රස්සාවෙන් අස්වෙලා වේදිකා නාට්‍ය රඟපෑවා – චානු දිසානායක

119

යොවුන් නාට්‍ය උළෙලේ දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය
දැන්නම් සැනසිල්ලේ මැරුණත් කමක් නැහැ


පසුගියදා නිමාව දුටු ජාතික යෞවන සම්මාන නාට්‍ය උළෙලේදී දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය ලෙස සම්මාන දිනාගනු ලැබුවේ ‘රැඩිකල් ප්‍රේමයක්. නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් චානිකා එස්. ඩබ්ලිව්. දිසානායක හෙවත් චානු දිසානායකයි. ඉතිං මෙවර මීවිත ඇය වෙනුවෙන් මේ ඉඩකඩ වෙන් කරන්න තීරණය කළා.

● යොවුන් නාට්‍ය උළෙලේ දිගු නාට්‍ය අංශයේ හොඳම නිළියවීම ගැන මොකද හිතන්නේ?

වචනයෙන් කියලා විස්තර කරන්න බැරි තරම් විශාල සතුටක් ඇතිවුණා. මොකද මම අවුරුද්දකට වැඩි කාලයක් කැපවීමෙන් පුහුණුවීම් කරලා කරපු නාට්‍යයක් තමයි “රැඩිකල් ප්‍රේමයක්” කියන්නෙ. ඉතිං පළමු වතාවට තමයි මම යෞවන සම්මාන උළෙලට ඉදිරිපත් වුණේ. පළමු අවස්ථාවේදීම පළමු වේදිකා නාට්‍යයෙන්ම ඒ වගේ සම්මානයකට යන්න ලැබීම ලොකු සතුටක්.

රස්සාවෙන් අස්වෙලා වේදිකා නාට්‍ය රඟපෑවා - චානු දිසානායක

● ‘රැඩිකල් ප්‍රේමයක්. නාට්‍යයට සම්බන්ධ වෙන්න කතාකළේ කවුද?

මෙහි අධ්‍යක්‍ෂ දුලාන් වීරසිංහ තමයි මට ආරාධනා කළේ. මම මීට පෙර අමිල සපුමල් ගුරුවරයා එක්ක වැඩ කරමින් හිටියේ. දුලානුත් ඒ කණ්ඩායමේ වැඩකරපු සාමාජිකයෙක්. මේකෙ පිටපතට හරි කැමතියි” ඒකයි සම්බන්ධ වුණේ.

● නාට්‍යයට සම්බන්ධවීම ගැන අද වෙනකොට මොකද හිතෙන්නේ?

මම කොහොමටත් වේදිකාවට මුල ඉඳලම ආදරයෙන් හිටපු කෙනෙක්. නමුත් මම හිටපු ක්‍ෂේත්‍රයත් එක්ක මට වේදිකා නාට්‍යය කරන්න හැකියාව ලැබුණේ නැහැ. ඒ වගේම අවසර තිබුණෙත් නැහැ. ඊට පසුව රැකියාවෙන් ඉවත්වෙලා තමයි වේදිකා නාට්‍යවලට සම්පූර්ණයෙන්ම කැපවෙන්න පටන් ගත්තේ. ‘රැඩිකල් ප්‍රේමයක්. නාට්‍ය මට හම්බවුණ වෙනස්ම විදිහේ නාට්‍ය රචනයක්. විශේෂයෙන්ම මේක ග්‍රීක නාට්‍ය ස්ටයිල් එකට තමයි ලියැවිලා තියෙන්නේ. මම හිතනවා ඒ නාට්‍ය රීතියට සාධාරණයක් කරගන්න පුළුවන් වුණා කියලා.

රස්සාවෙන් අස්වෙලා වේදිකා නාට්‍ය රඟපෑවා - චානු දිසානායක

● දැන් නිවේදනයෙන් ඈත් වෙලාද?

නැහැ. දැනටත් නිවේදන කටයුතු කරනවා. මේ වනවිටත් සිරස ටීවී නාලිකාවේ වැඩසටහන් දෙකක නිවේදන කටයුතු සිදුකරනවා. ඒ වගේම නිදහස් මාධ්‍යවේදිනියක්. නිවේදිකාවක් විදිහටත් කටයුතු කරගෙන යනවා. ඔය අතරේ අලුත් ටෙලි නාට්‍යයක සහ චිත්‍රපටයක වැඩකටයුතු භාරගත්තා.

● රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඔබව ඇගයීමට ලක්වෙයි කියලා හිතනවාද?

රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට ‘රැඩිකල් ප්‍රේමයක්. නාට්‍ය නියෝජනය කළා. රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන උළෙල තියෙන්නේ දෙසැම්බර් 19 වැනිදා. ඉතිං රාජ්‍ය නාට්‍ය උළෙලේදී ගොඩක් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන් තරග වදිනවා. යෞවන නාට්‍ය උළෙල ඉතාමත් හොඳ තරගයක් තිබුණ නාට්‍ය උළෙලක්. ප්‍රේක්‍ෂකයන් සහ විනිශ්චය මණ්ඩලය වුණත් කිව්වේ මවිත කරන විදිහේ නිර්මාණ කිහිපයක් තිබුණ කියලයි.

● රස්සාවෙන් ඉවත්වෙලා නාට්‍ය වෙනුවෙන් කැපවීම ගැන මොකද හිතන්නෙ?

ඔව්. ඇත්තටම බොහෝ දෙදෙනක් මගෙන් ඇහැව්වේ මේ වෙලාවේ ලංකාවේ පවතින ආර්ථික පසුබිමත් එක්ක රස්සාවෙන් ඉවත්වෙලා වේදිකා නාට්‍ය කරන්නේ ඇයි කියලා. ගොඩක් අය මට බැන්නා වේදිකා නාට්‍යයක් කරන්න ඇයි රස්සාව නැති කරගත්තේ කියලත්. නමුත් මම හිතනවා ඒ කැපවීමේ ප්‍රතිඵලය මට ලැබුණා කියලා.

රස්සාවෙන් අස්වෙලා වේදිකා නාට්‍ය රඟපෑවා - චානු දිසානායක

● නාට්‍යයක රඟපාලා අද කාලේ ජීවත්වෙන්න පුළුවන්ද?

හැමෝම වගේ ඔය කතාව මගෙන් ඇහැව්වා. අපේ මහාරාජා ආයතනයේ ප්‍රධානියා වන සභාපතිතුමාත් ඒ කතාව ඇහැව්වා. එතුමා කිව්වෙත් මේ තීරණය ගන්න එපා කියලයි. නමුත් මගේ හිතේ තිබුණ දෙයක් තමයි කලාවත් එක්ක තමයි මම මැරෙන්න ඕනෑ කියලා. මම කොහොමටත් කාලෙන් කාලෙට ජීවිතයේ අභියෝග ගත්තු කෙනෙක්. මම නිවේදිකාවක් වෙලා ඉන්න කොටත් ගොඩක් අභියෝග ගත්තා. ඒවාට මට සම්මානත් ලැබුණා. මේකත් ඒ වගේ අභියෝගයක් ගත්තු තැනක්. හැබැයි ඒකෙනුත් මම සම්මානයට පාත්‍රවුණා.

● නිවේදන කලාවටද රඟපෑමටද වැඩිපුර කැමැති?

නිවේදිකාව කියන භූමිකාවට තමයි මම වැඩිපුරම කැමැති. මොකද මම හැදිච්ච තැන එතැන. හැබැයි වේදිකාව කියන තැන මාව වෙනස්ම කෙනෙක් බවට නිර්මාණය කරන තැනක්. ඉතිං ඒකට ඒ ගෞරවය හැමදාම හිමිවෙනවා.

රස්සාවෙන් අස්වෙලා වේදිකා නාට්‍ය රඟපෑවා - චානු දිසානායක

● සම්මානය ලැබුණට පස්සේ ක්‍ෂේත්‍රයේ අයගෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?

මම වැඩ කරන ක්‍ෂේත්‍රය අනුව මට විවිධ ක්‍ෂේත්‍රවල අය මුණගැසෙනවා. විශේෂයෙන් රංගන ශිල්පීන්” නිවේදක නිවේදිකාවන්” මාධ්‍යවේදීන් ඇතුළු බොහෝ පිරිසක් මට සුභපැතුවා. ඒක තමයි මට ලබන්න පුළුවන් ලොකුම දායාදය.

● එදා රස්සාවෙන් අයින්වෙන කොට බැනපු අය අද මොනවද කියන්නේ?

ඒ ගොල්ලො මට අනිවාර්යයෙන්ම කතා කළා. ඔයා ඒ ගත්තු රිස්ක් එක හරි කියලා අපිට පේනවා කියලත් කිව්වා. එක්කෙනෙක් නෑර හැමෝම මට සුභ පැතුවා.

● සිනමා අත්දැකීම ගැනත් මතක් කළොත්?

මගේ පළමු චිත්‍රපටය යූටර්න්. 2023 වසරේ පැවැති ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී මම එහි කළ රංගනය වෙනුවෙන් වසරේ නැගී එන නිළිය ලෙසත් නිර්දේශ වුණා. ඉතිං ඒකත් මට ලොකු ජයග්‍රහණයක්. මොකද ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී නැගී එන නිළියට නිර්දේශ වීමම ලොකු ගෞරවයක්. ඔය අතරේ අශෝක හඳගම මහත්මයාගේ චිත්‍රපටයේ පුංචි චරිතයක් වෙනුවෙන් මම පුහුණුවීම් කටයුතු කරගෙන යනවා.

● චානු දිසානායක ගැන මොකද හිතෙන්නේ?

මට තිබුණ හීන තමයි හොඳම නිළිය” හොඳම නිවේදිකාව වෙන්න. මෙච්චර පුංචි කාලයක දී ඒ හැම ක්‍ෂේත්‍රයකම මම සම්මානයට පාත්‍ර වුණා. මම ආසකරන හැමදේම මට කරන්න හම්බවුණා. දැන්නම් ඉතිං සැනසිල්ලේ මැරුණත් ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මම දැකපු හීන සියල්ලම හැබෑ වුණානේ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment