පැහැ ගැන්වී ඇති බවත් එම වී කරල් වලින් කිසිදු අස්වැන්නක් ඉදිරියේදී බලාපොරොත්තු විය නොහැකි බවත් එම ගොවීන් පෙන්වා දෙති.

මෙවන් පණු රෝගයක් මීට පෙර තම වී වගාවන් ආශ්‍රිතව හටගෙන නොමැති බවත්, මේ පිළිබඳව සොයාබැලීම සඳහා කෘෂිකර්ම නිලධාරීන් පැමිණියද මෙම හානිය වළක්වා ගැනීම සඳහා නිශ්චිත කෘමිනාශක වර්ගයක් මෙතෙක් හඳුන්වා දී නොමැතිවීම මත තම ගොවිතැන්වල මෙම ආක්‍රමණශීලී පණු විශේෂය පැතිරීම හේතුවෙන් එම වී වගාවන් සම්පූර්ණයෙන් විනාශ වෙමින් පවතින බවට එම ගොවිජනතාව චෝදනා කර සිටිති. කිසිදු කෘෂිකර්ම නිලධාරියකු මෙම රෝගයට හේතුවන පණුවන් මර්ධනය කිරීම සඳහා ගතයුතු පියවර හා ඒ සඳහා යෙදිය යුතු කෘෂි රසායන කුමක්ද යන්න පිළිබඳව තමන්ට මෙතෙක් අනාවරණය නොකිරීම මත තමන් වී වගාවන් ආරක්‍ෂාකර ගැනීම සඳහා විශාල මුදලක් වැයකොට තම වී වගාවන් සඳහා විවිධ කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදූවද මේ දක්වා එම පණු හානිය වැළැක්වීම සඳහා තමන්ට නොහැකිව මේ වනවිට තමන් දැඩි අසරණ තත්ත්වයකට පත්ව ඇති බවයි.

මේ අතර හබරණ පුවක්පිටිය වැව යටතේ වගාකළ කුඹුරු අක්කර 200ක ගොයමට හඳුනා නොගත් දළඹු විශේෂයක් නිසා ගොයම් පත්‍ර සුදු පැහැ ගැන්වීමේ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව පුවක්පිටිය ගොවීහු පවසති. දින කිහිපයක් පුරා පැතිරී යන මෙම රෝගයෙන් මේ වනවිට වගාකර ඇති මාස 2 1/2ක් පමණ වූ ගොයමට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයි ද ගොවීහු කියති.

එම දළඹු විශේෂය ගොයම් ගසේ යුෂ උරා බීමක් සිදුකරන අතර මේ වනවිට ගොයම ඉතා දුර්වල මට්ටමකට හැරී වසංගත තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවත්, නොයකුත් කෘමිනාශක යෙදූවත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් ගොවීහු කියති.

අරලගංවිල – රොෂාන් තුෂාර, තිරප්පනේ සමන් සහ මින්නේරිය සුසිල් කරුණාතිලක

කෘෂිකර්ම ලොක්කෝ නිහඬ ඇයි?

වී වගාවට බලපා ඇති දළඹු උවදුර හේතුවෙන් මෙම කන්නයේදී විශාල ලෙස අස්වැන්න අඩුවීමට ඉඩ ඇතත්, රජය හෝ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ පිළිබඳව නිසි අවධානය යොමුකර නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරයි.

මෙම දළඹු උවදුර සඳහා ගොවීන් විසින් විවිධ තෙල් වර්ග යෙදුව ද ගොයම් පැළ වල කොළ ඇතුළත සැඟවී සිටින දළඹුවා මර්දනය වී නැතැයි ද එම සම්මේලනයේ කැඳවුම්කරු, නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ට ඊයේ (23දා) සඳහන් කළේය.

රජය හෝ කෘෂිකර්ම බලධාරීන් මේ දළඹු විශේෂය පිළිබඳව මේ දක්වා නිසි පරීක්‍ෂණයක් කරලා නැහැ. මේ තත්ත්වය රට පුරා කුඹුරු කරා ව්‍යාප්ත වන බවක් දක්නට ලැබෙනවා. මේ පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදුකර ගොවියා දැනුවත් කිරීමට රජය පියවර ගත යුතුව තිබෙනවා. එසේ නොවුණොත් විශාල ලෙස අස්වැන්න අඩුවී සහල් ප්‍රශ්නය තවදුරටත් ඔඩු දුවයි යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment