චන්ද්‍රිකා අයිතිය ඇති රටවල් දකුණු ආසියාවේ තිබුණත් කුරුල්ලන්ට මුලින්ම චන්ද්‍රිකා තාක්ෂණය දුන්නේ අපි…

කුරුල්ලන්ගේ සංචරණ රටා බලන්න මේක හොඳ තාක්ෂණයක්…

කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර පක්ෂි විද්‍යා අධ්‍යයන කවය (FOGSL-UOC) සහ Avian Sciences and Conservation සංසදය මගින් තවත් රාජ්‍ය හා රාජ්‍ය නොවන (දේශීය හා විදේශීය) ආයතන කිහිපයක අවසරය, අනුග්‍රහය හා සම්බන්ධතා ඇතිව ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපය තුළ ක්‍රියාවට නංවන ලද “පර්යටනික කුරුල්ලන් සඳහා දුරකථන සංඥා සංවේදී චන්ද්‍රකා සන්නිවේදන මෙවලම් (Satalite Tags – ඩිවයිස්) පැළඳවීමේ පුරෝගාමී වැඩසටහන”ට සමගාමීව ශ්‍රී ලංකාවේ සිට “ඩිවයිසයක්” (දුරකථන සංඥා සංවේදී චන්ද්‍රකා තොරතුරු මෙවලමක්) දරාගෙන තම සීත කාලය නිමා වනවිට නැවත නැවත උතුරු අර්ධගෝලයේ ආර්ක්ටික් ප්‍රදේශය වෙත ගොස් නැවත නැවත දකුණු අර්ධගෝලයට පැමිණෙන කුරුල්ලන් ගැන ඉතා විශ්මිත හා ආකර්ෂණීය තොරතුරු ගැන අපි පසුගිය සතියේ කතා කළෙමු.

කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ අංශාධිපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතාගේ මූලිකත්වයෙන් සිදුකරනු ලබන මෙම පර්යේෂණ දකුණු ආසියානු කලාපයේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් දියුණු රටවල් පවා අභිබවන තාක්ෂණික භාවිත වැඩසටහනක් වන අතර, දකුණු ආසියානු කලාපයේ මෙම වැඩසටහන සිදුකරනු ලබන පළමු රට වන්නේ ශ්‍රී ලංකාවයි. එනම්, ඉන්දියාව, පකිස්තානය වැනි රටවල් චන්ද්‍රිකා කක්ෂ ගතකිරීමේ හා පණිවිඩ හුවමාරු කිරීමේ තාක්ෂණයෙන් ලොව ඉදිරියෙන්ම සිටියද, එම තාක්ෂණය භාවිතයෙන් කුරුල්ලන්ගේ පර්යේෂණ සඳහා කලාපයේ මෙවන් ගෝලීය වැඩසටහනක් දියත් කරන ලද ප්‍රථම රට බවට පත්ව සිටින්නේ ශ්‍රී ලංකාවයි.

කුරුල්ලන්ට පළඳින මොනවද මේ සැටලයිට් ටැග්ස්?

කුරුල්ලන් පිළිබඳව අධ්‍යයනය කටයුතු අනාදිමත් කාලයක් දක්වා පසුපසට ගමන් කරන අතර ඒවා කොතැනින් ආරම්භ වූයේ දැයි කිව නොහැකි නමුත්, කුරුල්ලන්ගේ සංචරණ විධි පිළිබඳව අධ්‍යයනය සඳහා මුලින්ම කුරුල්ලන්ට (පාදවලට) යකඩ මුදුවක් පැළඳවීම මීට වසර 150-175 කට වැඩි කාලයක සිට පැවත එන ක්‍රමවේදයක් බව මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා පවසයි. ඔහු පවසන පරිදි කුරුල්ලන්ගේ සංක්‍රමණික තොරතුරු අපේක්ෂා කළ අතීත කුරුලු ලෝලීන් වෙඩික්කරුවන් වූ අතර, ඔවුන් කුරුල්ලන් අධ්‍යයනය කර ඇත්තේ වෙඩි තබා බිම හෙළන ලද කුරුල්ලන් වැඩිදුර අධ්‍යයනයෙන්ය. දුරදක්නය හෝ දුරදක්නා කාච සහිත කැමරා බිහිව නොතිබුණු එවන් සමයක කුරුල්ලන් සමීපව නැරඹීමට තිබූ පහසුම හා එකම ක්‍රියාමාර්ගය වී ඇත්තේ මෙසේ වෙඩිතබා කුරුල්ලන් බිම හෙළීමෙනි. ඒ එම කාලය වන විටත් තුවක්කුව බිහිව තිබීම නිසාය.

එසේ හෙයින් මරා දමා නිරීක්ෂණය කරන ලද යම් කුරුල්ලෙකුට පැළඳ ඇති මුදුවක් වැනි දෙයක් නිරීක්ෂණය කළ හැකි වන අතර, එවිට එම මුදුවේ කොටා ඇති අංකයක්, අකුරු හෝ කෙටි පණිවිඩයක් කියවීමට අදාළ කුරුල්ලා මුණගැසුණු අයට හැකි වෙතත්, එහිදී සිදුවන නරක වන්නේ අදාළ මුද්ද පැළඳි කුරුල්ලා ඉන් පසු මිය යෑමත්, මිය නොයා අල්ලා ගැනීමේදී හැර මුදුවේ අඩංගු පණිවිඩ හෝ අක්ෂර කියවීමට ඇති නොහැකියාවයි. මේ නිසා තවමත් සිදුකළත්, කුරුල්ලන්ට මුදු පැළඳවීම පැරණි හා ප්‍රාථමික ක්‍රියාදාමයක් ලෙස කුරුලු විද්‍යාවේදී (Ornithology) සැලකේ.

කුරුල්ලන්ට පළඳින මොනවද මේ සැටලයිට් ටැග්ස්?
සැටලයිට් ටැග් දැමූ කුරුල්ලෙක්

දුරදක්නය හා දිගුදුර කැමරාවලින් පොහොසත් දෙවෙනි පරම්පරාවේ (2 Generation) පක්ෂිවේදීන් කුරුල්ලන් නොමරා කුරුල්ලන් නිරීක්ෂණයට සන්නද්ධ වූයේ තම උපකරණවලින් දුරතියා නිරීක්ෂණය කළ හැකි පරිදි සම්ප්‍රදායක කුරුලු පා මුදුව හා ඉන් එහා ගිය වෙනත් නව්‍ය කරන ලද පා මෙවලමක් කුරුල්ලන්ට පළඳවමිනි. ප්ලාස්ටික්වලින් තනන ලද මෙවන් පා පළඳනාවක් කුරුල්ලාගේ පාදයේ නොවැටී රැඳවීම සඳහා පා මුදුවක්ද සමග වන ඉතා කුඩා දර්ශන පුවරුවකින් සමන්විත වූවකි. Birds Flag ලෙස හඳුන්වනු ලබන මේවා වර්තමානයේ බහුලව භාවිත වන්නකි. කුරුල්ලකුගේ පාදයට දැමූ පසු මෙම ඉපියාව මුදුවකට වඩා පහසුවෙන් දර්ශනය වන අතර එහි සංකේත වුවද දුර තියා නිරීක්ෂණය කළ හැකිය. එසේම මෙම Birds Flag සඳහා වර්ණ කේතයක් හා අංකනයක් සහිත වන අතර, ආරම්භයේදී එකක් පමණක් එක කුරුල්ලකුට පළඳවන ලද නමුත්, වඩා නිවැරදි කියවීමක් සඳහා වර්තමානයේදී එවන් Birds Flag (ඉපියා) 2 ක් එකවර පක්ෂියකුට පළඳවනු ලබන්නේ ජාත්‍යන්තර එකඟතා, පක්ෂි ප්‍රමිති හා නීති-රීතිවලට අනුවය. එනම්, එක රටකට හෝ යම් රටක පළාතකට නියමිත වූ වර්ණ දෙකකින් මෙම Birds Flag දෙක නිර්මිත අතර, එක Birds Flag එකක අදාළ රටේ හෝ පළාතේ කුරුලු පර්යේෂකයින් විසින් තීන්දු කරන අංකයක් ඔහුට අභිමතය පරිදි භාවිත කළ හැකිවේ. ඒ අනුව ශ්‍රී ලංකාවට හිමි අන්තර්ජාතික කුරුලු වර්ණ යුගලය වන්නේ “කොළ-කොළ” ය. එනම්, ලෝකයේ කොතැනකදී හෝ අල්ලාගන්නා ලද, නිරීක්ෂණය කරන ලද කුරුල්ලෙකුගේ පාදයේ ඇත්තේ “කොළ-කොළ” එකම වර්ණයේ Birds Flag දෙකක් නම්, අනිවාර්යයෙන් එම කුරුල්ලාට Flag දමා ඇත්තේ ශ්‍රී ලංකාවේදී ය. මේ ලෙසම කළු-කළු, කළු-සුදු, කොළ-සුදු, සුදු-රතු ආදී වශයෙන් එක් එක් රටවලට හා කලාපවලට අදාළව කුරුල්ලන්ට ජාත්‍යන්තර වර්ණ ප්‍රමිතියක් ලබාදී ඇත.

කුරුල්ලන්ට පළඳින මොනවද මේ සැටලයිට් ටැග්ස්?
කොළ-කොළ වර්ණ දෙකේ ෆ්ලෑග්ස් දමන අයුරු

ඉහත සඳහන් ක්‍රම දෙකම (Birds Flag and Rings) අද දක්වාත් භාවිතයට ගනු ලබන අතර, ප්‍රශ්නය වන්නේ මෙම ක්‍රම දෙකේදීම සිදුකළ හැක්කේ අදාළ කුරුල්ලාගේ ගමනේ මුල සහ අග යන අන්ත දෙක ගැන අදහසක් ගැනීමට පමණි. 3 වැනි පරපුරේ කුරුලුවේදීන් තවත් ඉදිරියට යමින් කුරුල්ලන්ගේ හැසිරීම් නිරීක්ෂණය හා ඔවුන්ගේ ගමන් දිශා සහ ගමන් රටා නිරීක්ෂණය සඳහා රේඩියෝ තරංග (Radio Tracking) නමැති ක්‍රමවේදය ඉන් අනතුරුව භාවිතයට ගෙන එන ලද්දේ එවන් අඩුපාඩුවලින් තවදුරටත් මිදීම සඳහාය. අලින්ට, දිවියන්ට, වලසුන්ට, වවුලන්ට, පිඹුරන්ට වැනි සතුන්ට සවිකරන ලද “රේඩියෝ තරංග සම්ප්‍රේෂණ උපකරණයක්” මගින් ඔවුන් දුර සිට නිරීක්ෂණය මෙම ක්‍රමය මගින් සිදුකළත්, මේ සඳහා පර්යේෂකයින් කිහිප දෙනෙක් අවශ්‍යවීමත්, රේඩියෝ තරංග ග්‍රහණය කරගැනීම සඳහා (ත්‍රිකෝණමිතික ක්‍රමවේදය) ඇන්ටනා යුගලක්වත් භාවිත කළ යුතු වීම නිසා සහ සීමිත දුරක් පමණක් හඹා ගොස් නිරීක්ෂණය කළ හැකි නිසාත් එය නවීන තාක්ෂණයේම ප්‍රාථමික මෙවලම් ක්‍රමයක් භාවිත කිරීමක් ලෙස මෙය හැඳින්විය හැකිය. එනම්, අපි එම නවීන තාක්ෂණයේ තවත් එක් නවීන යුගයක් අද අප නියෝජනය කරන අතර, මෙම යුගයේ ප්‍රකට හා කාර්යක්ෂම සන්නිවේදන ක්‍රමවේදය ලෙස සලකනු ලබන්නේ චන්ද්‍රිකා තාක්ෂණික මෙවලම් භාවිතයයි.

එනම්, කුරුලුවේදීන්ගේ 4 වැනි පරම්පරාව (4th Generation) වර්තමානයේ කුරුල්ලන් නිරීක්ෂණය සඳහා මෙන්ම, උන්ගේ හැසිරීම් රටා, සංචරණ විධි, පර්යටනික ගමන්මාර්ග, පර්යටනික පරිසරයේ දේශගුණික තත්ත්වය (උෂ්ණත්වය හා වායුගෝලීය තෙතමනය) යනාදිය ද ගැන දැනගැනීම සඳහා යොදාගනු ලබන්නේ චන්ද්‍රිකා තාක්ෂණික (GPS) මෙවලම් ය. මේ අප සිටින්නේ එවන් යුගයක වන අතර, එම චන්ද්‍රිකා සංවේදී උපාංගවල ක්‍රියාකාරීත්වය හා මිල අනුව මෙම උපාංග තවත් අනු කොටස් දෙකකට බෙදෙන අතර, ශ්‍රී ලංකාව වැනි මධ්‍යම ආර්ථික රටාවක් හිමි අප වැනි රටක කුරුලුවේදීන් භාවිතයට ගනු ලබන්නේ ඍජුවම චන්ද්‍රිකා හා පණිවිඩ හුවමාරු නොකරන, එනමුත් දුරකථන සංඥා කුලුනු ඔස්සේ සම්බන්ධව අනතුරුව චන්ද්‍රිකා හා සමග සම්බන්ධවන (GSM-GPS) සන්නිවේදන ක්‍රමවේදයක් ඔස්සේ දත්ත හුවමාරු කරගන්නා ක්‍රමවේදයක් බව මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න මහතා පවසන්නේ කුරුල්ලන් පිළිබඳ පර්යේෂණ පරම්පරාවෙන් පරම්පරාවට විකාශනය වූ ආකාරය පිළිබඳව ඉතා හොඳින් පැහැදිලි කරමිනි. මේ අනුව 2020-2021 වසරවල පටන් කොළඹ විශ්වවිද්‍යාලයේ පක්ෂි විද්‍යා අධ්‍යයන කණ්ඩායම භාවිතයට ගෙන “මේඝ” හා “මැණිකේ” වැනි කුරුල්ලන් ඇතුළු පර්යටනික කුරුල්ලන් අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ මෙම සුවිශේෂ ක්‍රමවේදයයි. එනමුත් ඒ කිලෝග්‍රෑමයට වඩා විශාල කුරුල්ලන් සඳහා පමණි. එනම්, ග්‍රෑම් 05-20 ක් පමණ බර, දුරකථන සංවේදී ඩිවයිසය පළඳන්නට අඩුම තරමේ අල්ලා ගනු ලබන කුරුල්ලා කිලෝ ග්‍රෑම් එකකට වඩා බර සතෙකු විය යුතු වන අතර මෙම සුදුසුකම බොහෝ විට උරුම කර ගන්නේ “කළු වලිග කුරුල්ලා – Black Tailed Godwit”, “මුහුදු ලිහිණින් හා මුහුදු කපුටන් – Sea Gulls And Sea Terns” සහ “වල් තාරාවුන් හා පාත්තයන් – Wild Ducks and Goose” වැනි කුරුල්ලන් ය. සාමාන්‍යයෙන් පොඩි කුරුල්ලන්ට පළඳවන්නේ පෙර අප පැවසූ “මුදු හා ටැග් (flags) පමණි.

පර්යේෂණ කණ්ඩායම මගින් තාක්ෂණික උපක්‍රම භාවිතයෙන් මෙසේ අල්ලාගන්නා ලද කුරුල්ලන් සැටලයිට් ටැග්, ෆ්ලෑග්ස් හා රින්ග්ස් (මුදු) යොදා මුදා හරින ලබන අතර, මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න කියන පරිදි 2021 වසරේ සිදුකළ සමස්ත වැඩසටහනේදී “සැටලයිට් ටැග්ස්” යොදා මුදා හරින ලද කුරුල්ලන් සංඛ්‍යාව 40 කි. සූර්ය බලයෙන් ආරෝපිත මෙම ඉතා කුඩා සැටලයිට් උපකරණය කුරුල්ලාගේ කර මත සියුම් රැහැන් මගින් ඉතා ආරක්ෂිතව සහ කුරුල්ලාට අවහිරයක්, කරදරයක් නොවන පරිදි සවිකරන අතර, මෙම කුරුල්ලෝ තම නිජබිමේ සීත කාලය නිමාවන තෙක් ශ්‍රී ලංකාව වැනි සමකයාසන්න රටක ආහාර බිම්වල ගැවසෙන අතර නැවත අභිජනනය සඳහා තම නිජබිමටම යති. එසේ යන ඇතැම් කුරුල්ලෝ ඉන්දියන් සාගරය සිට රුසියාවේ යමල් අර්ධද්වීපය දක්වා ගමන් කරන්නෝ වෙති. “මැණිකේ” ද “මේඝ” ද එවැන්නන්ය. මොවුන්ගේ දත්ත ලැබීමෙන් පසු ඉන්දියන් සාගරයේ සිට රුසියාව දක්වා නිශ්චිත පක්ෂි පර්යටනික මාර්ගයක් ඇති බව හඳුනාගන්නට (ශ්‍රී ලංකා) පර්යේෂකයෝ සමත්ව සිටිති. ඒ 2020 සිට ක්‍රියාත්මක මෙම පර්යේෂණවලින් පසුවය.

“සාමාන්‍යයෙන් මේ සැටලයිට් ටැග් එකක් ක්‍රියාත්මක වෙන්නේ කුඩා ජංගම දුරකථනයක් වගේ. මේ තුළ තියෙන්නේ සිම් කාර්ඩ් එකක්. ඒක සංවේදී වෙන්නේ අවට තියන දුරකථන සංඥා කුලුනු ආධාරයෙන්. එම කුලුනුවලින් මෙම ටැග්වල සංඥා ග්‍රහණය කරගන්නා තාක් අපට මේ කුරුල්ලන්ගේ දත්ත නිරීක්ෂණය කළ හැකියි. යම් ප්‍රදේශයක දුරකථන කුලුනු ක්‍රියාත්මක නැත්නම් කුරුල්ලන්ගෙන් සංඥා නිකුත් වෙන්නේ නෑ. ආපහු සිග්නල් තියන වටපිටාවකට ආවොත් තමයි කුරුල්ලා සංඥා නිකුත් කරන්නේ. හැබැයි වාසියක් තියනවා, ඒ වෙලාවට එයාට පුළුවන් අර ඊට කළින් නොදුන් ප්‍රදේශයේ දත්ත ටිකත් දෙන්න. මොකද ජීපීඑස් තාක්ෂණය තියෙන මෙහි තිබෙන නිසා. අපි ඍජුවම චන්ද්‍රිකා තාක්ෂණයත් එක්ක සම්බන්ධ නැති නිසයි එහෙම වෙන්නේ. මොකද අපි අඩු පිරිවැයකින් මේ කටයුතු කරන්නේ. නමුත්, ඍජු චන්ද්‍රිකා තාක්ෂණික පහසුකම් අරන් වැඩකරන කුරුලු හා වෙනත් වන සත්ත්ව විද්‍යාඥයින් ලෝකෙ ඉන්නවා. එතකොට එයාල වැඩි පිරිවැයක් එම සේවා ආයතනවලට ගෙවනවා. කොහොම වුණත් කියන්න ඕන… ආසියානු කලාපයේ චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරමින් කුරුල්ලන්ගේ ට්‍රැකින් සිදුකරන ප්‍රධාන රටක් අපි. දකුණු ආසියාවේ ඉන්දියාවටත් වඩා ඉහළින් මේ වැඩේ කරපු රට ශ්‍රී ලංකාව. අපි තමයි කලාපයේ මේවගේ වැඩක් පළමුව ක්‍රියාත්මක කරපු, තවමත් ක්‍රියාත්මක කරන රට හා එහෙම කරපු වෘත්තීමය පක්‍ෂි විද්‍යාඥයන් ඉන්න රට. අපට මේ පර්යේෂණ කරගෙන යන්න ඉන්දියාවේ, චීනයේ විද්‍යාඥයන් උපරිමව උදව් කළා. දැන් ඒ රටවලුත් වැඩේ පටන් අරන් තියනවා. අපේ තිබුණු තාක්ෂණික දුර්වලකම් අපි ඔවුන්ට කියනවා. කලාපයේ අපි ඉතාමත් සහයෝගයෙන්, උදව්වෙන් තමයි මේ කටයුතු කරගෙන යන්නේ.

තවත් කාරණයක් කියන්න ඕන. සත්ත්වයින් ගැන ලෝකයේ කරන පර්යේෂණ අතරින් සියයට 50 කටත් වඩා සිදුකරන්නේ පක්ෂීන් ගැන. නමුත් ලංකාවේ එකේ වෙනසක් තියනවා. උරගයින්, උභයජීවීන් වැනි අනෙකුත් සතුන් ගැන පර්යේෂණ වැඩියි. කුරුල්ලන් ගැන අඩුයි. නමුත් සිදුකරන කුරුලු පර්යේෂණ අද ගෝලීය අවධානයට යොමුවෙන තරමට අපි අපේ කටයුතු කරගෙන යනවා” යැයි මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පවසයි.

සැබවින්ම, කුරුල්ලන් නැරඹීම කදිම, සුන්දර විනෝදාංශයකි. නමුත් කුරුල්ලන්ගේ පර්යේෂණ සහ අධ්‍යයන හිතන තරම් මෘදු, මොලොක් නැත. ඒ සඳහා විද්‍යාඥයෝ අපමණ වෙහෙසක් දරති. එම වෙහෙසේ ප්‍රතිපල ලෙස පරම්පරාවෙන් පරම්පරාවට තොරතුරු යාවත්කාලීන කිරීමට ශ්‍රී ලංකාවේ කුරුලු පර්යේෂකයෝ සමත්ව සිටිති. එසේම, ඔවුන් විඳි වෙහෙසෙන් ඔවුන්ට මදක් ගිමන් නිවා සැනසෙන්නට “මැණිකේ” සහ “මේඝ” වැනි කුරුල්ලන් මේ වන විට යම් අස්වැසිල්ලක් ඔවුන්ට ගෙනවිත් දී ඇති බව පෙනේ.

ජගත් කණහැරආරච්චි
මන්නාරමේ සංචාරයකින් පසු

advertistmentadvertistment
advertistmentadvertistment