නව ආර්ථික පරිවර්තනයට – නව නීති 42ක් සම්මත කරගත්තා තව නීති 62 ක් සම්මත කරගත යුතුයි

50

ජනාධිපති රනිල් වික්‍රමසිංහ “වට්ස් නිව්” නීති ප්‍රතිසංස්කරණ කතිකාවට එක් වෙමින් කියයි

රට තුළ සිදු කළ යුතු නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් පසුගිය මාස 14ක කාලය තුළ නව නීති 42ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇති බවද තවත් නීති 62 ක් පාර්ලිමේන්තුවට ඉරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බවද පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය මෙවර පාර්ලිමේන්තුවේදී සිදු කර ගත නොහැකි වුවහොත් ඉදිරි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බවට පැවසීය.

නව ආර්ථික පරිවර්තනයට - නව නීති 42ක් සම්මත කරගත්තා තව නීති 62 ක් සම්මත කරගත යුතුයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ “වට්ස් නිව්” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ඊයේ (03) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කතිකාවට එක් වෙමිනි.

1977 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විවෘත ආර්ථිකය ඇති කිරීම වෙනුවෙන් නව නීති හඳුන්වා දුන්නා සේම රටේ සිදුකළ යුතු කඩිනම් ආර්ථික පරිවර්තනය වෙනුවෙන් නව නීති රැසක් ගෙන එන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

එසේම රට දියුණු කිරීමට ලෝකය පිළිගන්නා නීති හඳුන්වාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා වාණිජ කටයුතුවල නිරත රාජ්‍ය ආයතන ව්‍යුහය වෙනස් කරමින් රාජ්‍ය සංස්ථා සියල්ල සමාගම් බවට පත් කර එම සියලු‍ සමාගම් එක් ප්‍රධාන සමාගමකට භාර කිරීමට රජය කටයුතු කරන බවද සඳහන් කළේය.

පොදු මූල්‍ය කළමනාකරණ පනතක්, පොදු ණය කළමනාකරණ පනතක්, කෘෂි නවිකරණ පනතක් මෙන්ම මෙම සියලු‍ ඉලක්ක සපුරාගත හැකි ආර්ථික පරිවර්තන පනතක් ගෙන එන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. දැනට තිබෙන ආයෝජන මණ්ඩලය වෙනුවට ආර්ථික කොමිසමක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත්, ආයෝජන මණ්ඩලය යටතේ තිබෙන වෙළෙඳ කලාප මෙන්ම අලු‍තින් ඇති කරන වෙළෙඳ කලාප ඒ යටතේ පාලනය කෙරෙන බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම ජාතික නිෂ්පාදන කොමිෂම ඇති කිරීම, සංචාරක ව්‍යාපාරයට අදාළ නව නීතියක්, දේශගුණික විපර්යාස වළක්වා ගැනීම පිළිබඳ නීතියක්, නව පරිසර නීතියක්, සිංහරාජ, ශ්‍රීපාද අඩවිය, හෝර්ටන් තැන්න, වස්ගමුව වැනි ජාතික වනෝද්‍යාන ආරක්ෂා කිරීම වෙනුවෙන් නව නීති ගෙන ඒමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. එමෙන්ම වාණිජ දෙපාර්තමේන්තුව අහෝසි කර නව ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථාන ඇති කර විදේශ අමාත්‍යාංශය සමග එම කටයුතු ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන්නේ 1944දී පමණ හඳුන්වා දුන් නීති බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා අධ්‍යාපන ක්ෂේත්‍රයටද නව නීති රැසක් හඳුන්වාදීමට කටයුතු කරන බව පැවසීය. මෙම නීති ගෙන ඒම නැවැත්වීමට ඇතැමුන් උත්සාහ කළද පාර්ලිමේන්තුවේදී ඒවා සම්මත කර ගැනීමෙන් පසු එම නීති අහෝසි කිරීමට හෝ වක්‍රව ක්‍රියා නොකර සිටීමට කිසිවෙකුට නොහැකි වන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අර්ථ නිරූපණය කිරීමේ මුවාවෙන් රටේ නීතිය සීමා කර පාර්ලිමේන්තුවේ බලතල සීමා කිරීමට ඇතැමුන් ගන්නා උත්සාහය නිෂ්ඵල කාර්යයක් බවද පැවසීය.

1972 ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුව බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට මිස අන් තැනක නොවන බවද අවධාරණය කළ ජනාධිපතිවරයා, ජනාධිපති විධායක බලය අහෝසි කිරීමට පාර්ලිමේන්තුවට හැකියාව තිබෙන නමුත් පාර්ලිමේන්තුව සතු බලතල පාර්ලිමේන්තුවටවත් අහෝසි කළ නොහැකි බවද අවධාරණය කළේය. ‍කිසිවෙකුට මෙම නීති සීමා කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථාදායක, අධිකරණ බලතල ඉදිරියේ විභාග කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නමුත් මේවා නවත්වා දමා ජනතාවට තව රටත් දුක් විඳීමට ඉඩ දිය නොහැකි බවද අවධාරණය කළේය. මෙම කටයුතු මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස පෙන්වා දීමට ඇතැමුන් සූදානම් වනවා නම් පළමු මානව හිමිකම රටේ ජනතාවගේ ජීවත්වීමේ අයිතිය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දෙවැන්න දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරදීම බවද පැවසීය.

නීතිපති සංජය රාජරත්නම්, හිටපු නීතිපති තිලක් මාරපන, ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා, නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක යන මහත්වරු සහ තරුණ කටයුතු සහ තිරසර සංවර්ධනය පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ රන්දුල අබේවීර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment