වායුසමන යන්ත්‍ර හතරෙන් තුනක්ම කැඩිලා

167

අනුරාධපුර වකුගඩු ඒකකයේ ශල්‍යාගාරය වැසීයෑමේ අවදානමක්

වකුගඩු රෝගයෙන් දැඩිව පීඩා විඳින රජරට දිස්ත්‍රික්ක ගණනාවක සිය දහස් ගණනක් රෝගීන් ප්‍රතිකාර ලබන අනුරාධපුර ශික්ෂණ රෝහලේ වකුගඩු ඒකකයේ ශල්‍යාගාරය සහ වාට්ටුව වැසීයෑමේ අවදානමක පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම වකුගඩු ඒකකයට අයත් ශල්‍යගාරයේ සහ වාට්ටුවේ වායුසමන යන්ත්‍ර ක්‍රියා විරහිත වීම හේතුවෙන් මේ වනවිට ශල්‍යකර්ම සිදු කිරීමේ දැඩි අපහසුතාවක් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ශල්‍යාගාරය තුළ අනිවාර්යයෙන් තිබිය යුතු වායුසමීකරණ යන්ත්‍ර හතරෙන්, තුනක්ම මේ වනවිට ක්‍රියා විරහිතව පවතින අතර අනෙක් වායුසමන යන්ත්‍රයද අඩාල තත්ත්වයේ පවතින බවත්, රෝගීන් නේවාසිකව සිටින වාට්ටුව තුළ වායුසමනය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිතව පවතින බවත් එහි වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් අනාවරණය කළහ.

ශල්‍යකර්ම සඳහා භාවිතා කරන උපකරණ මෙන්ම ශල්‍යකර්මවලදී රෝගීන්ව විෂබීජවලින් ආරක්ෂා කර ගැනීම සඳහා වායුසමන යන්ත්‍ර අත්‍යවශ්‍ය බවත් මෙහිදී අනාවරණය විය.

මෙම වායුසමන යන්ත්‍ර අක්‍රීය වීම වසර දෙකක පමණ කාලයක සිට වරින් වර සිදුව තිබූ අතර මේ වන විට එය සම්පූර්ණයෙන්ම අක්‍රීය තත්ත්වයට පත්වීම හේතුවෙන් නිසියාකාරව සැත්කම් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

දකුණු ආසියාවේ ප්‍රථම වතාවට පාදයක් බද්ධ කළේ මෙම වකුගඩු ඒකකයේ ශල්‍යාගාරයයි. කොළඹ සහ මහනුවරට පසුව පවතින එකම ප්‍රධාන වකුගඩු ඒකකය මෙය බවත් සෞඛ්‍ය අංශ පවසයි.

වකුගඩු සැත්කමින් පසුව තවදුරටත් ප්‍රතිකාර සඳහා රෝගීන්ව ඇතුළත් කරනු ලබන වාට්ටුව තුළද වායු සමන යන්ත්‍ර නොමැතිකමින් රෝගීන් දැඩි අපහසුතාවයකින් සිටීමට සිදුව ඇත. එම වාට්ටුව ආසන්නයේ ඇති ගසක මුල් මගින් ද එම වාට්ටුවේ බිත්තිවලට හානි සිදුව ඇති ආකාරයද දක්නට තිබේ.

මෙම වකුගඩු ඒකකය මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් නොව ඊට යාබද දිස්ත්‍රික්ක ගණනාවක රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන අතර මෙම ශල්‍යාගාරය වැසී ගියහොත් රෝගීන්ට දැඩි අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment