ලොතරැයි මණ්ඩලයේ සභාපති නඩුවෙන් නිදහස්

883

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ චන්ද්‍රවංශ පතිරාජ මහතා ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (02දා) නියෝග කළේය.

සිය සේවාදායකයාට එරෙහිව නගා ඇති චෝදනා අනුව එම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය හැකියාවක් නොමැති බව කියමින් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගත් විනිසුරුවරයා එම නියෝගය කළේය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී “සුපර් බෝල් හා ජනජය” ලොතරැයි පත් අලෙවිය ප්‍රවර්ධනය කිරීම සඳහා පෝස්ටර් හා ඩිජිටල් බැනර් මණ්ඩලයට සැපයීම සඳහා කොන්ත්‍රාත් ලබාගත් පෞද්ගලික සමාගම ගිවිසුම් ප්‍රකාරව ඒවා සපයා නොතිබියදීත් සම්පූර්ණ ප්‍රමාණයම ලැබුණ බවට ලේඛන ගත කිරීමට නිලධාරීන් පෙළඹ වූයේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නඩු පවරා තිබිණි. කෙසේ වෙතත් පැමිණිල්ලේ සාක්‍ෂිකරුවකු ලෙස ඉදිරිපත් කොට තිබූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරයකු අධිකරණය හමුවේ සාක්‍ෂි දෙමින් එය සභාපතිවරයා තනිව ගත් තීන්දුවක් නොව අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව ගත් තීරණයක් බවට සාක්‍ෂි ලබාදී තිබිණි. නීතිඥ මසුහුල් අක්‍රම් හා නීතිඥ නවින් ජයමාන්න මහත්වරු සමග ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment