අවුරුදු 25ක් සිංහල දරුවන්ට ඉගැන්වු දමිළ ගුරු මාතාව

වල්ලිපුරම් කිව්වම අපිට මතක් වෙන්නේ වල්ලිපුරම් රන් සන්නස.

ඒ එතරම්ම වටිනා ඓතිහාසික වැදගත් සන්නස හමුවෙන්නේ යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ වල්ලිපුම් ගම්මානයෙන්. ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට වැදගත්ම සාක්ෂියක් වූ මේ රන් සන්නස අදටත් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරලා තියෙනවා. අතීතයේ පැවැති වැලිපුර ගම වර්තමානයේ වල්ලිපුරම් ගම ලෙස භාවිත වෙනවා කියලයි පොත පතේ සඳහන් වෙන්නේ. වර්ෂ 1936 දී පමණ කෝවිලක් සෑදීම සඳහා පදනම් කාණු කැපීමක දී උදලු පහරකට හසු වූ මේ රන් සන්නස සමග පුරාවස්තු ගණනාවක් හමුවී තිබෙනවා. අඟල් 4ක් දිග, අඟල් 1ක් පමණ උස මේ සන්නස ක්‍රි.ව.පළමු ශතවර්ෂයට අයත්. ඒ වසභ රජුගේ කාලයට (ක්‍රි.ව. 65-109). මේ කාලයට අයත් බ්‍රාහ්මීය අක්ෂර විශේෂයකින් මේ සන්නසේ අක්ෂර සටහන් වී තිබෙන්නේ. සන්නසින් කියවෙන ඒකීය රටක් යන වටිනා සහතිකය, සාක්ෂිය තමයි වල්ලිපුරම් සන්නස ලෙසින් ප්‍රසිද්ධ. මේ සන්නස සටහන් කරලා ජාතික සමගිය ගැන ලස්සන ගීත පවා ලියැවුණා.

මෙන්න මේ අයුරින් ම උතුර දකුණ යා කරමින් ජාතීන් අතර පාලමක් ගොඩනැඟූ, සිංහල – දමිළ ජාතින් ලෙස නොව මනුෂ්‍යත්වය පදනම් කරගත් අධ්‍යාපනයක් දුන් ශ්‍රේෂ්ඨ ගුරුමවුතුමියක් තමයි වල්ලිපුරම් ගුරුමෑණියෝ.

මේ සෝබමාන සෞභාග්‍ය ගුණැති ගුරුමව්තුමිය පසුගිය දවසක හමුවුණේ මම පාපැදියෙන් තලෙයිමාන්නාරමේ සිට යාපනය බලා යන අතරතුර මන්නාරමේ තිරුකේතිශ්වරම් කෝවිලේ දී.

වල්ලිපුරම් ගුරුමව්තුමිය, 80-90 දශකයේ කොළඹ ප්‍රසිද්ධ උසස් පෙළ රසායනික විද්‍යාව ගුරු මව්තුමියක්. ඇයගේ ජීවිත කතාව රළු බොරලු, ගල්පර මෙන්ම අලංකාර නිම්න ඔස්සේ ගලා ආ මහරු ගඟක්. ඈ මෙතෙක් ගත කළ ජීවිතය අපට ආදර්ශයක් නිසා හැමෝට ම දැනගන්න කියන්නයි මගේ අරමුණ. සමහර තැනෙක ඇගේ කතාව දුක්බරයි.

ඇගේ ඒ වේදනාව මුසු කතාව තිරුකේතිශ්වරම් කෝවිල තුළ නිහඬතාව බිඳිමින් ඈ දිග හැරියා.

පුදුමය කියන්නේ වල්ලිපුරම් සන්නස හමුවු 1936 වර්ෂයේම තමයි වල්ලිපුරම් ගුරුමැණීයෝ උපදින්නෙත්. හරියටම කියනවනම් 1936 ඔක්තෝබර් 18 වැනිදා චාවකච්චේරිය මට්ටුවිල් උතුර කුඩා ගම්මානයේ, පාරම්පරික දක්ෂ ගොවිමහතෙකු වූ සින්නතම්බි සංගරපුල්ලේ සහ මව වූ කැට්වහම් ට දාව උපන් පස්දෙනකුගෙන් යුත් පවුලේ හරි මැද සිටගත්තේ සින්නපුල්ලේ සංගරපුල්ලේ නමිනුයි.

මට්ටුවිල් ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය හදාරා ද්වීතීක අධ්‍යාපනය චුන්නාකම් හි රාමනාදන් විද්‍යාලයෙන් අවසන් කළ ඈ 1952 දී ඉන්දියාවට යනවා. ඉන්දියාවේ හෝලීක්‍රෝස් කොලීජියෙන් රසායන විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත්තේ 1957 වර්ෂයේ දී. ගොවිතැනින් උපයා ගත් මිල මුදලින් සියලු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපකළ සින්නතම්බි සංගරපුල්ලේ, ශිව දෙවියන් සහ කතරගම දෙවියන් වන්දනා මාන කරමින් නිර්මාංශික දිවිපෙවත, තමන් මෙන්ම තම දරුවන්ටද පුරුදු පුහුණු කරපු වචනාර්ථයෙන් ම ආදර්ශවත් පියෙක්.

වල්ලිපුරම් ගුරුතුමිය උපාධිය අවසන් කර ලංකාවට පැමිණීමෙන් පසු මුල්ම පත්වීම ලැබුණේ මාතලේ පාක්‍යයම් විද්‍යාලයේ පළමු සහ දෙවන පන්තිවලට දෙමළ භාෂාව ඉගැන්වීමටයි. මේ අතර කාලය තුළ දී මට්ටුවිල් ග්‍රාමයේම තරණයකු වූ වී. වල්ලිපුරම් ගේ හදවතේ ඉඩකඩ ඇයට ලැබුණා… භාෂා පරිවර්තකයකු වූ වී. වල්ලිපුරම් මහතා පාසල් පෙළපොත් ද්‍රවිඩ බසට පරිවර්තනය කරන ප්‍රකාශන අංශයේ සහකාර කොමසාරිස් ධුරය දරපු කෙනෙක්.

“අපිට දුවලා දෙන්නෙක් ලැබුණා. ලොකුදුව බාලසරස්වතී වල්ලිපුරම්. පොඩි දුව පංචලක්ෂමී වල්ලිපුරම්. දිගු සුසුමක් අහසට එක් කළ ඇය, සඟවාගත් බරසාර දෙයක් කියා ගන්නට ඇති බව හඟවමින් නෙත් අඩවන් කරගත්තා. වල්ලිපුරම් ගුරුමැණියෝ සංසුන්ව හෙමින් හෙමින්, අමතක කර තිබූ අතීතයේ පැහැදිලි මතකය ස්පර්ෂ කරමින් හැඟුම්බරව එකින් එක විත්ති, විස්තර කරන්න සැරසෙනවා. කෝවිල තුළ වූ දේව කන්නලව්ව, ඝංඨානාද, ශබ්ද පූජා දෝංකාර දුන්නත් මට ඒ සියල්ල මැද නිහඬ බවක් මැවුණා.

ඒ සියලු හඬවල් පරදා ගුරුමැණියන්ගේ හඬ ඉස්මතු වුණා.

මගේ මහත්තයා කොළඹ සේවය කළ නිසා, මමත් කොළඹ ප්‍රදේශයට මාරුවීමක් ඉල්ලා සිටියා. 1962 වර්ෂයේ දී වේයන්ගොඩ මධ්‍ය මහ විද්‍යාලයට මාරුවීමක් අරන් ගම්පහ පහළගමට පදිංචියට ආවා. ඒ අවස්ථාව මගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් මෙන්ම විශාල අභියෝගයක් වුණා. උසස් පෙළ ළමුන්ට රසායන විද්‍යාව විෂය උගන්වන්න මට අවස්ථාවක් ලැබුණා. ඒත් පොඩි ගැටලුවක් වුණේ, මා සිංහල භාෂාව නොදෑනීමයි. එය අභියෝගයට ගනිමින්, භාෂා පරිවර්තයකු මගේ මහත්තයාගෙන් සිංහල භාෂාව ඉගෙන ගත්තා. මගේ මහත්තයා වගේ ම පාසලේ සිසු දරුවනුත් මට උපරිමයෙන් උදව් කළා. රසායනික විද්‍යාව විෂය සංකීර්ණ විෂයයක්. මම සරල සිංහලෙන් ඉගැන්නුවා. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1971 දී, උසස් පෙළ වාර්තාවක් තබමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සමග සම ස්ථානය හිමි කරගත්තා.

වල්ලිපුරම් ගුරු පෞරුෂය එහෙම කියද්දී, ඒ පෞරුෂවත් මුවේ සතුට ට මුසු වූ ආඩම්බරකාරි ගතියක් තිබුණා. මම ඇගේ කතාවට බාධා කළේ නෑ. සියලු දේට සූදානමින් මගේ කන් දෙක ඇගේ හඬ සොයන්න ගත්තා.

වසර 13කින් පසු නැවත මාරුවීමක් ලබා දෙහිවල මධ්‍ය මහ විද්‍යාලයට ආවා. 1974 -1979 දක්වා එම විද්‍යාලයේ සේවය කළා. පසුව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට මාරුවක් ලැබුවා. මේ වනවිට අපි වැල්ලවත්තට පදිංචියට ඇවිත්. මගේ දුවලා දෙන්නාගෙන් බාලසරස්වතී වැල්ලවත්ත සෙන්ට් ක්ලෙයාර් බාලිකා විද්‍යාලයේත්, පොඩි දුව හෝලී ෆැමිලි කොන්වන්ට් එකේත් අධ්‍යාපනය හැදැරුවා. 1983 රටේ ජනවාර්ගික කලබලය පැතිර ගියත් අපේ පවුලේ කිසිම කෙනෙකුට කරදරයක් උනේ නෑ. අපි මාසයක් පමණ නිවසට වී සිටින අවස්ථාවේ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විදුහල්පති අලස් මහතා සහ සිසු දරුවන් අපගේ සියලු අවශ්‍යතා සපුරමින් ආරක්ෂා කළා. රැකවල් ලා සිටියා.

මම වසර 25ක ගුරුසේවා කාලය අවසන් කර විශ්‍රාම ගන්නාවිට මට වයස අවරුදු 45යි. වේයන්ගොඩ විදුහලේ හිටපු විදුහල්පතිනියකගේ බලවත් ඉල්ලීමකට ඇගේ ඥාති දුවෙකුට රසායනික විද්‍යාව පන්තියක් කළා. ඒ දුව ඉහළින්ම සමත් වුණා. එහි ප්‍රතිඵලයක් විදියට ඊළඟ අවුරුද්දේ මට අමතර පන්තියක් පිරෙන්න ළමයි ආවා. මම රසායනික විද්‍යාව ඉගැන්නුවේ සරළ විදියට. පසුව සියගණනින්, දහස් ගණනින් මා වටා එක්වුණේ කිසිම පොස්ටරයක් හෝ පුවත්පත් දැන්වීමක් නොදමා. මේ සියලුම සිසුන් සිංහල. මම අවුරුද්දකට දෙවතාවක් රසායනික විද්‍යාව විෂය නිර්දේශය සම්පූර්ණ කරනවා. මේ ළමුන් උසස් අයුරින් සමත් වෙලා දැන් ලංකාවේ පමණක් නොවේ, ලෝකේ ඉහළම තැන්වල රැකියා කරනවා. ඒක ගුරුවරයෙකුට ලැබෙන ඉහළම ආත්ම තෘප්තියක්. ඒක මට මහත් ආඩම්බරයක්.

ඒ අතීතය මතක් කරපු මැඩම් සාරි පොටේ එක් කෙළවරකින් ඇස් කෙළවර පිස දැම්මා. හැඟුම්බර ආඩම්බරයක වර්ණ, රැලි ගැන්වී තිබූ මුහුණේ වාත්තුවෙලා තිබුණා. මම නිසොල්මන්ව බලාගෙන සිටියා.

මේ වෙද්දී වල්ලිපුරම් ගුරුමව, වල්ලිපුරම් මැඩම් වෙලා. මුළු කොළඹ ම දන්න නමක්. වල්ලිපුරම් මැඩම්ගේ රසායනික විද්‍යාව පංතියට වැඩිපුරම ආවේ රාජකීය, ආනන්ද, නාලන්ද, ඩී.එස්, දේවිබාලිකා, විශාකා විද්‍යාලවල වගේම කොළඹ අවට වෙනත් පාසල්වල දක්ෂම සිසු සියුවියන්.

මැඩම්ගේ කතාව අහන මමත් 1985 උසස් පෙළ ගණිත විෂයයන් කළේ. ඒ කාලේ මැඩම් ගැන අසා තිබුණත් මැඩම්ගේ පන්තියට යන්න අදිමදි කළේ මම දක්ෂයෙක් නොවූ නිසා.

මේ කෝවිල් බිමේ පොළොවට බර දෙන මගේ හිත ඊට වඩා බර වුණේ ඈගේ මේ දිවියේ වර්තමානය ගැන බර ගැටලුවකින්. මම ඇගෙන් ඇහුවා, මැඩම් යාපනයේ ඉපදිලා, කොළඹ රැකියාව කරලා, අවසන් කාලය ගතකරන්න මන්නාරමට ආවේ ඇයි? කියලා.

මැඩම්ගේ ඇස් යොමු වුණේ කෝවිලේ දේව රූප දෙසට. මැඩම් තත්ත්පර ගණනාවක්, විනාඩියක දෙකක නිහැඬියාවකින් පසු මගේ ප්‍රහේළිකාකාර මුහුණ දිහා එක එල්ලේ බැලූවා. ඇගේ බැල්මෙහි දුක මුසු ශෝක බරිත විලාසයක් තිබුණා.

පුතේ…..

මගේ ජීවිතයට කරදර පිට කරදර එන්න ගත්තා. මගේ දියණියන් දෙන්නම ඉහළට ඉගෙන ගත්තා. වැඩිමහල් දියණිය අක්ෂි විශේෂඥ වෛද්‍යවරියක්. බාල දියණිය පංචලක්‍ෂ්මීත් වෛද්‍යවරියක්. මගේ දරුවන් දෙන්නම පිළිකා රෝගයෙන්, තරුණ වියේ දීම මියගියා. ඒ දුක දැරාගන්න බැරිව මගේ මහත්තයත් මිය ගියා.

මැඩම් මෙහෙම කියද්දි, මේ කතාවේ ඉතිරි ටික මම කොහොම අහගෙන ඉන්න ද? කියලත් මට හිතුණා. මගේ උගුර කටත් වේළීගෙන එනවා වගේ. ඒ දරා ගැනීම මැඩම් කොහොම කළා ද කියලා හිතනකොට.

මැඩම්ගේ හඬ දැන් එන්න එන්න ම ශෝකාණුකූලයි. ඒත් පෙර මෙන් සාරිපොටෙන් පිස දැමීමට කඳුළක් ඉනුවේ නෑ. ඒ ජීවිතයේ නියම අවබෝධය, අනියත බව යන යථාර්ථය මැඩම් අවබෝධ කරගෙන ඇති නිසා ද? මේ සියලු දුක් දරාගැනීම් මැදින් ජීවිතය නොසැලී ඉදිරියට ගෙන ගිය බවක් දැනුණා.

සංහිඳියාවේ නවාතැනක හිඳ මෝක්ෂය පතන රසායනක විද්‍යා ගුරුවරිය වල්ලිපුරම් මැඩම්

අපි ඉගෙනගත් පටාචාරා කතාවේ, පවුලේ සියලුම ජීවිත අහිමි වෙන පටාචාරා ඊළඟට නැවතුණේ බුදුරජාණන් වහන්සේ ළඟ. බුදු හාමුදුරුවෝ ජීවිතය ගැන පටාචාරාවට අවබෝධ කරලා දුන්නා. ඇයට යෑමට මඟක් තිබුණා සේ, මැඩම්ට එහෙම කෙනෙක් හමුවුණා ද? යන කුතුහලය මගේ හිතේ කැකෑරෙමින් තිබුණා. මැඩම් කිසිම ශෝකබරිත බවක් පෙන්වූයේ නෑ. නිහඬ බව බිඳිමින් මැඩම් හඬ අවදි කළා.

මේ සියලු දේ වෙන්නේ පුතේ, අපේ පෙර කළ කුසල් අකුසල් අනුවනේ. මම පෙර ආත්මයක ලොකු පවක් කරලා ඇති. මගේ හයියට හිටියේ, අපි අදහන ශිව දෙවියන් වගේම කතරගම දෙවියන්. මට කියන්න යදින්න හිටියේ මේ දෙවිවරු තමයි පුතේ. මැඩම්ගේ ඇස් යොමුවී තිබුණේ ඈත කෙළවරේ තිබුණ ශිව දේව පිළිමයක් වෙත.

මැඩම්ට බාදා කරමින් කතා කරන්නට මට යමක් තිබුණා. ඒක මේ වෙද්දි මට හිර කරගෙන ඉන්න අමාරුයි. මම මගේ හඬ අවදි කළා.

ඇයි? මැඩම් මන්නාරමේ තිරුකේතිශ්වරම් කෝවිල ම තෝර ගත්තේ.

ශිව දෙවියන් මුල් කරගෙන වැඳුම් පිදුම් කරන කෝවිල් පහක් ලංකාවේ තියෙනවා. එකේ ප්‍රධාන කෝවිල තමයි මේ තිරුකේතිශ්වරම් කෝවිල. මගේ පොඩි දුව මන්නාරමේ තිරුකේතිශ්වරම් කෝවිල ගැන නිතරම කියනවා. දුවගේ ප්‍රාර්ථනාවක් තමයි මේ කෝවිල ළඟ පදිංචිවෙලා වැඩිහිටි නිවාසයක් හදලා, අසරණ වැඩිහිටියන්ට සලකමු කියන එක. අපි වැල්වත්තෙ ගෙවල් විකුණලා 2007 මෙහෙ පදිචියට ආවා.

ඇයගේ සැලසුමකට අනුව ”අම්මන්-අප්පන්” වැඩිහිටි නිවාසය හැදුවා. යුද්ධ කාලයේ අසරණ පවුල් 300කට පමණ අපි උදව් කරා. පංචලක්ෂ්මීගේ තවත් අදහසක් වුණේ මෙතැන සියලුම ආගමික හා සියලුම ජාතීන්ට සේවා සපයන ස්ථානයක් පිහිටුවන්න. ඊට පෙර ඈ මාව හැර ගියා. මම දැඩිව ධෛර්යය ගෙන, නොසැලී දුවගේ ඒ ප්‍රාර්ථනාව මුදුන් පත් කරගන්න වෙහෙසුණා…. වෙහෙසෙනවා…

මැඩම්ට කවුරුවත් උදව් කළේ නැද්ද? මගේ කුතුහලය මුසු වූ ප්‍රශ්නය පිටකළා.

මගෙන් ඉගෙන ගත්ත ගොඩක් ළමයි දැන් ඉහළ රැකියාවල ඉන්නවා. පිටරටවලත් ඉන්නවා. ඒ අය මේ ගැන දැනගෙන මිල මුදලින් උදව් කළා. ඒ දුවලා, පුතාලාට ස්තුති කරන්න මේ කතා බහ අවස්ථාවක් කරගන්නවා කියලා මැඩම් ඔළුව පහතට හෙළුැවා.

මගේ ඊළඟ ප්‍රශ්නය මැඩම්ට දැනිලදෝ කියලත් හිතුණා. මැඩම් උත්තරය දුන්නේ මට ප්‍රශ්නයට ඉඩක් නොතබමින්.

මට දැන් අවුරුදු 87ක් පුතේ. මගෙන් පස්සේ ඒ සියල්ලම මේ තිරුකේතිශ්වරම් කෝවිලේ භාරකාරත්වයට පවරලයි තියෙන්නේ.

මැඩම්ගේ මේ ජීවිතයේ කොච්චරනම් පෙරලියක් වෙලා ද? කොහොම දුක් ගින්දරක් උහුලා ගන්න ඇද්ද?

මම මගේ දුක් ගින්දර නිවාගන්නේ, මේ දුවා දරුවන්ට ආගම කියලා දීලා. මැඩම් වටා සිටි ළමුන් පොත් දෙසට නෙත් යොමු කරමින් හිතින් පාඩම් කරනවා.

මේ දේවාලයට මම හැමදාම පුද පූජා කරනවා. ඒක මගේ දින චරියාවේ කොටසක්. මේ ජීවිතයේ ඉතිරි ටිකත් මෙහෙම ම ගෙවා ගන්නවා. මම නැවත ඉපදීමක් ප්‍රාර්ථනා කරන්නේ නෑ පුතේ. මගේ එකම ප්‍රාර්ථනාව මේ පින් බෙලෙන් මෝක්ෂයට ළඟා වෙන්න.

මැඩම්ගේ හඬ තිරසාර මෙන් ම බරසාර වේගෙන එනවා.

මේ ජීවිතයේ මං උහුලපු දුක් ගිනි කන්දරාව හොඳටම ඇති පුතේ.

මැඩම් එහෙම කියද්දි වටේ සිටිය දුවා දරුවන් ගල් ගැහිලා වගේ බලං ඉන්නවා. මේ දරුවන් ජීවිතයේ පළමු වතාව වෙන්න පුළුවන් මේ කතාව අහන. ළමයින් වගේම මමත් අසරණ වෙලා කියලා මටත් හිතණා. මට දැන් මැඩම්ගෙන් සමුගෙන යන්නත් කාලය ඇවිත්. මගේ හිතත් හොඳට ම ශෝකාත්මීය හැඟීමක හිරවෙලා….හිත බරවෙලා.

ජිවිතයේ යථාර්ථය මෙය තමයි. උපදිනවා, නැතිවෙනවා, ආවොත් යන්න වෙනවා. ඒත්, ඒක අපිට ලෙහෙසියෙන් ලියන්න, කියන්න පුලුවන්. ඒ වුනාට සිද්ධිය අපට වෙලා, අපි මුහණ දෙන්න වුණාම, අපි කොහොම ඉදිවිද?

මැඩම්ගේ මේ දරාගැනීමේ හැකියාව අපිට ආදර්ශයක්. මමත් හිත හදාගෙන, මැඩම්ගේ දෙපා වැඳ නමස්කාර කොට ප්‍රාර්ථනා කලේ,මැඩම්ගේ ප්‍රාර්ථනාව සපල වී මෝක්ෂය කරාම පැමිනෙත්වා කියලා !

මම ගිහින් එන්නම් මැඩම්…

සටහන හා ඡායාරූප
හර්ෂණ ජයතිලක

මෙම කෝවිලේ දානවේල් සඳහා ආධාර කිරීමට කැමති පිංවතුන්ට දුරකතන අංක 023-2050822 ට ඇමතීමෙන් වල්ලිපුරම් ගුරුමෑණියන්ස ම්බන්ධකර ගත හැක.

advertistmentadvertistment
advertistmentadvertistment