පාසල් ගොඩනගනවා වෙනුවට පාසල් ගිනි තියපු කාලයක් තිබූ බව අමතක නොකළ යුතුයි – විපක්ෂ සජිත් ප්‍රේමදාස බුත්තලදී කියයි

42

මේ රටේ පාසල් ගිනි තියපු යුගයක් තිබූ බවත් ඒ සඳහා භීෂණය නිර්මාණය කළ කණ්ඩායම් පාසල් දරුවන්ගේ දෙමාපියන් පවා උපයෝගී කර ගෙන පාසල් ගිනි තියපු නිසා පාසල්වල මේ මගේ දරුවාගේ පාසලයි මෙය සුරැකීම අපේ යුතුකමයි යනුවෙන් ලියා තැබීමට සිදුවූ බවත් මේ දේවල් අමතක නොකළ යුතු බවත් පාසල් ගොඩනගනවා වෙනුවට පාසල් ගිනිතියපු, විනාශ කළ කාලයක් තිබූ බවත් විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා පාසල් ගිනි තියන්න බැරි වූ නිසා වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට ඉඩ නොදෙන බවත් මේ ආකාරයෙන් ගියොත් 41 ලක්ෂයක් පාසල් දූදරුවන් පවා විනාශ වන බවත් පාසල් ගිනි තියපු විප්ලවවාදීන් තමන්ගේ දූදරුවන්ට වඩා රටේ දරුවන් ඉදිරියට පැමිණේය කියන බිය නිසා අධ්‍යාපනයේ නවීකරණයක් සිදු කිරීමට ඉඩ නොදෙන බවත් එදා පාසල් ගිනි තියපු පුද්ගලයන් සහ අද අධ්‍යාපනය නවීකරණය කරන්න විරුද්ධ වන කණ්ඩායම දෙකක් නොව එකක් බවත් ඔවුන්ගේ දරුවන් ඉගෙනුම ලබන්නේ පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාවල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 118 වැනි අදියර යටතේ ඊයේ මොණරාගල බුත්තල ගෝණගංආර කනිටු විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

සයිටම් එකට විරුද්ධ වූ විප්ලවවාදියකුගේ දරුවකු පසුගිය දිනක පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් ගෙන ඇති අයුරු දැකගත හැකි වූ බවත් එය සතුටට කරුණක් මෙන්ම එක්තරා අතකින් දුකට කරුණක් බවත් රටේ සෑම පුරවැසියකුගේම දරුවන්ට එවැනි පෞද්ගලික අධ්‍යාපනයක් ලැබිය හැකිද කියා ගැටලු‍වක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පවතින නිදහස් අධ්‍යාපනයට හානි නොවන ආකාරයට වෙනත් අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය වෙනවාට මෙම කුහක විප්ලවවාදීන් විරුද්ධ බවත් තමා කිසිදු ආකාරයකට පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් නොකරන නමුත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් අපේ රටේ දූදරුවන් වෙනුවෙන් අනෙකුත් අධ්‍යාපන අවස්ථාද ශක්තිමත් කළ යුතු බවත් මේ අතර බෙදීමක් නොතිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය රටේ ඩිජිටල් පරිවර්තනාත්මක යුගයක් බිහි කරනවා කිව්වත් රටේ පාසල්වල 40000ක ගුරු හිඟයක් පවතින බවත් රටේ සමහර පාසල්වල එකදු පරිගණකයක් හෝ නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය. රටේ පාසල්වලට පරිගණක ලබා දෙන්න රජයට බැරි වුවත් මැතිඇමැතිවරුන්ට හොරා කන්න ඉඩ ලබාදී ඇති බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ හොරකම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ එම හොරුන් වෙනුවෙන් 113 දෙනකු පෙනී සිටි බවත් 225ම එකයි යනු සම්පූර්ණ බොරුවක් බවත් දූෂණය රකින්න නම් 113ක් පෙනී සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment