ඊශ්‍රායල – පලස්තීන ගැටුම දිගින් දිගටම පැවතුණොත් ලෝක ආර්ථිකයට මෙන්ම ශ්‍රී ලංකාවටත් බලපානවා – විදේශ රැකියා හා කම්කරු ඇමැති මනුෂ නානායක්කාර

297

ඊශ්‍රායල් හා පලස්තීන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ලංකාව පෙනී සිටිය යුතුයි – විජිත හේරත් (ජාජබ)

ලොව විශාලතම සරණාගතයන් බවට පලස්තීන ජනතාව පත්කරලා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

ඊශ්‍රායල – පලස්තීන ගැටුම මානුෂීය ඛේදවාචකයක් – ඉමිතියාස් බාකීර් මාකර් (සජබ)

ඊශ්‍රායල පලස්තීන ගැටුම දිගින් දිගටම පැවතුනහොත් ලෝක ආර්ථිකයට වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත් විශාල බලපෑමක් එල්ලවන බවත් මේ ප්‍රශ්නය විසඳීමට දාර්ශනික ප්‍රවේශයකින් යුත් මානුෂික ප්‍රවේසයක් අවශ්‍ය බවත් විදේශ රැකියා හා කම්කරු ඇමැති මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20දා) ප්‍රකාශ කළේය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (20 දා) පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි. ප්‍රථමයෙන් නිවේදන, ලිපිලේඛන, වාර්ෂික වාර්ථා, පෙත්සම් ආදිය ඉදිරිපත් කිරීම සිදු විය. පසුව 27/2 යටතේ පක්ෂ නායකයන් විසින් අසනු ලබන විිශේෂ ප්‍රශ්න විමසීම සහ ඒවාට පිළිතුරු ලබාදීම සිදුවිය.

අනතුරුව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුමට කඩිනම් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටීමේ සභාව කල් තැබීමේ විවාදය ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා:

පලස්තීන් ඊශ්‍රායල සටන ගැන මතක් කළ පමණින් අපට මතක් වන්නේ මිනී කඳු මතින් ලේ ගංගා ගලන ගාසා තීරයයි. කුසට ආහාරයක් නැතිව ජල බිඳක් ඉල්ලන පුංචි දරුවන් කුසට ආහාර නැතිව උණ්ඩ, බෝම්බ ලැබෙන ජනතාව. මේ ගාසා තීරයේ ප්‍රශ්නය වසර 4000කටත් වඩා පැරණියි. මේ ගැටලුවේ ඉතිහාසය ගත්තොත් ඊශ්‍රායලය කිහිපවරක් ආක්‍රමණවලට ලක්වෙනවා. ඒ නිසා ඒ අය යුරෝපයේ විසිර යනවා. මේ යුදෙව්වන් ඉගෙන ගන්න, ව්‍යාපාරවලට ආදී සියල්ලටම දක්ෂයි. පසුගිය සියවසේ බිහිවූ සුපිරිම මොළය තිබෙන ඇල්බට් අයින්ස්ටයින් වගේම මේ වන විට හොඳම ව්‍යාපාරිකයෙක් වෙලා සිටින මාර්ක් සකර්බර්ග් කියන්නේත් යුදෙව්වන්. මේ වන විට යුදෙව්වන් සෑම ක්ෂේත්‍රවලම ඉදිරියට ඇවිත් වැඩ පෙන්නලා මහා ජාතියේ ඉරිසියාවට ලක් වූ අය. ඒක වෛරයක් වූ නිසා ඉන් හැමදාමත් පීඩාවිඳින්න බැරි නිසා යුදෙව්වන් ඊශ්‍රායලයේ මුල්බිම සොයා ගොස් තම ඊශ්‍රායල රාජ්‍යය 19වැනි සියවසේදී පිහිටවූවා. පසුව බ්‍රිතාන්‍යයන් විසින් යුරෝපයේ සිටින යුදෙව්වන් ගෙනත් ඊශ්‍රායලයේ පදිංචි කළා. නමුත් මේකට මුස්ලිම් අය කැමති වුනේ නෑ. 1948 සිට 1973 දක්වා යුද්ධ සිද්ධ වුණා. එහි ප්‍රතිඵලය තමයි පලස්තීනය කුඩා තිතක් බවට පත්වීම. පසුගිය 06දා නැවතත් මේ අර්බුදය පුපුරාගියා. යුරෝපයේ තිබුනු යුදෙව් ප්‍රශ්නය අරාබියට අපනයනය කළා. ඇමරිකාවට ගලා ආ හමාස් ප්‍රශ්නය මැද පෙරදිගට හරවලා යැව්වා. ඒ නිසා මේ ප්‍රශ්නයේ නිර්මාණකරුවන් වන ඇමැරිකාව, ජර්මනිය, ප්‍රංශය සහ එක්සත් රාජධානියයි. මේ ප්‍රධාන රටවල් හතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නායකයන් ලෙස සිටිනතාක් මේ ප්‍රශ්නය විසඳන්න බෑ.

(නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මූලාසනයට පැමිණේ)

උදය ගම්මන්පිළ මහතා : එක්සත් ජාතීන්ගේ සංවිධානය අද බෙල හීන සංවිධානයක් වෙලා. ඒ නිසා මම නම් කියන්නේ මේ ප්‍රශ්නය එක්සත් ජාතීන්ට විසඳන්න බෑ. ඒ නිසා ලෝකයේ නැගී සිටින බ්‍රික් සංවිධානය වන චීනය, රුසියාව, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව ප්‍රමුඛ බ්‍රික්ස් සංවිධානය අපක්ෂපාතී බලවේගයක් ලෙස මේ සඳහා මැදිහත් විය යුතුයි.

පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා (සජබ) :

අද මැදපෙරදිග විශේෂයෙන්ම මේ මොහොතේ, පලස්තීන භූමිය, යටත් විජිතයක් ලෙස, මේ අත්විඳින ඛේදවාචකය හා සමාන තත්වයක්, රටක් ලෙසින් අපේ රටටත්, අපේ මුතුන්මිත්තන්ටත්, සියවස් ගණනාවක් තිස්සේ, පෘතුගීසීන්, ලන්දේසීන් මෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේත්, අත්විඳින්නට සිදුවූ ආකාරය, මගේ සිහියට නැගෙනවා.

එදා නිදහස වෙනුවෙන් විමුක්ති අරගල කරමින් නැගී සිටි, වීර කැප්පෙට්ටිපොලලා, වීර පුරන්අප්පුලා, ගොංගාලේගොඩ බණ්ඩාරලා, වාරියපොල හිමියන්, කුඩහපොල හිමියන් ඇතුළු ඒ විවිධ යුගවල නිදහස වෙනුවෙන්, ජීවිත බිලිදුන්, වද වේදනා විඳි, අපේ නිදහස් අරගලයේ වීරවරයන් මගේ මතකයට එනවා.

එදා ඔවුන්ටත් ත්‍රස්තවාදීට් හංවඩුව ගසමින් තමයි, අධිරාජ්‍යවාදීන්, ම්ලේච්ඡ මර්දනයක් ක්‍රියාත්මක කළේ. ඒ ත්‍රස්තවාදී යන විශේෂන පදය මහත්මා ගාන්ධිගේත්, මැන්ඩෙලාගේත්, යසර් අරෆාත්ගේත් නම්වලට, ඉදිරියෙන් යෙදීමට, එදා යුගයේත්, අධිරාජ්‍යවාදී බලවේග කටයුතු කළා.

අද ඒ අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය, ඊට වඩා දියුණු, උපායශීලී ලෙසින් ක්‍රියාත්මක කිරීමයි, අද අපි මැදපෙරදිග දකින්නේ.

ආර්ථික සූරාකෑම සඳහා, ලිබියාව, ඉරාකය වැනි රටවල, නව යටත් විජිතවාදී උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පසුගිය අවදිවලදී අප දුටුවා.

පලස්තීන භූමිය තුළ, අධිරාජ්‍යවාදී බලවේග ඊශ්‍රායලයක් නිර්මාණය කර, ඒ තුළින් බලාපොරොත්තුවූ දෑ, ලෝකයම දැන් දන්නවා.

දැන් පවතින තත්වය බලන්න. පලස්තීනය, ලෝකයේ විශාලතම එළිමහන් සිර කඳවුර බවට පත්කර තිබෙනවා.

දේශසීමාවල සාම හමුදා රඳවන්නට කළ යෝජනා මායිම් කළේ නැහැ. ඒ භූමිය වටකරගෙන, කොටුකරගෙන මේ මොනවද කරන්නේ?

මේ ම්ලේච්ඡ ප්‍රහාර, සියවසක කාලයක් තිස්සේ විටින් විට කරමින්, ඉඩම් පැහැර ගන්නවා. වාසස්ථාන අහිමි කරනවා.ලොව විශාලතම සරණාගතයන් සංඛ්‍යාව, පලස්තීන ජනතාව බවට පත්කර තිබෙනවා.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස :

ඊශ්‍රායලයත් පලස්තීන කණ්ඩායම් ගණනාවක් සමග ඇති වී තිබෙන දැවැන්ත ව්‍යසනකාරී තත්ත්වය මානුෂීය ඛේදවාචකයක් වගේම ජාත්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් බව අපි හැමෝම අවබෝධ කරගත යුතුයි.

භූ දේශපාලනය තුළ මැදපෙරදිග සිදුවී තියෙන අස්ථාවරතාව නියත වශයෙන්ම ජාත්‍යන්තර ඛේදවාචකයක් දක්වා දිගුවකට යෑම වැළැක්වීම අපි සියලුදෙනාගේම වගකීමක්.

එම ප්‍රදේශවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්, රටවිරුවන් අපි රැකගත යුතුයි. කැලණිය, ඊරියවැටිය පදිංචි අනුලා මහත්මිය ඊශ්‍රායලයේ සේවය කරමින් සිටියදී මියගොස් තියෙනවා.

මේ ඛේදවාචකය නිර්මාණය වෙලා දින ගණනාවක් ගත වුණා. රජය ගැටුම නිසා එරට සිටින ශ්‍රමිකයන්ට, සංචාරක ව්‍යාපාරයට රටේ අපනයනවලට, ඉන්ධන මිලට හැම පැත්තෙන්ම රටට වන බලපෑම ගැන පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න තිබුණා. කිසිම ප්‍රකාශයක් කළේ නෑ. 2023 ඊශ්‍රායලයෙන් 1894ක් සංචාරකයන් මේ රටට ඇවිත් තියෙනවා. ගැටුම නිසා සිදුවන බලපෑම ගැන කිසිම ප්‍රකාශයක් කළේ නෑ.

ගැටුමත් සමග බොරතෙල් ගැලුමක මිල ඩොලර් 4කින් වැඩි වුණා. ඉන්ධන මිල වැඩිවන විට රටේ හැම වියදමක්ම වැඩිවෙනවා. මේ රජයට ශ්‍රමික ප්‍රජාව ගැන කිසිම කැක්කුමක් නෑ. ශ්‍රමික ප්‍රජාව රැකගන්න. මේ සිද්ධි නිසා මේ රටේ ජාතික ආරක්ෂාවටත් ගැටලු ඇතිවිය හැකියි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන :

පලස්තීන – ඊශ්‍රායල් ගැටුම මුළු ලෝකයටම බලපානවා. පලස්තීන අගමැති කියනවා හමාස් ප්‍රහාරය මම දැනගෙන හිටියේ නෑ. ඒක හරියට පාස්කු ප්‍රහාරය නිසා මට සිදුවූ දේ වගේ වැඩක්.

ප්‍රහාරය නිසා ලෝක බලවතුන් පස්දෙනකු එකතු වෙලා පලස්තීනයට සහාය වීමට යුද නැව් එව්වා. යුද්ධය අවසන් වීම තමයි ප්‍රධානව සිදුවිය යුත්තේ.

ඊශ්‍රායලය හැම අතින්ම ශක්තිමත් දියුණු රටක්. පලස්තීනයේ අසරණ ජනතාවක් ඉන්නේ. රෝහලට එල්ලවූ ප්‍රහාරය හෙළා දකිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එදා සිටම හිටියේ පලස්තීනය සමගයි. මේ ජනතාව බරපතළ තත්ත්වය වළක්වා ගන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය, මහ ලේකම්වරයා, ආරක්ෂක ලේකම් මණ්ඩලය වහාම රැස්විය යුතුයි. ඇයි මේවා රැස්වන්නේ නැත්තේ. මේවා පිටිපස්සේ ඉන්නේ ලෝක බලවතුන්. ඔවුන් මේවා හසුරුවනවා. මේක ඉරානය පැත්තට යයිද දන්නෙත් නෑ.

මේ ගැටුමට විසඳුමක් ලෙස රටවල් දෙක එජා සංවිධානය විසින් බෙදා වෙන් කළ යුතු බව චීන ජනපති කිව්වා. එය ත.මයි මේකට තිබෙන සාධාරණ විසඳුම.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් (ජාජබ) :

පලස්තීන – ඊශ්‍රායල් ගැටුම අද ඊයේ ඇති වූවක් නොවෙයි. වසර දහස් ගණනක සිට ඇදී ආ එකක්. එජා සංවිධානය අවස්ථා කිහිපයකදීම ඊට මැදිහත් වුවත් ස්ථිර විසඳුමක් දෙන්න ඔවුන්ට හැකි වූයේ නෑ.

එක පැත්තකින් රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනවා. විවිධ අය විවිධ අර්ථ කථනය කළත් ගාසා තීරයට වතුර – විදුලිය නැතිකර ජනතාව නොමරා මැරුවා.

මුලින්ම ගැහුව කෙනා මත නොවෙයි ප්‍රශ්නය නිරාකරණය කළ යුත්තේ. ඊශ්‍රායල් ජනතාවගේ හා පලස්තීන ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකාව පෙනී සිටිය යුතුයි.

නිදහස් පලස්තීනයක් වගේම නිදහස් ඊශ්‍රායලයත් අපි බලාපොරොත්තු වෙනවා. පලස්තීනය දෙකට බෙදන්න මැදිහත් වූයේ බටහිර අධිරාජ්‍යවාදීන්. අදත් යුද්ධය දිග්ගස්සන්න මැදිහත් වන්නේ බටහිර බලවතුන්. දේශපාලන බල වුවමනා වෙනුවෙන් තමයි අහිංසක ජනතාවගේ ජීවිත නැතිවෙන්නේ.

ආරක්ෂක කවුන්සල සභා වාරයේ දී ඇමරිකාව මුළුමනින්ම ඊශ්‍රායලයේ පැත්ත ගත්තා. එහෙම වෙන්න බැහැ. තවත් මිනිස් සංහාරයකට ඉඩ තියන්න සුදුසු නෑ.

ජනපතිවරයා කැබිනට් එක ඇතුළෙදී අදහස් දැක්වූයේ ඊශ්‍රායලයේ පැත්තට. එහෙම කරන එක වැරැදියි. මේක මුස්ලිම් අයට එරෙහි යුද්ධයක් කියලා හිතන එක වැරැදියි. මේක ජීවත්වීමේ අයිතිය ඉල්ලන සටනක්. අනෙක් හේතු වැඩක් නෑ. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳීමට එජා සංවිධානය මැදිහත් විය යුතුයි.

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර :

මේ ගැටුම්වලින් මියගිය සියලුදෙනාට අපගේ ශෝකය පළ කරනවා. ගැටුම්වලින් විවිධ රටවල ශ්‍රමිකයන් මිය ගියා ශ්‍රී ලාංකිකයන් මියගියා අපේ ශෝකය ඔවුන් වෙනුවෙන් පළ කරනවා. ගැටුමට මැදිවී සිටින සෙසු ලාංකික ශ්‍රමිකයන් බේරා ගැනීමට ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. එහි සේවය කිරීමට අපහසුනම් නැවත ලංකාවට ගෙන්න ගන්නවා. ඊශ්‍රායලයේ රැකියා විශාල ප්‍රමාණයක් ලැබී තියෙනවා. ආරක්ෂක තත්ත්වය අනුව ඒවාට අනුයුක්ත කිරීමට පියවර ගන්නවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලෝකය හැමදාම යුද්ධ පැවතුනා. යුද්ධයෙන් තොර එක දවසක්වත් තිබී නෑ. මේ වනවිට ලෝකයේ යුද්ධ 72ක් තිබී තියෙනවා. ඒවායින් බිලියන ගණනක පිරිසක් මැරිලා. ඊශ්‍රායල – පලස්තීන යුද්ධය බලවත් ජාතීන් විසින් නිර්මාණය කරන ලද්9දක්. අන්තර් ජාතික සංවිධානය ඇතුළු සංවිධානවලටත් මේ ගැටලුව විසඳන්න බැරිවෙලා.

මේ යුද්ධය නිසා ආර්ථික දේශපාලන, සමාජමය ගැටලු රැසකට අපේ රටවල්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. මේ ප්‍රශ්නය සුව කරගන්න බැරි තැනට පත්වෙලා.

මේ ප්‍රශ්නය විසඳන්න දාර්ශනික ප්‍රවේශයකින් යුත් මානුෂීය ප්‍රවේශයක් අවශ්‍යයි. ගහමරා ගන්නා ශිෂ්ටාචාරය අවසන් කළ යුතු මොහොතක අපි ඉන්නේ. මේ ගැටුමෙන් කිසිම පාර්ශවයක කොටස්කරුවකු වෙන්න අපට අවශ්‍ය නෑ.

යුද්ධය දිග් ගැස්සුනොත් ලෝක ආර්ථිකය වගේම ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වෙනවා. අපේ ආදායම් මාර්ග අඩුවෙනවා. මැදපෙරදිග රටවල් අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙනවා.

පාර්ලිමේන්තුව නැවත ලබන මස (නොවැම්බර්) 07 වැනි දින පෙරවරු 9.30ට යළි රැස්වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment