නාගොඩ රෝහලේ වැරැද්දක් ගැන ෆේස්බුක් පණිවුඩයක් පළ කළ කතක් දකුණු කළුතර පොලිසියට කැඳවා ප්‍රශ්න කරලා

182

කළුතර නාගොඩ රෝහලේදී සිදුකළ එන්ජීඕග්‍රෑම් පරීක්‍ෂණයකට අදාළ පරීක්‍ෂණ වාර්තා ලබාදීමේදී සිදුවූ මගහැරීමක් ගැන ගුරුවරියක පළ කළ ෆේස් බුක් සටහනක් සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය ඊයේ (9 දා) උදේ ඇයව පොලිසියට කැඳවා විනාඩි 45 ක කාලයක් ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඇයට පොලිසිය කළ දැනුම්දීමකට අනුව පෙරවරු 10.30 ට පමණ නීතිඥවරයකු හා ඇගේ පියා සමග පොලිසියට පැමිණ සිටියාය.

තමාගේ ජීවිතයට කිසියම් අනතුරක් සිදුවුවහොත් දකුණු කළුතර පොලිසිය වගකිවයුතු බව ඇය මාධ්‍ය හමුවේ කියා සිටියාය.

මිල්ලනිය පදිංචි නිමේෂා මධුවන්තිගේ පියාට මීට වසරකට පෙර හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් පසුව පානදුර රෝහලට ඇතුළත් කර තිබිණි. පසුව එම රෝහල මගින් රෝගියාගේ හෘදයාබාධය හඳුනා ගැනීමට එන්ජීඕග්‍රෑම් පරීක්‍ෂණයක් කළුතර නාගොඩ රෝහලෙන් සිදුකර ගන්නා හැටියට ඔවුන්ට දැනුම් දී තිබේ. වසරකට ආසන්න කාලයක් පොරොත්තු ලේඛනයේ සිටි මධුවන්තිගේ පියාට පසුගිය ජුනි මාසයේ අදාළ පරීක්‍ෂණය සිදුකර ගැනීම සඳහා අවස්ථාව උදාවිය.

මෙහිදී අදහස් දැක්වූ නිමේෂා මධුවන්ති මෙසේ පැවසුවාය.

තාත්තාගේ එන්ජීඕග්‍රෑම් එක කළා නාගොඩ හොස්පිටල් එකේ. ඒ පරීක්‍ෂණය කරපු සී.ඩී. එක නාගොඩ රෝහලෙන් දුන්නා. අපිට ඒක බලන්නවත් එපා කියලා තමයි දුන්නේ. තාත්තට බයිෆාස් එකක් කරන්න ඕන ලෙටර් එක දෙන්න ක්ලිනික් එකට ඇවිල්ලා දිනයක් ගන්න කියලා කිව්වා. අපිට මාස 2 ක් පහුකරලා තමයි දිනය දුන්නේ. ඊට පස්සේ මං තාත්තව වෙන ඩොක්ටර් කෙනෙකුට චැනල් කරලා පෙන්නුවා. පෙන්නුවාම ඒ ඩොක්ටර් ලැප් එකට අර සී.ඩී. එක දාලා බැලුවා. හිස් සී.ඩී. එකක් තමයි දීලා තිබුණේ. මම ඒ වෙලාවේ නාගොඩ රෝහලට කතා කරලා කිව්වා පරීක්‍ෂණයට අදාළව ඕගොල්ලො අපිට දීලා තියෙන්නේ හිස් සී.ඩී. එකක් කියලා. එතකොට ඒගොල්ලො කිව්වා හරි මිස් වැරදිලා සී.ඩී. එකක් යන්න පුළුවන් ඇවිල්ලා මාරුකර ගන්න කියලා.

මම ඊළඟ දවසේ රෝහලට ගියා. එතන හිටපු සිස්ටර් ඇහුවා මොකටද මේක ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවේ කියලා. ඒ සිස්ටර් සී.ඩී. එක අරගෙන ගියා ලැබ් එකට. එදා උදේ 10.00 ඉඳල දවල් 2.00 වෙනකම් එයා අපිව රස්තියාදු කෙරෙව්වා. 2.00 ට විතර සිස්ටර් ඇවිත් කියනවා අපේ මැෂින් එක කැඩිලා සී.ඩී. එක රයිට් කරන්න විදිහක් නැහැ කියලා කිව්වා. මං කිව්වා එහෙනම් මට ඩයිකොටින් කාඩ් එකයි, හිස් සී.ඩී. එකයි දෙන්න කියලා. ඊට පස්සේ පොඩ්ඩක් ඉන්නයි කියලා තව පැයක් විතර ගියාට පස්සේ තමයි මට ඒවා ටික ගෙනත් දුන්නේ.

මං මේ ගැන සමාජ මාධ්‍ය තුළ පෝස්ට් එකක් දැම්මා. කරන්න දෙයක් නැති කමටයි මං ඒ දේ කළේ. ඒ පෝස්ට් එකට ගොඩක් කමෙන්ට් වැටිලා තිබුණා.

මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවට පස්සේ දකුණු කළුතර පොලිසියේ 7 දෙනෙක් අපේ ගෙදරට ආවා. හරියට මං ලොකු අපරාධයක් කරලා වගේ. එතන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුත් හිටියා. ඒ ආපු අය මට පොලිසියට උදේ 10.00 ට එන්න කියලා ගියා. මගේ ජීවිතයට කිසියම් කරදරයක් වුණොත් අනිවාර්යයෙන්ම දකුණු කළුතර පොලිසිය වගකියන්න ඕනේ.

ඒ වගේම කළුතර නාගොඩ රෝහලෙන් මිනිසුන්ට සිදුකරන අසාධාරණකම් ගැන සොයා බලන්න කියලා මම ජනාධිපතිතුමාගෙන් හා සෞඛ්‍ය ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අප මේ සම්බන්ධයෙන් ඊයේ (9 දා) උදේ කළුතර නාගොඩ රෝහලේ උසස් නිලධාරිනියක ගෙන් විමසූවිට සඳහන් කර සිටියේ අදාළ ගුරුවරිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් පැමිණිලිකර නොමැති බවය.

එලෙස පැමිණිල්ලක් කර තිබුණේ නම් ඒ ගැන විමර්ශන සිදුකරන බව ද ඇය කියා සිටියාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ආර්. ඒ. එස්. ප්‍රේමතිලක-බණ්ඩාරගම සහ චන්දන පෙරේරා-ගල්පාත

advertistmentadvertistment
advertistmentadvertistment