තමාව සොයා ගැනීමේ ප්‍රේම්ගේ මෙහෙයුම එය ප්‍රේම පුරාණයයි

246

එය නවසිය හැත්තෑව වසරේ එක්තරා දිනයකි.

මේ කියන දවසේ රත්නපුරයේ සුමංගල බාලිකාව වෙත පැමිණි ප්‍රසන්න පෙනුමකින් යුතු තරුණ ගුරුවරයෙකු සිය පළමුවැනි පත්වීමේ රාජකාරිය බාර ගත්තේය. ඒ වන විට විසිවැනි වියෙහි පසු වූ මෙම තරුණ ගුරුවරයා එවකට බලයේ සිටි සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් ලබා දුන් විද්‍යා ගණිත ගුරු පත්වීම ලැබූ පිරිසේ එක් අයෙකු වූයේය. මෙය ගුරු පත්වීමක් මතු නොව ආණ්ඩුවේ කියා කුමක් හෝ රැකියාවක් ලබා ගැනීම පවා දුර්ලභ වාසනාවක් සේ සැලකූ යුගයකි. පැවැති සමාජ ආකල්පය එසේ වුවද, මෙම තරුණ ගුරුවරයා එම විදුහලෙහි තම රාජකාරිය කළේ පීරියඩ් තුනක් පමණි. ඉන් අනතුරුව සිය රැකියාවට සදහටම ආයුබෝවන් කියූ හෙතෙම ගෙදර ආවේය. හේතුව ඉතා සරලය.

“මට ඒ රස්සාව එපා වුණා”

එපමණය. නමුත් ඒ නිසා ගෙදරට ඔහු එපා වූයේ නැත.

ඔහු ප්‍රේම් දිසානායකය.

ඒ ප්‍රේම් දිසානායකගේ හැටිය.

එතැන් සිට මේ දක්වා ගෙවුණු පනස් තුන් වසර දක්වාත්, ඉන් ඔබ්බෙහිත් ඔහුගේ හැටි සොබා ගැනත් ගති සොබා ගැනත් කියවෙන ජීවන විත්ති එකතුවක් දැන් ඔහු විසින් එළි දක්වා තිබේ. “ප්‍රේම පුරාණය“ නමින් මෙම මස 25 වැනිදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී එළි දක්වනු ලබන්නේ එම කෘතියයි.

ප්‍රසිද්ධ පුද්ගලයෙකු විසින් කෘතියක් ප්‍රකාශයට පත් කිරීම යම් පමණකට සමාජ අවධානය දිනා ගන්නක් බව ඇත්තය. එහෙත් ප්‍රේම් දිසානායක නමැති සුවිශේෂ චරිතය විසින් සිය ස්වයං ලිඛිත චරිතාපදානය එළි දැක්වීම යනු සුවිශේෂී කාරණාවකි. එමෙන්ම රසාලිප්ත කාරණාවකි. ඒ සඳහා හේතු කාරණා ගණනාවක් බලපා තිබේ.

ඉන් ප්‍රධාන වන්නේ හැත්තෑව දශකයේ සිට මේ දක්වා පුවත්පත් කලාව, පොත්, පුවත් පත් ප්‍රකාශනය, මුද්‍රණ ශිල්පය, වෙළෙඳ දැන්වීම් නිර්මාණ ශිල්පය, කැසට් කවර නිර්මාණය, බතික් මෝස්තර කලාව, වේදිකා නාට්‍ය සහ සිනමා පෝස්ටර් කලාව, පොත් පිටකවර නිර්මාණය, කාටූන් චිත්‍ර කලාව ආදී බොහෝ දේ සමග ඇලී ගැලී සිටින හෝ සිටි ඔහු ගැන දන්නා සුවිසාල පරම්පරාවක් දැන් ටික කලක් තිස්සේ සිට මෙවැනි කෘතියක් ඔහුගෙන් බලාපොරොත්තුව සිටි බැවිනි. මෙම පිරිස ප්‍රේම් දිසානායකගේ “ප්‍රේම පුරාණය “කියවීමට නොඉවසිලිමත්ව සිටින්නේ ඔහු සමග වූ යහළු මිත්‍රකම නිසාම නම් නොවේ. පුවත්පත් කලාවේ සිට ප්‍රධාන පෙළේ පොත් ප්‍රකාශකයකු දක්වා විවිධාකාර සමාජ දේශපාලන, හා සංස්කෘතික ඉසව් ස්පර්ශ කරමින් ඔහු පැමිණි ගමන් මග ඔස්සේ කෙරුණු ගනුදෙනුව පිළිබඳ අප්‍රමාණ රසාලිප්ත කතා මාලාවක් මෙහි ඇතැයි මේ හැම දෙනෙකුම බලාපොරොත්තු වන බැවිනි.

ගෙවී ගියා වූ දශක පහක් ඉක්ම වූ කාලය මුළුල්ලේ ඔහු විසින් මුහුණ දුන් ජීවන අත්දැකීම් පිළිබඳව දන්නා ඔහුගේ සමීප මිතුරෝ මේ තොරතුරු අළලා පොතක් ලියන ලෙස නිරන්තරයෙන් ඉල්ලා සිටියහ. ඒ අතර මුලින්ම සිටියේ ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශය.

“නමුත් මම ඒක සත පහකටවත් ගණන් ගත්තේ නෑ. මම ඒක එච්චර වැදගත් දෙයක් කියල හිතුවෙ නෑ. කවර සමාජ මට්ටමේ අය ඉල්ලීම් කළත් මම ඉතා සූක්ෂම විදියට ඒවා මග හැරියා”

ඔය ආකාරයට ස්වයං චරිතාපදානයක් ලිවීමේ අදහස මගහැර දමමින් සිටියද, දැන් මොහොතේ “ප්‍රේම පුරාණය“ නමින් සිය ජීවන විත්ති කෘතියක් ඔහු විසින් එළි දක්වා තිබේ. ඒ ගැන ඔහු කියන්නේ මෙසේය.

“ඒක අහම්බයක්”

ඒ අහම්බය සිදු වූයේ ඔහුට හදිසියේම බරපතළ හෘද සැත්කමකට මුහුණ දෙන්නට සිදු වූ බැවිනි. සැත්කමෙන් අනතුරුව ඔහුට මාස දෙකකට වැඩි කාලයක් ව්වේකීව ගත කරන්නට සිදු වූ අතර, අමුත්තන්ගේ පැමිණීමද දැඩි ලෙස සීමා කෙරිණි. හමුවීමට අවසර තිබුණේ සමීපතම මිතුරන් කීප දෙනකුට පමණි.

“මේ අවස්ථාවේ පැමිණි මිතුරන්ද යළිත් එම ඉල්ලීම ඉදිරිපත් කළා. ඒ අය අතර මා සන් මිත්‍ර අතර කුලරත්න ආරියවංශ හුඟක් විශේෂයි. මේ අනුව මම මෙවැනි කෘතියක් ලිවීම ගැන සිත යොමු කළා”

මෙසේ පවසන ප්‍රේම් ඒ සමඟම පෙන්වා දෙන්නේ දවසේ වැඩි කාලයක් වැඩ කටයුතුවල යෙදීමේ පුරුද්දක් ඇති තමා හට මේ දෙමසක පමණ ව්වේකය අලසව ගෙවා දැමීමද අසීරු කරුණක්ව පැවැති බවය. මෙම කෘතිය ලිවීමේ කාර්යයට අත ගසන්නට එය ද හේතුවක් වූ බව ඔහු කියයි.

“ඉතින් මම මාසයක් ඇතුළත පොත ලියලා ඉවර කළා”

නමුත් ඔහුට අවශ්‍ය වූයේ කිසිවෙකුට නොකියා මෙහි සියලු වැඩ කටයුතු අවසන් කිරීමටය.

“නමුත් එහි ටයිප් සෙටින් ආදී කටයුතු සඳහා කාර්යාලයට ගෙන ගිය පසු ආරංචි වෙනවා මගේ හිතවතුන් මට හොරෙන් එවැනි දෙයක් කරන්නට සූදානම් වන බව. නමුත් මම එයට කොහෙත්ම කැමති වන්නේ නැහැ. ඒ මොකද එවැන්නක් තුළින් සිදු වන්නේ මා පිළිබඳව විවිධ පුද්ගලයන්ගේ අදහස් දැක්වීමක් පමණක් වන නිසා. එවැනි ප්‍රකාශයකින් දක්නට ලැබෙන්නේ පිට අය මා පිළිබඳ කරන ගුණ වර්ණනාවක් පමණයි. ඒ පුද්ගලයෝ මගේ ඇතුළාන්තය දන්නේ නැහැ. මගේ නරක සහ අඩුපාඩු ගැන දන්නේ නැහැ. ඒ ගැන දන්නේ මම පමණයි. මෙවැනි කෘතියක ඒ ගැනත් තිබිය යුතුයි. ඒ නිසා මෙවැනි බරපතළ රෝගාබාධයකට ගොදුරු වීම හේතුකොට ගෙන හෝ මෙවැන්නක් ලියන්නට අවස්ථාව ලැබීම ගැන දැන් මා තුළ ඇති වන්නේ සතුටක්. එසේ නොවුණා නම් පාඨකයන්ට කියවන්නට ලැබෙන්නේ එක් එක් අය විසින් මා පිළිබඳ ලියන ලද ඒකාකාරී ලිපි සරණියක් පමණයි. නමුත් මෙය එවැනි ලිපි සරණයකට වඩා නව කතාවක් මෙන් කියවිය හැකි එකක් බවට මා පත් කර තිබෙනවා” ප්‍රේම් දිසානායක පැවසීය.

තමාව සොයා ගැනීමේ ප්‍රේම්ගේ මෙහෙයුම එය ප්‍රේම පුරාණයයි

තමා පාසල් වියේ සිට මේ දක්වා මුහුණ දුන් විවිධාකාර සංසිද්ධීන් මෙම කෘතියට ඇතුළත්ව තිබෙන බව පවසන ලේඛකයා තමා විසින් මුහුණ දුන් අප්‍රමාණ වූ අත්දැකීම් ප්‍රමාණය පිටු 262 ක් තුළ සංක්ෂිප්ත කරනු පිණිස එක්තරා උපක්‍රමයක් භාවිත කර තිබේ. ඔහු විසින් එය පැහැදිලි කරනු ලබන්නේ මේ අයුරිනි.

“ඒ තමයි ජීවිතයේදී මා මුහුණ දුන් විවිධාකාර අත්දැකීම්වල එක් වර්ගයකින් එක බැගින් ඉදිරිපත් කිරීම. උදාහරණයක් වශයෙන් මට දහ වතාවක් සී.අයි.ඩී.යට යෑමට වුණා නම් ඉන් එක් අවස්ථාවක් පමණක් පොතට ඇතුළු කිරීම. ඒ වගේම අසීමිතව විඳින ලද ගැහැට අතරින් එකක් දෙකක් පමණක් තෝරා ගැනීම. මේ හැරුණු කල නීත්‍යනුකූලභාවයට යටත්ව සදාචාරයට එකඟව ලිවිය හැකි අත්දැකීම් පමණක් මේ පොතට ඇතුළත් කිරීමටත් මම වග බලා ගත්තා” ප්‍රේම් දිසානායක පවසයි.

නමුත් ඔහු තවදුරටත් කියා සිටින්නේ මෙම කෘතියෙන් පවා තමන් කවුදැයි නිසි ලෙස හඳුන්වාදීමට තමාට හැකියාවක් නැති බවයි.

“ඒ මොකද මම මටවත් පාලනය කරගන්න බැරි ආකාරයට විවිධාකාර ඉසව්වල විවිධාකාර අපේක්ෂාවන් ඔස්සේ හඹා ගිය මිනිසෙක් නිසා. ඒ අනුව මේ කෘතිය ජීවත්වීම සඳහා මා විසින් කරනු ලැබූ අරගලයේ එක්තරා පැතිකඩක් ලෙසද හඳුන්වන්න පුළුවන්”

ප්‍රේම් කියන්නේ තමාට සිය ජීවිත ගමනේදී නිසි පරිදි එල්ලයක් නොතිබුණු බවයි.

“මම ඒ ඒ අවස්ථාවලදී ලැබුණු මොකක් හෝ දෙයක එල්ලී ජීවිතය ගොඩනගා ගැනීමේ උත්සාහයක යෙදුණු බවයි කියන්න තියෙන්නේ. ඒ අනුව මගේ ජීවිතය ඇතුළේ විවිධාකාර පුද්ගලයන් රැසක් සිටිනවා”

ඔහු එම පැහැදිලි කිරීමට අනුව තවදුරටත් කියා සිටින්නේ මෙය එක පුද්ගලයෙකුගේ ජීවන චරිතයකට වඩා, ගෙවුණු කාලය තුළ වූ සමාජ සංසිද්ධි වල හරස්කඩක් යයි ලුහුඬින් කිවහැකි බවය.

තම කෘතිය, ගෙවුණ කාලය තුළ ඒ ඒ කේෂ්ත්‍රවල එදා තිබූ තත්ත්වයත් අද තත්ත්වයත් ගැන අවබෝධයක් ලබා ගැනීමට මංපෙතක් වනු ඇතැයි හෙතෙම විශ්වාස කරයි.

“මගේ පළමු රස්සාව පත්තර කලාව. තර්ස්ටන් විද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් ඇත්ත පත්‍රයට ලියූ මම පාසලෙන් අස්වී පසුදාම පත්තරයට බැඳුණා. ඒ මාසයට රුපියල් 150 ක පඩියට”

ප්‍රාථමික තාක්ෂණයක් ඔස්සේ ඇත්ත පත්‍රයේ මුද්‍රණ කටයුතු සිදු කෙරුණු අයුරුත්, බී. ඒ. සිරිවර්ධන වැනි කතුවරයෙකු යටතේ තමා සුවිශාල අත්දැකීම් සම්භාරයක් ලබා ගත් ආකාරයත් ඔහු සිය කෘතිය තුළින් පැහැදිලි කරයි.

ඉන් පසු කලෙක විචිත්‍ර නම් සිනමා පත්‍රය පවත්වාගෙන යෑම සඳහා සකල සේසතම වැය කොට එහි අවසාන දිනයේ සියලු පඩිනඩි ගෙවා රුපියල් දෙකක් පමණක් සාක්කුවේ ඉතිරිව තිබියදී එළියට බැස ආ පත්තර කතුවරයෙකු මෙන්ම ප්‍රකාශකයෙකුද ඉතිහාසයේ වේ නම් ඒ ඔහු පමණක්ම යයි මම සිතමි. දශක හතක් සිසාරා අතීතයේ මතක මංජුසාව කළඹින් වුවද ඔහු තවමත් සොයන්නේ තමාවම යයි අපට සිතන්නේ එහෙයිනි. මන්ද යත් එවැන්නකු අද සමාජය තුළ සිටීදැයි සොයන්නට යමකු උත්සාහ කළහොත් ඔහු පිස්සෙකු යයි අංගොඩට බාර දීමට ඉඩ ඇති බැවිනි.

මේ ආකාරයට තමාගේ පත්තර කලාව පිළිබඳ අත්දැකීම් මගින් එදා පුවත්පත් කලාව පිළිබඳව සහ එහි අද පවතින තත්ත්වය පිළිබඳවත්, ග්‍රැෆික් නිර්මාණ කලාව පිළිබඳව අප එදා මුහුණ දුන් ගැටලු සහ නව නිර්මාණ විසින් ඒවා විසඳා ඇති ආකාරයත් පාඨකයාට අවබෝධ කරගත හැකි බව ඔහුගේ අදහසයි. එමෙන්ම අද වනවිට අපේ වටපිටාවෙන් සම්පූර්ණයෙන්ම වාගේ තුරන් වී ගොස් ඇති බව පෙනෙන කැසට් පට නිෂ්පාදනය, එම සංස්කෘතිය සහ එහි ව්‍යාප්තිය පිළිබඳවද ඉතා හොඳ අවබෝධයක් ද මෙම කෘතිය තුළින් ලබාගත හැකි බව ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ කැසට් කවර නිර්මාණයේ අග්‍රගණ්‍ය සලකුණ බවට පත්වීමට ප්‍රේම් දිසානායකට අවස්ථාවක් උදා වූ බැවිනි. ඔහු ඒ කාලයේ හි ලංකාවේ ප්‍රධාන පෙළේ ගායක ගායිකාවන්ගේ කැසට් පට වෙනුවෙන් කවර 3000-4000 අතර ප්‍රමාණයක් නිමකර ඇත.

මේ සියලු ධාරාවන් පිළිබඳව අත්දැකීම් ලබමින්ද, ඒවා තුළ සිය අනන්‍යතාව තහවුරු කරමින්ද ඔහු ආ ගමන් මඟ ආරම්භ වන්නේ තර්ස්ටන් විදුහලෙහි උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව නතර කර පත්තර රස්සාවට ඒමත් සමගය. සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ ප්‍රේම්ගේ පියාට සිය පුතුගේ අධ්‍යාපන කටයුතු සඳහා අතදිග හැර වියදම් කරන්නට මුදල් හදල් වලින් අඩුවක් නොවූ අතර, ඔහුගේ සිත පත්ලේ තම පුතු දොස්තර මහතෙකු වනවා දැකීමේ අප්‍රකාශිත බලාපොරොත්තුවක්ද තිබී ඇත. නමුත් සිය පියාගේ එම අහිංසක බලාපොරොත්තුව සිත තුළම අකුලා ගන්නට ඉඩ සලසමින් පාසලෙන් අස්වූ දිනට පසු දිනම පත්තර කාරයෙකු ලෙස වැඩ අරඹන ප්‍රේම් තව ටික කලකින් එතැනින් ඉවත් වන්නේ අප මුලින් සඳහන් කළ ආකාරයට පැය කිහිපයකට සීමා වූ ගුරු පත්වීම ලබා ගනිමිනි.

“කෙටි අපේක්ෂාවන් ජය ගැනීමේ මොකක්දෝ රෝගයක් මට තිබුණා. අතෘප්තිකර රස්සාවක් හෝ අධ්‍යාපන කටයුත්තක දීර්ඝ කාලීනව ඉන්න බැරිකම ඒ රෝගයේ ලක්ෂණ බවට පත්වුණා”

ප්‍රේම් දිසානායක තම රෝගය විනිශ්චය කරන්නේ ඒ අයුරිනි.

නමුත් මේ ‘අමුතු රෝගය’ හේතුකොට ගෙන ඔහු සෑහෙන්නට බැට කෑවේය. සමහර අවස්ථාවල හෙතෙම පුදුමාකාර විදියේ දුක්පීඩා වලට ගොදුරු වූයේය.

“නමුත් එල්ල වූ හැම ප්‍රශ්නයක්ම මගේ උත්සාහයෙන් ජය ගත්තා” ඔහු කියන්නේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුවය.

“ඒවාට මුහුණ දෙන්නට පන්නරය ලැබුණේ මම කළ දේවල් පිළිබඳව තනිවම ඉගෙන ගෙන තිබුණ නිසා. උදාහරණයක් වශයෙන් පත්තර කලාවට මට ගුරුවරයෙක් නෑ. ග්‍රැෆික්වලට ගුරුවරයෙක් නෑ. දැන්වීම් කලාවට වගේම මා දැන් යෙදී සිටින මුද්‍රණ ශිල්පයටවත් ගුරුවරයෙක් නෑ. හැබැයි නිත්‍ය ගුරුවරයෙක් නොසිටියාට මම සමාජයේ බොහෝ පිරිසකගෙන් ඉගෙන ගත්තා. ඒ කියන්නේ මම අහල දැකල ඉගෙන ගත් මිනිහෙක් කියන එකයි”

ඔහු පවසන්නේ ඒ නිසාම ගුරුවරයෙක් යටතේ පුහුණු වූ මිනිසෙකුට වඩා තමාට අදාළ රාජකාරි වඩා හොඳින් කළ හැකි වූ බවයි.

ඒ අනුව තමාගේ කෘතිය දෙපයින් නැගී සිටින්නට තැත් කරන්නෙකුට අත්වැලක් විය හැකිවාසේම, සමහර විටක තමාගේ ක්‍රමවේදයන් අත්හදා බලන්නට යෑමෙන් අමාරුවේ වැටීමට ඉඩ සලසන්නක් වීමටද ඉඩ ඇති බවය. “මම සමහර දේවල්වලට අත ගහල මේ විදියට ගොඩ ආවා කියන එකත් මටම පුදුමයි. ඒක මගේ ධෛර්යය නිසා පමණක් නොවෙයි. දෛවය නිසාත් වුණ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මට කියන්නට තිබෙන්නේ අප යමෙකුගේ ජීවිතය ආදර්ශයට ගනු ලැබුවත්, ඔහු කළ දේවල් අත්හදා බලන්නට යෑම එතරම් හොඳ දෙයක් නොවන බවයි”

අපේ සමාජයේ කිරීටය දරන ඉහළම දේශපාලන ස්ථරයේ සිට, පටි කැඩුණු සෙරෙප්පුව හර්නෙල් කට්ටකින් රඳවා ගත් දුප්පතා දක්වා එකසේ සමීපව ඇසුරු කළ ප්‍රේම් දිසානායක තම කෘතිය තුළ ඒ පිළිබඳව කතා කර ඇත්තේ කෙසේදැයි දැන ගන්නටද බොහෝ දෙනකු තුළ ඇත්තේ නොතිත් ආශාවකි. එයට හේතුව මෙකී බොහෝ චරිතවල සැබෑ ස්වරූපය අපට වඩා හොඳින් ඔහු දන්නා බැවිනි.

“මුලින්ම සඳහන් කළ ආකාරයට සදාචාරයට සහ නීතිමය තත්ත්වයන්ට යටත්ව සමාජයේ ඉහළම ස්ථරයේ සිටින පුද්ගලයන් ගැන පවා එළිදරව් කළ යුතු දේවල් එළිදරව් කර තිබෙනවා. ඒ වගේම මා මුහුණ දුන් ඇතැම් අසාධාරණයන් පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වුවමනාවක් මා තුළ තිබෙනවා”

චරිතාංග ලේඛන කටයුත්ත පිළිබඳව ඔහුගේ අදහස වන්නේ එය ස්වයං චරිතාපදානයක් ලෙස තමා විසින් නොලියා, නොවී පිට කෙනෙකු අතින් ලියවෙනවා නම් සමහර විට අතිශයෝක්තීන් තිබීමටත්, කරුණුවල අඩුපාඩු තිබෙන්නටත්, ඒ වගේම සමහර දේවල් නොලියවී තිබෙන්නටත් ඉඩ ඇති බවය. එයට ප්‍රධාන හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ බාහිර රචකයා විසින් එය ලියනු ලබන්නේ තමාට ලැබෙන කරුණු පමණක් පදනම් කර ගනිමින් වීමය.

“නමුත් තමන් විසින් ස්වයං චරිතාපදානයක් ලියන විට ලිවිය යුතු සහ නොලිවිය යුතු දේ මොනවාදැයි යන අවබෝධයෙන් ඔහුට ඒ කාර්යය කළ හැකියි. ඒ කියන්නේ සමාජයට වැදගත් දේ මොනවාදැයි නොවැදගත් දේ මොනවාදැයි ඔහුට තීරණය කළ හැකි වෙනවා. එම චරිතාපදානය ලියන තැනැත්තා සිය ජීවන ගැටලුවලට මුහුණ දුන් ආකාරයත්, ඉන් ජය ලැබූ ආකාරයත් පිළබිඹු වීම නිසා පාඨකයාට ඉන් උත්තේජනයක් ලැබෙනවා. ඒ තුළින් එම පුද්ගලයාගේ පෞරුෂය ගැනත්, ඔහු ගනුදෙනු කළ සමාජය ගැන අවබෝධයක්ද නිරායාසයෙන්ම පාඨකයාට ලබා ගත හැකියි. මා සිතන ආකාරයට චරිතාපදානයකින් සිදුවිය යුතු වැදගත්ම මෙහෙවර එයයි. මේ කටයුත්තේදී සමහරුන් ඉතා දිළිඳු අඩියක් සිට ඉහළ තලයකට පැමිණි පසු එම අතීතය අමතක කොට සිය චරිතාපදානය ලියන අවස්ථා තිබෙනවා. නමුත් ස්වයං චරිතාපදානයකදී තමා විසින් අත්විඳිනු ලැබූ දුක් පීඩා සහ පරාජයන් පිළිබඳව නිර්ව්‍යාජව කතා කිරීමට තරම් ඔහු අවංක විය යුතුයි. එසේ නොවේ නම් එය සාර්ථක චරිතාපදානයක් කියා මා සලකන්නේ නැහැ. ඒ අනුව මෙම කෘතියේදී මා විසින් විඳින ලද නින්දා අපහාස, දුක් ගැහැට, සමහර විටක් මිනිසෙකුට කියන්නට බැරි තරම් වූ පීඩාවල් පවා හෙළිකර තිබෙනවා. ඒ වගේම මගේ ව්‍යාපාර නන්නත්තාරවෙලා ගිය අවස්ථා තුන හතරකින් ඒවා යළි බේරාගෙන ගොඩ දමා ගත් ආකාරයත් මේ තුළින් කියවෙනවා. සමහර විටක වෙන අයෙකු මේ තත්ත්වයට මුහුණ දුන්නා නම් සිය දිවි නසා ගැනීමට හෝ පිස්සෙකු වීමට ඉඩ තිබුණ බව මම දන්නවා” යයි ප්‍රේම් දිසානායක පැවසීය.

“මා නියැළී සිටින ව්‍යාපාරය නිර්මාණාත්මක සහ සමාජයත් සමග දැඩි ලෙස ගනුදෙනුවක් සහිත එකක්. ඒ නිසා උළු ගඩොල් කපන ව්‍යාපාරයක් වගෙ මෙය කරන්න බැහැ. ඒ නිසා මෙවැනි ව්‍යාපාරයක් වැටුණොත් එය ගොඩ ගැනීමට ඒ ගැන අවබෝධයකුයි දැඩි ආත්ම විශ්වාසයකුයි අවශ්‍ය වෙනවා. මා ඒ කටයුත්තේ නිරත වූ ආකාරය මෙම කෘතියෙන් කියවෙනවා”

සිය ජීවන ගමනේදී ප්‍රචණ්ඩ සැඩ සුළං, මහා ගංවතුර උවදුරු මෙන්ම විවිධාකාර සලා වැටුම්වලටද මුහුණ දෙමින් ආ ස්වකීය ජීවන යාත්‍රාවේ වත්මන් තීර්ථය ගැන ඔහු කතා කරන්නේ තෘප්තිමත් හැඟීමෙනි. ඔහු පවසන්නේ තමා හම්බ කළ දේ ගැන වැඩිපුර සතුටක් නොලැබුවා සේම ඒවා නැතිවූ අවස්ථාවල දුක් වූවේද නැති බවය. උත්සාහය තරමටම දෛවය ගැනද විශ්වාස කරන ඔහු අප මේ මහන්සිවන ප්‍රමාණයෙන් අල්පයක්වත් මහන්සි නොවන පුද්ගලයන්ගේ ලැබීම් දෙස බලන විට ඒ බව ඔප්පු වන්නේ යයි පවසයි.

ස්වකීය දිවි ගමනේ විවිධාකාර ඉලක්ක පසුපස හඹා යමින් සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කළ සියලු ජයග්‍රහණයන් පසුපස ඇති වඩාත් සංවේදී කතාව ඔහු පැවසුවේ මෙම සාකච්ඡාව අවසානයේදීය. එනම් තමා උසස් අධ්‍යාපනය ලබා දොස්තර කෙනෙක් වනු දැකීමට සිය දෙමව්පියන් තුළ වූ අහිංසක බලාපොරොත්තුව කඩා බිඳ දැමීම වෙනුවෙන් වන්දි ගෙවීමට තමා තුළ වූ දැඩි වුවමනාවය. තමා ඉගෙන ගත් විද්‍යා ගණිත විෂය ධාරාවන්ගෙන් පරිබාහිරව තමාගේ දෙඅත තුළ සැඟවී තිබූ වෙනත් ශක්තියකින් දොස්තරවරයෙකුට වඩා දෙයක් කළ හැකි බව දෙමව්පියන්ට ඔප්පු කිරීම ඔහුගේ අපේක්ෂාව විය.

නමුත් සිය ව්‍යාපාරික ජීවිතයේ සියලු ඇද වැටීම්වලදී යළි නැඟිට සිටීමට ප්‍රේම්ට විශාල ශක්තියක් වූයේ සිය පියා විසින් දෙන ලද උපදෙසකි. ඔහු කියා තිබුණේ බිස්නස්වල ලාභ වගේම පාඩුත් තිබෙන බවය. එය දැන ගෙන බිස්නස් කළ යුතු බවය. අනෙක් අතින් ඔහු ප්‍රේම්ට පරමාදර්ශයක් වී තිබුණේ යම් කිසි ප්‍රතිපත්තිමය කාරණයක් හේතුකොටගෙන ක්ෂණයකින් කෝටි ගණනක ව්‍යාපාර සම්බන්ධතාවන් අතහැර දමා නිවසට පැමිණ කුඹුරු කොටන්නට පටන් ගැනීමෙනි.

මේ වන විට ඉතා විශිෂ්ට ගණයේ චරිතාපදාන සියයකට වැඩි ප්‍රමාණයක් පළකොට ඇති ප්‍රේම් දිසානායක තමා කැමතිම චරිතාපදානය වශයෙන් අවසානයේ පැවසුවේ ඒ තම පියාගේ කතාව බවය. එය මේ සුප්‍රකට ප්‍රකාශකයාගේ සාප්පුවේ පොතක් ලෙස නොව ලෙයින් මසින් සුසැදි ඔහුගේ හදවතේ ලියවී පවතින්නකි.

● තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment