හැමදේම විඳදරාගෙන එයා මට සහයෝගය දෙනවා – කැලුම් ශ්‍රී

158

අපි හොඳට ජීවිතය විඳිනවා

මේ දිනවල පුංචි තිරයේ විකාශනය වන දිවිතුරා හි “විශාල්” ලෙසිනුත් සික්ස්පැක් හි “රවිෂාන්” ලෙසිනුත් එකිනෙකට වෙනස් චරිත ඔස්සේ ඔබ කාගෙත් ආදරය දිනා ගන්නට සමත් වූ රංගනයෙන් මෙන්ම නර්තනයෙන් ද දක්ෂයකු වූ රංගන ශිල්පියෙක් තමයි කැලුම් ශ්‍රී කියන්නේ. කැලුම්ට වගේම විශාල්ට සහ රවිශාන්ටත් ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මෙවර මීවිත “කැලුම්” එක්ක සුහද කතාබහක යෙදුණා.

● මේ දවස්වල කාර්යබහුලයි වගේ?

මේ දවස්වල නම් චාමර ජයවීර අධ්‍යක්ෂණය කරන “දිවිතුරා” ටෙලිනාට්‍යයේ සහ අසංක සායක්කාරගේ “සික්ස්පැක්” ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරනවා. ඒවත් එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.

හැමදේම විඳදරාගෙන එයා මට සහයෝගය දෙනවා - කැලුම් ශ්‍රී

● ඔබ කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?

මම මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ වෙළෙඳ දැන්වීම්වලින් සහ මියුසික් වීඩියෝවලින්. ටෙලිනාට්‍යයකට කියලා මුල්වරට සම්බන්ධ වුණේ, “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” ටෙලිනාට්‍යයට.

● දිවිතුරා “විශාල්” ගැන කතා කළොත්?

“විශාල්” කියන චරිතයට මට ආරාධනා කළේ හිරු නාලිකාවෙන්. ඉතින් මේ දවස්වල නම් විශාල්ට මිනිස්සු බනිනවා. හැබැයි අවුලක් නෑ. මොකද මම ඒ චරිතයට අදාළ විදිහට රංගනයේ යෙදෙන නිසා එහෙම මිනිසුන්ගේ ප්‍රතිචාර තියෙනවා, කියලා තමයි මම හිතන්නේ. මම රඟපෑ චරිතවලින් කොහොමත් විශාල්ගේ චරිතය තමයි ගොඩක් මිනිස්සු අතරට ගියේ. ඒක නිසා ඉතිං ඒ හැම ප්‍රතිචාරයක්ම මම සතුටින් භාරගන්නවා.

සික්ස්පැක් හි “රවිෂාන්”ට කට්ටිය මොනවාද කියන්නේ?

සික්ස්පැක් එකේ ඇත්තටම මම මගේ ඇත්ත ජීවිතේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් කරන්නේ. ඒකට ඇත්තටම මම දන්න යාළුවෝ සහ කලා ක්ෂේත්‍රයේ ඉන්න මාව දන්න, මාව ගොඩක් ළඟින් ආශ්‍රය කරන අය කතා කරලා මට කිව්වා ඒ වගේ චරිතයක් කරන එක ගොඩක් සතුටුයි කියලා. ඒ වගේ චරිතයක් කලින් දැකලා නැහැ, ඔයාට ඒ වගේ දෙයක් පුළුවන් එකත් ලොකු දෙයක් කියලා කියනවා. මොකද රවිෂාන් කියන්නේ අමුතු චරිතයක්නේ. ඒ නිසා රවිෂාන් කියන චරිතයට ප්‍රතිචාර ගොඩක්ම හොඳයි. ප්‍රේක්ෂකයෝ ගොඩක් කැමතියි ඒ වෙනසට.

හැමදේම විඳදරාගෙන එයා මට සහයෝගය දෙනවා - කැලුම් ශ්‍රී

● ඔබේ රසිකයන්ට නර්තනය පැත්තෙන් ඉදිරියේදී අලුත් නිර්මාණ දැකගන්නට පුළුවන් වෙයිද?

මගේ ප්‍රේක්ෂකයන් අහනවා අලුත් නිර්මාණ බලා ගන්න බැරිද කියලා. මොකද ගොඩක් නිර්මාණවලට අපිට නර්තනය භාවිතා කරන්න වෙන්නේ නැහැ. ඒ වගේ නිර්මාණයක් ලැබුණොත් විතරයි අපිට නර්තනය භාවිතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉතින් ගොඩක් දුරට ප්‍රේක්ෂකයන්ට බලාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරියේදී මගේ යූටියුබ් එක හරහා dancing covers කරලා මගේ නර්තනයට ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් වීඩියෝස් ලබාදෙන්න. නර්තනය නම් කවදාවත් අමතක කරන්නේ නැහැ. පුළුවන් හැම වෙලාවකම රංගනයට භාවිතා කරනවා.

● ඩාන්සින් ඇකඩමි එකක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

ඇකඩමි එකක් කරන්න බලාපොරොත්තුවක් ඉස්සර තිබුණා. නමුත් දැනට නම් එහෙම එකක් නැහැ. මොකද මට ඒකට වෙලාවත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. ඇකඩමි එකක් පටන් ගත්තොත් ඒ දවසට අනිවාර්යෙන්ම එතන ඉන්න ඕනේ. මොකද ළමයි මං වෙනුවෙන් බලන් ඉන්න නිසා ඒක ලොකු වගකීමක්. ඒ නිසා ඒ වගකීම දරන්න තවම මට බැහැ.

● පොඩි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?

එහෙම ලොකුවට හීන තිබුණේ නැහැ. හැබැයි මනුස්සයෙක් මාව අඳුරගෙන ඇවිත් කතා කරනවට තමයි මම කැමැති වුණේ. කාලයක් යද්දි ටික ටික ලොකු වෙද්දි තමයි කලාව පැත්තට එන්න ආසාවක් ඇති වුණේ. පොඩි කාලෙදී නම් එහෙම රංගනය පැත්තට එන්න ආසාවක් තිබුණෙ නෑ. හැබැයි මම ගොඩක් cabin crew යන්න ආසාවෙන් හිටියා. සමහරවිට මම ඉදිරියේදී ඒකටත් උත්සාහ කරයි.

● මේ ලැබෙන ප්‍රේක්ෂක ආදරයත් එක්ක අද මේ ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් සතුටුයි. මම සතුටුවෙන එකම දේ තමයි ප්‍රේක්ෂකයන් ඇවිල්ලා මාත් එක්ක මගේ නිර්මාණ ගැන කතා කරලා, ෆොටෝස් ගන්න එක තමයි, මම ලබන එකම සතුට. ඇත්තටම මට ඒ දේ සම්මානයක් ලැබුණා වගේ තමයි. ඒ තරමට ප්‍රේක්ෂක ආදරය කියන දේ මම විඳිනවා.

● ආදරණීය බිරිඳගෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

එයාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා වගේම හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. මට මගේ කලා කටයුතු කරගන්න නිදහස ලැබෙනවා කියන්නෙම ලොකු දෙයක්. නැත්නම් මගේ ඔළුවට නිදහසක් නැහැනේ එක එක ප්‍රශ්න ආවොත්. ඇත්තටම කලාකරුවෙකුට නිදහස කියන දේ නැත්නම් කිසිම දෙයක් කරගන්න බැහැ. ඒ නිදහස මට ලැබුණ නිසා තමයි කලා ක්ෂේත්‍රයේ, මගේ නිර්මාණවලට හොඳ සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ. සමහර දවස්වලට දවස් දෙක තුන ගෙදර යන්න වෙන්නෙත් නැහැ. ඒ දේවලුත් විඳදරා ගෙන දුලී මට හැම වෙලාවෙම සහයෝගය ලබා දෙනවා. ඒකම ඇති මට මේ ක්ෂේත්‍රය වෙනුවෙන් දෙයක් කරන්න.

● ආදරණීය පුංචි පවුලත් මතක් කරමු නේද?

ඔව්, මට පුංචි පුතෙක් ඉන්නවා. එයා ශ්‍රී ආර්ය දාසීස්. ඇත්තටම ගොඩක් වැඩකරලා, මහන්සිවෙලා ගෙදර යනකොට ඉතින් චූටි පැටියගේ හුරතල් නිසා තමයි මගේ වෙහෙසත් නැති වෙන්නේ. විශේෂයෙන්ම ඒක ජීවිතේට හොඳ අත්දැකීමක්. අපි හොඳට ජීවිතේ විඳිනවා. පවුල තමයි මගේ හැමදේම.

පාරමී කෞෂිකා

advertistmentadvertistment
advertistmentadvertistment