ඊශ්‍රායලයේ ටෙල්අවිව් හා කටුනායක අතර සෘජු ගුවන් සේවා ඇරැඹීමට ගිවිසුමක්

91

ශ්‍රී ලංකාවේ ගුවන් සේවාවන් පුළුල් කරමින්, ඊශ්‍රායලයේ ටෙල්අවිව් නුවර සහ කටුනායක අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීමේ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම අත්සන් කිරීම ඊශ්‍රායලයේ ප්‍රවාහන සහ මාර්ග ආරක්ෂක ඇමතිනී මිරී රෙගිව් මහත්මිය සහ වරාය, නාවික හා ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ (16දා) අමාත්‍යාංශ කාර්යාලයේදී සිදු කරන ලදී.

ඒ අනුව ලබන මාර්තු මස සිට නියමිත කාල සටහනකට දෙරට අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීමට නියමිත බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

මේ වනවිටත් පසුගිය දෙසැම්බර් මස සිට ඊශ්‍රායලයේ ආකි ගුවන් සමාගමේ කුලී ගුවන් යානා 05ක් ටෙල්අවිව් නුවර සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි අතර ඊශ්‍රායලයට අයත් තවත් ගුවන් සමාගම් කීපයක් ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන්සේවාවන් ආරම්භ කිරීමට කැමත්ත පළකර ඇති බව ඇමැතිනි මිරී රෙගිව් මහත්මිය අවධාරණය කළාය.

පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි මෙම ගුවන් යානා පුළුල් බඳ සහිත, විශාලත්වයෙන් යුතු මගීන් 300 කට ආසන්න ප්‍රමාණයක් ගෙනයා හැකි ඒ 321 ගුවන් යානා බව මෙහිදී කරුණු හෙළිවිය.

විසිදහසකට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසක් ඊශ්‍රායලයේ විවිධ රැකියාවල නිරතව සිටින බැවින් දෙරට අතර පියාසර කිරීමට මෙම සෘජු ගුවන්සේවාව, ඉමහත් පහසුවක් වන අතර ගුවන් ටිකට් පත් දැනට වඩා අඩු මුදලකට ලබා ගැනීමට හැකිවන බව ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

එමෙන්ම ඊශ්‍රායලයේ සංචාරකයින් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ ඊශ්‍රායල ප්‍රවාහන ඇමතිවරිය ඒ තුළින් දෙරටේ ද්විපාර්ශවීය සබඳතා ගොඩ නැගීමට හේතුවන බව පැවසීය.

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල පහසුකම් පුළුල් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට කටයුතු කරන බව පැවසූ ඇමැතිවරිය මෙම ගිවිසුම පිළිබඳව ඊශ්‍රායල පාර්ලිමේන්තුව දැනුවත් කරන බවද පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන්ද, ඊශ්‍රායල ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment