මේ මගේ කතාව – අසිහියෙන් ලියූ සටහන්

115

වහලක් නැති රටක්!

වැටිලා ඉන්න පැල ඉහේ කඩාගෙන වැටුණොත් මොනවා වෙයිද?

සත්තකටම පහුගිය සුමානෙ මට ඒ දේ සිද්ධ වුණා. මහවැස්ස කෙළවරක් නෑ. උදෙත් වහිනවා. දවලුත් වහිනවා. රෑත් වහිනවා. වැස්සට උළු බර වෙලා. දශක දෙක තුනකට උඩදි තියපු රීප්ප – පරාලත් බර වෙලා. ඉතිං එකපාරටම හෝ හෝ ගාලා සුනාමියක් එනවා වගේ සද්දයක් ඇහුණා. මං පොඩි එකා අතින් අල්ලාගෙන මිදුලට දිව්වා. ගෑනි මං බැලුවේ නෑ. අම්මා බැලුවෙත් නෑ. ගෑනිද, අම්මාද, දරුවාද වටින්නෙ කියල ඇහුවොත් මං උත්තර දෙන්න දන්නෙ නෑ. දන්නවා, කියන්නෙ නෑ! ඒත් එළියට ගිහින් බලද්දි වහල උළු – පරාල සහ බිත්තිත් එක්ක බිම කඩාගෙන වැටිලා. වැටුණු බිත්තිවලින් දුම නැඟුණා. වහලෙ උළු කැටයක්, පරාලයක් ඔළුවට වැටුණා නම් මොනවා වෙයිද! ඔළුවට වැටිලා තියෙන දේවල්වල හැටියට තව වෙන්න දේකුත් නෑ. ඒත් පස්සෙ බැලුවාම කාටවත් කිසි හානියක් වෙලා තිබුණෙ නෑ. මං අම්මා දිහා බැලුවා. ඇය බය භිරාන්ත වෙලා. බිරිඳ කම්පනයට පත් වෙලා. ඒත් ඒ කම්පනයෙන් ගොඩ ආ ගමන් ඈ පොළොවේ අත්ගසන්න ගත්තා: “මං තමුසෙට කොච්චර කිව්වාද මේ වහල හදන්න කියල!”, “මෙහෙම කොහොමද ජීවත් වෙන්නෙ!”, “අන්තිමේ අපි පාරටම වැටුණා!” මං පුතා දිහා බැලුවා. ඒකා ෆෝන් එකේ එල්ලීගෙන කිසිවක් සිද්ධ නොවුණ ගාණට.

මං සසල වුණේ නෑ. ජීවිතේ කියන්නෙ විපතක්. අපි වගේ රටක මහා විපතක්. ඒක සනාථ කරන්න වගේ ඊළඟට මහා විපත්තිය සිද්ධ වුණා. ඔව්, මෙතෙක් තුරල් වෙලා තිබුණු වැස්ස මහ වැස්සක් වෙලා එකපාරටම කඩා වැටෙන්න වුණා. මං අසරණ වුණා. මං අසරණ නොවුණු වෙලාවක් නෑ. ඒත් ඇස්පනාපිට ජීවිත වතුරට ගසාගෙන යනවා ඇස දකින එක තරම් දුකක්, අසරණකමක් තවත් නෑ. විශේෂයෙන් ලියන, කියවන මිනිහෙකුට නෑ. ඉතිං මං දැක්කා මහවැස්සට ‘ගම්පෙරළිය’, ‘කලියුගය’, ‘යුගාන්තය’ දියබත් වෙනවා. ‘ගමනක මුල’ ‘ඉනිමඟේ ඉහළට’ ගිහින් ‘ගම්දොරින් එළියට’ බහිනවා. ‘සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා’ ‘සංසාරාරණ්‍යයේ අසබඩින්’ ‘ක්ෂීර සාගරය කලඹනවා’ ‘ප්‍රබුද්ධ’ ‘හෙට ඉරක් පායයි’ කියල හිතාගෙන ‘බෝඩිමට’ තෙමි තෙමී යනවා. පියල්, නන්දා, කතිරිනා, ලැයිසා, බලදාස, සාදා, සෙලෙංචියා වගේම කයිසාරුවත්තේ මුහන්දිරම් හා මාතර හාමිනේත් මට ආයුබෝවන් කිව්වා. ඒවගේම අරවින්ද – සරෝජිනී, දෙවොන්දරා සං – නොරිකෝ සං, ජිනදාස – පියදාස වගේම ප්‍රබුද්ධත් වැහි රකුසා එක්ක පොරබදලා හැඬූ කඳුළින් මට සමුදුන්නා. එච්චරක් නෙවෙයි, මං ආදරයෙන් අතට අත දුන් මර්සෝ, ග්‍රෙගර් සම්සා, ජෝසෆ් කේ, දිමිත්‍රි ගුරොව්, ඇනා සර්ගෙව්නා, ඉවාන් ග්‍රොමොව්, පාවෙල්, ඇනා කැරනින්, රස්කොල්නිකොව්, බසරොව් යන හැම දෙනාම මගෙන් ඈත් වෙලා ගියා. සත්තකින්ම ඒ සමුගැනීම දරාගන්න අමාරුයි. ඒක සැබෑ ලෝකයෙන් පිටමං වෙච්ච මිනිහෙකුට තිබුණු අන්තිම අත්තත් කඩාවැටීමක්. ඒත් ජීවිතේ එහෙම තමයි. වැටිච්ච මිනිහාට සොබාදහමත් බිම දාගෙන නෙළනවා.

ඉතිං මං අතට පයට දරාගන්න පුළුවන් පොතපත ඇඟට තුරුල් කරගෙන මොකක්ද කරන්නෙ කියල කල්පනා කළා. මට තේරුම් ගියා තනි මට මේ සේරමගේ ජීවිත බේරාගන්න බෑ කියල. මං දුවලා ගිහින් අල්ලපු ගෙදර දොරට තඩිබෑවා. හුඟ වෙලාවක් තඩිබෑවත් කවුරුවත් දොර ඇරියේ නෑ. අල්ලපු ගෙවල්වල මිනිස්සු අපි එක්ක නඩු කියනවා වැටමායිමට. “උඹලාට හෙණ වැදියන්!” කියල ඔවුන් අපි දිහා බලන්නෙ. ඉතිං ඔවුන් දොර අරියේ නෑ. දොර ඇරියත් ඔවුන් පොත් බේරගන්න එන්නෙ නෑ. පොත්වල පණ ගැහෙන ජීවිත තියෙනවා කියල ඔවුන් දන්නෙ නෑ. ඔවුන් කතා කියවන්නෙ නැති මිනිස්සු ජාතියක්. එහෙම ජාතියක් මේ ලෝකෙ ඉන්නවා. ඇත්ත වශයෙන් මේ ලෝකෙ ඒ මිනිස්සුන්ගෙ. අපි මේ ලෝකෙ පිටස්තරයො. පිටස්තරයො මේකෙ ඉන්නවා නම් ඔවුන් කියන විධියට ඉන්න ඕන. මං ආපහු හැරිලා ආවා. ඒ ආවාම මගෙ ඔළුවට ආවේ ග්‍රාම නිලධාරී මහත්තයා. ෂහ්! ඇයි මෙච්චර වෙලා මට ඔළුවට ආවේ නැත්තෙ එතුමා! මං වැස්සෙම ග්‍රාම සේවක රාලහාමි හම්බෙන්න ගියා. කීප දෙනකුගේ පෝරම වගයක් පැය අටක් තිස්සෙ පුරෝ පුරෝ ඉඳලා එතුමා මං දිහා බැලුවා. මං මගෙ විස්තරේ ඉදිරිපත් කළා. විස්තරේට කන්දෙන ගමන් එතුමා වරින්වර එළියට ගියා. ඒ, බුලත් කෙළ පාරක් ගහන්න. කෙළ ගගහා ඇවිත් අන්තිමේ එතුමා මෙහෙම කිව්වා:

“ඔය සිද්ධිය ප්‍රාදේශීය ලේකම්තුමියට දැනුම් දෙන්න. විස්තරේ ලියාගෙනම යන්න. හැබැයි සැකෙවින් ලියන්න.”

මං උඩබිම බැලුවා. මට සැකෙවින් ලියන්න තේරෙන්නෙම නෑ. ඉතිං මං කිසිවක් නොලියා ලේකම්තුමිය හම්බෙන්න ගියා. ඒත් එවෙලාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරක්ෂක නියාමකවරයා මට කිව්වා අද එතුමිය හම්බෙන්න බෑ, බදාදා මහජන දිනයේ විතරයි එතුමිය හම්බෙන්න පුළුවන් කියල. කරන්න දෙයක් තිබුණෙ නෑ, මං ආපහු හැරුණා. වැහි වලාවෙන් ටිකක් ඇඟ සීතල වෙන එක නවත්තගන්න මං පදිකවේදිකාවේ තිබුණු පෙට්ටි කඩපිලකට ගොඩ වුණා. පෙට්ටිකඩ මුදලාලි මා එක්ක වචනයක් දෙකක් කතා කළා. ඒ අවසරයෙන් මං සිද්ධිය සැලකළා ඔහුට. මෙන්න එයාගේ විසඳුම:

“මහත්තයාට ඕන පොත් බේරගන්න නම් ඒක කරන්න පුළුවන් එක දෙයක් තියෙනවා. අන්න අර අතන දොරුව ළඟින් ඇතුළට යන්න. ගිහින් කසිප්පු බෝතල් දෙක තුනක් අරන් යන්න. ඕන තරම් මිනිස්සු එයි මහත්තයාගේ ඕනම දේකට.”

මුදලාලිට ස්තූති කරලා මං දොරුව ළඟට ගියා. ඒත් ඒ මොහොතේ මතක් වුණා මං සල්ලි නැති මිනිහෙක් කියල. මං ඇත්තටම සල්ලිවලට වටිනාකමක් දුන්නෙ නෑ. කවදාවත් දුන්නෙ නෑ. දුන්නා නම් වහල ඔළුවට පාත්වෙන්නෙ නෑ. මං ආපහු පෙට්ටි කඩේට ගියා. මුදලාලි තව විසඳුමක් දුන්නා:

“මහත්තයාට මරු වැඩක් තියෙනවා කරන්න. අද මෙතනට අර බස්මාමා එනවා. පුළුවන් නම් සිද්ධිය කියල දාන්න. මිනිහාට කරන්න බැරි දෙයක් නෑ.”

මුදලාලි කිව්ව දේ ක්‍රියාත්මක කළොත් මොනවා හරි වෙයි කියල මටත් හිතුණා. මේ වෙද්දි මං පොත් බේරගන්න අදහස අත්හැරලා තිබුණෙ. ජීවත් වෙද්දි සමහර කැප කිරීම් කරන්න වෙනවා. ආදරය කරන දේවල් අත්හරින්න වෙනවා. ඉතිං මං කල්පනා කළේ පොත් බේරගැනීම නෙවෙයි, කොහොමද ඉහට වහලක් හදාගන්නෙ කියල. වහලක් නැතුව ගෙදර යන්න බෑ. වහලක් නැති ගේකුත් නෑ. මං තීරණයකට ඇවිත් එදා හවස් වරුවම පෙට්ටිකඩපිලේ ගත කළා. ඔන්න අන්තිමේ බස්මාමා ආවා මහ සෙනඟක් පිරිවරාගෙන. කවුරුවත් ටවුමෙ මිනිස්සු නෙවෙයි. කට්ටියක් බෙර, නළා වයමින් සිංදු කියනවා. කට්ටියක් වඩිගපටුන නටනවා. තවත් කට්ටියක් බමන මතින් නටනවා. මුළු නගරයම කොළ පාටින් පාට වෙලා. කමිසත් කොළයි, සරමුත් කොළයි, බසුත් කොළයි. මෙච්චර කොළට ප්‍රේම කරන මිනිස්සු ඇයි ගහකොළ කපන්නෙ කියල මං කල්පනා කළේ නෑ. මං කල්පනා කළේ බස්මාමා බස් එකෙන් බැස්සට පස්සෙ කරපු හරුපෙ මොකක්ද කියල. මිනිහා මුලින්ම කළේ ටවුමේ කොලු රැලක් එක්ක ක්‍රිකට් ගහපු එක. මං පෙට්ටි කඩේට වෙලා බලාගෙන හිටියා කීයටද මැච් එක ඉවර වෙන්නෙ කියල. අරුමෙ කියන්නෙ මේ වෙලාවේම වැස්ස නතර වෙලා. මං වැහි දෙයියන්ගෙන් වැස්ස ඉල්ලුවා. වැහැලා මැච් එක නතර වෙයන් කියල ඉල්ලුවා. ඒත් දිගටම පෑව්වා. බස්මාමාට ඇති පදම් ක්‍රිකට් ගැහුවා. මිනිහාට ඕන වුණේ බෝල ඇහිඳින්න නෙවෙයි, බැට් කරන්න. බෝල් දාපු කොල්ලොත් මහ නසරානි ටිකක්. උන් බෝල් කළේ ගහන්න නෙවෙයි, අවුට් වෙන්න. මිනිහා දෙතුන් පාරක් බෝලවලට අවුට් වුණා. ඒත් අවුට් වුණාට දිගටම ගැහුවා. “මට කලින් ගහපු එක්කෙනාත් අවුට් වුණාට ගියේ නෑනෙ” කියල මිනිහා විකට් කීපර්ට කියනවා මට ඇහුණා.

අන්තිමේ කොහොමහරි එක බෝලෙකට හයේ පහරක් ගහලා බස්මාමා ජනතාව ඇමතුවා. ඒ ඇමතුවාට පස්සෙ එතුමා ජනතාව අතරට ආවා. මට හරි සතුටු හිතුණා. ඒත් ඒ එක්කම හිතුණා මෙයත් ජනතාව අතරට ඇවිත් ලේන්සුවක් වනයිද කියල. ඒත් ලේන්සුවක් වෙනුවට එයා නිකන් අත වැනුවා. අත වන වනා ගිහින් මගේ ළඟට ආවා. අන්න ඒ වෙලාවේ මගෙ ගණදෙවි නුවණ වැඩ කළා. මං එතුමාට ඉංග්‍රීසියෙන් කිව්වා “හිස් එක්සලන්සි, මයි හවුස් ඊස් ඩිස්ට්‍රෝයිඩ් බයි ද රේන්. සෝ ඊස් බුක්ස්ට් කියල. මට ඕන වුණේ වැස්සෙන් මට වෙච්ච නස්පැත්තිය ඉදිරිපත් කරන්න. ඒත් මගේ කතාවට එතුමා කිව්ව කිසි වචනයක් මට තේරුණේ නෑ. ඒවා ඉංග්‍රීසිද ග්‍රීකද කියල වටහාගන්න බැරි වුණා. ඒත් එතුමා කිව්ව එක වාක්‍යයක් නම් තේරුණා මට: “සම් හවුසස් ඇන්ඩ් බුක්ස් ආ ගූඩ් ටු බී ඩිස්ට්‍රෝයිඩ්. ෆෝ ඉන්ස්ටන්ස් ලාස්ට් ඉයර් අවර් පීපල් ඩිස්ට්‍රෝයිඩ් මයි බොස් හවුස් ඇන්ඩ් හිස් බුක්ස්. බට් අන්ෆෝචුනේට්ලි, තෑක්ස් ටු ඉට් හී හැස් බිකම් ද බිග් බොස්!” බස්මාමා එහෙම කියල තව කෙනෙක් ගාවට ගියා.

මං ආපහු පාරට බැස්සා. පාරට බැස්සාට මට යන්න අතක් තිබුණෙ නෑ. වැස්ස ආයෙත් පටන් අරන්. මං තෙමි තෙමී ඉබාගාතේ ඇවිදගෙන ගියා. තෙමිච්ච කුකුලෙකුට වැස්සත් එකයි නැතත් එකයි. මං වැස්ස නොතකා ඇවිදන් ගිහින් නැවතුණේ පන්සලේ දංගෙයි. පන්සල අරක්ගත් බලු රැල මට දංගේ හතරමායිමකට එන්න ඉඩ නොතිබ්බත් මං දංගෙට රිංගුවා කොහොමහරි. දංගේ ඇතුළෙදි මට දං අදින තිලකරත්න හම්බුණා. “අද නම් මහත්තයා මටත් කන්න මුකුත් නෑ. ලොකු හාමුදුරුවො නායකතුමාගේ උත්සවේට වැඩියා,” තිලකෙ කිව්වා. මං පාර දිගේ ගියා.

● රවීන්ද්‍ර විජේවර්ධන
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment