හඬක් නැති අයට වැඩක් ඇති අයවැයක් – රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

49

ජනාධිපතිගේ අය වැය කතාව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් ගියා වගේ – එරාන් වික්‍රමරත්න (සජබ)

ජනාධිපති අයවැය කියලා විහිළු සුරංගනා කතාවක් ඉදිරිපත් කළා – ආචාර්ය හරිනි අමරසූරිය (ජා.ජ.බ.)

රටම අර්බුදයට යන්න දීලා එක පාරට අර්බුද ඇතිවීම ගැන කතා කරනවා- මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ)

රාජ්‍ය සේවකයන්ට, විශ්‍රාමිකයන්ට හා අඩු ආදායම්ලාභී මිලියන ගණනක් වන හඬක් නැති පුරවැසියන්ට ආර්ථිකය ගොඩනගන අසීරු මොහොතේ සහන සැලසීමට මෙවර අය වැයෙන් ක්‍රියාකර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න (සජබ) –

ජනාධිපතිවරයා අය වැය කතාව ඉදිරිපත් කරමින් අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක රැගෙන ගියා. අද අපට එළියේ ඉඳලා ඩිස්නිලන්තයේ ඇතුළ බලන්න සිදු වී තියෙනවා. පොරොන්දු දේශපාලනයෙන් රට බංකොලොත් කළ බව ජනපති කිව්වා. රට බංකොලොත් කළේ විපක්‍ෂය නොවෙයි. රට වට්ටපු අය ආණ්ඩුවේ තාමත් ඉන්නවා.

2015 ආණ්ඩුව ආර්ථිකය නැංවීමට අසීරු තීන්දු ගත්තා. උද්ධමනය එදා සියයට 10 ට අඩුයි. රට වටේ ගිහින් බදු වැඩියි කියලා උද්ඝෝෂණය කරලා බලය ගත් අය බොරු කියලා රටට බිලියන ගණන් පාඩු කරලා රට බංකොලොත් කළා.

අද වේල් දෙකයි මිනිස්සු කන්නේ. මාළු තියා කරවලවත් නෑ. පෝෂණය පහළට බැහැලා. මේ මාසය වන විට අද පවුල් ලක්‍ෂ 6 කට වඩා විදුලිය විසන්ධි කරලා. ගිය මාසයේ පන්ලක්‍ෂ අසූදහසක් නිවාසවල විදුලිය විසන්ධි කරලා. ඇති නැති පරතරය මනින්නේ රුපියල් වලින් නෙවෙයි. අධ්‍යාපනයෙන්. අද පාඩම් කරන්නවත් විදුලිය ක්‍රියාත්මක කිරීම අපහසුයි.

2023 ආදායම සියයට 15 කින් පහළ බැස්සා. 2024 දී ආදායම සියයට 45 කින් වැඩි කරනවා කියනවා. 2023 කරන්න බැරි වූ දේ 2024 කරන්නේ කොහොමද මේක සිහින අය වැයක්. මේක වෙන්නේ නෑ.

පසුගිය අවුරුදු කිහිපය පුරාම බලාපොරොත්තු වූ ආදායම ලැබී නෑ. අලුත් යෝජනා කිසිවක් මෙවර ඉදිරිපත් වී නැහැ. වැට් වැඩිකිරීම හැමෝටම බලපානවා. මේ අය වැය හැමෝටම වදිනවා. ගෙවන්න බැරි අසරණ මිනිස්සුන්ගෙන් තමයි.

2023 අය වැය ගැන හරි විශේලේෂණයක් නැතිව 2024 අය වැය ගැන කතා කරනවා. අය වැය කාර්යාලයක් හදන්නත් යෝජනා වුණා. ඒ කාර්යාලය ස්වාධීන විය යුතුයි. තොරතුරු හැමෝටම ස්වාධීනව ලබා ගත හැකි විය යුතුයි. සියයට 97 ක් ගැනම පසුගිය අය වැය තොරතුරු නෑ. අය වැය යෝජනා ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියා ඉදිරිපත් වුණේ නෑ.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

විප්ලවීය අයවැය ලේඛනයක් ඉදිරිපත් කළා. එහි වෙනස්කම් වැඩියි. අභියෝග රැසක් තිබුණා. මේ වර්ෂයේ ආදායම් ඇස්තමේන්තු බිලියන 3408 ක් ඉන් 2110 ක් උපයා ගත්තේ සැප්තැම්බර් වන විට. සියයට 16 ක අඩුවක් ඇතිවේවි. සෘන ආර්ථික බදු එකතු කිරීමේදී ඉලක්කවලට යන්න බැරි වේවි.

රේගුවට ඉලක්කයක් දීලා තියෙනවා. වැඩිම ආදායම දෙන වාහන ආනයනය තවමත් නවත්වලා.

අය වැය හිඟය අපි සපයා ගන්නේ ණය ගැනීමෙන්. ණය ප්‍රතිව්‍යුහගත කිරිම කරමින් ඉන්නවා. භාණ්ඩාගාර බිල්පත් ගන්නේ මීට පෙර මුදල් ප්‍රදානය කරලා. විශේෂ අවස්ථාවකදී හැර මුදල් මුද්‍රණය නොකිරීමට තීරණය කළා. අද මූල්‍ය විනය යටතේ මුදල් මුද්‍රණය සීමා කර තිබෙනවා. මීට වසරකට පෙර ජනපති කිව්වා තව වසරකින් පසුව රාජ්‍ය සේවකයන්ට අස්වැසිල්ලක් ලැබේවි කියලා. රාජ්‍ය සේවක පඩි ගෙවන්න මාසිකව බිලියන 93 ක් අවශ්‍යයි. බිලියන 13 ක් තව එකතු වෙනවා වැටුප් වැඩිකිරීම නිසා. රාජ්‍ය ආදායම ලැබෙන රටාවක් තියෙනවා. මුල් මාස තුන තුළ ලැබෙන්නේ අඩුවෙන්. ලැබෙන විදිහට අපි ණය නොවී පඩි ගෙවන්න සැලසුම් කළා. විශ්‍රාමිකයා ගැනත් අවධානය යොමු කළා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දිරි ගන්වන්න මුදල් වෙන් කළා

අස්වැසුම වැඩසටහන විධිමත් කිරීමට අවශ්‍ය පියවර ගත්තා. මීට පෙර රුපියල් බිලියන 60 ක් වැය කළා. ලබන වසරේ අස්වැසුමට රුපියල් බිලියන 120 ක් වැය කරන්න තීරණය කළා. මේ මුදල් යන්නේ ජනතාවටයි. පවුල් ලක්‍ෂ 20 කට සහන සැලසෙනවා. වැඩිහිටි පුරවැසියන් වකුගඩු රෝගීන් ඇතුළු හඬක් නැති පුරවැසියන්ට සහන සලසන්න අසීරු මොහොතක ක්‍රියා කළා.

රන්බිම ස්වර්ණභූමි ආදී ඔප්පු මගින් ජනතාවට ලැබුණේ පදිංචිය පමණයි. ඉඩමක ළිඳක් කපන්නවත් බැහැ. මේ වගේ ලක්‍ෂ 20 ක් පමණ ජනතාව ඉඩම් අයිතිය නැතිව කුලීකරුවන් වුණා. මේ අයට නොමිලේ සින්නක්කර ඔප්පු දෙන්න ජනාධිපති තීරණය කළා. මෙය තමයි රටේ කළ ලොකුම පුද්ගලිකකරණය. ඒ නිසා විප්ලවීය අය වැයක් වන්නේ මේ නිසයි.

කොළඹ පවුල් 50,000 ක් කුලී ගෙවලා සින්නක්කර අයිතියක් නැතිව ජීවත් වුණා. මොවුන්ටත් සින්නක්කර අයිතිය හිමි වෙනවා. සමහර පක්‍ෂවලට ඉදිරියේදී සටන් පාඨ නැතිව යාවි. අය වැය විමධ්‍යගත මුදල් පසුගිය කාලයේ දුන්නේ නෑ. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම රුපියල් කෝටි 65 බැගින් වෙන් කෙරෙනවා. 2023 සාර්ථක අය වැයක් නිසයි මේ වසරේ හොඳ අය වැයක් ඉදිරිපත් කරන්න හැකි වුණේ.

අධ්‍යාපන විප්ලවයට අපි පය තැබුවා. උසස් අධ්‍යාපනයට දරුවන් පිටරට යනවා. අපි මේ ක්‍රමය නැති කළ යුතුයි. අපේ ප්‍රමාදය නිසයි දරුවෝ පිටරට ගියේ. ඒ නිසා සෘජුව ජනපති අවශ්‍ය පියවර ගත්තා. මුහුණ දිය යුතු සැබෑ ප්‍රශ්නවලට සැබෑ ලෙස සෘජුව මුහුණ දුන්නා.

පත්කළ මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ) –

මෙවර විප්ලවීය අය වැයක් ඉදිරිපත් කළ බව මුදල් ඇමැති පුනපුනා කියනවා. අපිට නම් එහි විප්ලවීය බවක් පේනේනේ නැහැ. සුරංගනා කතා ගොඩක් නම් තියෙන බව පැහැදිලියි.

අය වැය යෝජනා ඉදිරිපත් කිරීමට පෙර පාපොච්චාරණයක් කරනවා. මෙය 2023 දීත් සිදුවුණා. පසුගිය දශක ගණනාවකම වැරදි නිවැරදි විය යුතු බව කියනවා. ඉදිරිපත් කර තියෙන අය වැයේ අලුත් යෝජනා මොනවාද. බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්න කියලා යෝජනා වගේම වැරදි දේවල් නිවැරදි කරන්න අරගෙන තියෙන පියවර කුමක්ද? මේවා කිසිවක් පැහැදිලි නෑ. 1977 සිටම ආණ්ඩු වැරදි නිවැරදි කරන්න කතා කළා.

77 සිටම වැරදි කරපු අයට නිවැරදි කරන්න කතා කරනවා. ඒ වැරදි කරපු අයට නිවැරදි කර ගන්න බැහැ.

අයවැය පරතරය රුපියල් බිලියන 285 කි. මේකට මොකද්ද කරන්න යන්නේ කියා ප්‍රශ්නය තියනවා. මේ අයවැයෙනුත් සම්පත් විකිණීම, බදු අය කිරීම හැර යෝජනා කර ඇත්තේ මොනවද? සම්පත් විකිණීම බරපතළ අපරාධයක්.

පසුගිය දශක ගණනාවක් පුරා සම්පත් විකුණුවා. ඉන් ආර්ථිකයට ලැබී ඇති බලපෑම මොකක්ද? ආර්ථික වර්ධනයක් සිදු වුණාද? නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීමට ඇති එකම විසඳුම විකිණීමද තියෙන සම්පත් සංවර්ධනය කර ප්‍රතිලාභ ලබන තත්ත්වයට ගෙන ආ යුතුයි. රුපියල් 10000 ක රජයේ සේවක දීමනාව වැඩි කළ බදු සමග සැසඳීමේදී කිසිම ප්‍රතිලාභයක් නෑ. බදු ගෙවන්නයි. භාණ්ඩ මිල වැඩි වීමටයි පඩි වැඩි වීම වැය වෙනවා. අයවැයේ විහිළුම සුරංගනා කතා තියෙන්නේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ගැන කියපුවා තුළයි.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී. බී. රත්නායක (ශ්‍රීලපොපෙ)

ආර්ථික වශයෙන් බලගැන්වූ රටක ආර්ථිකය ගොඩනැගීමට සාමූහිකව එක්විය යුතුයි. අපි හැමෝටම තියෙන්නේ ශ්‍රී ලංකාවයි.

ලොව රටවල් ගණනාවක් ආර්ථික ව්‍යසනයට ගොදුරු වෙලා. හරියට එකමුතුව ක්‍රියා නොකිරීම නිසා අපි යන්නේ කොහෙද කියන ප්‍රශ්නය මතු වෙලා.

කඳුකරය ගැන අවධානය යොමු කළ යුතුයි. ජල මුලාශ්‍ර ආරක්ෂා කර ගත යුතුයි. ප්‍රාදේශීයව රට සංවර්ධනය කිරීමට අවශ්‍ය මුදල් අයවැයෙන් වෙන් කරලා. ආර්ථිකය

ගොඩනැංවීමට තනතුරු පංගු භේද බලන්නේ නැතිව.

පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක (සජබ)

2023 අයවැයට යෝජනා 77 ක් ඉදිරිපත් කළා. ඒවා මේ වසරේ ක්‍රියාත්මක කළාද යන්න ප්‍රශ්නයක්. ව්‍යාපෘති 77 න් 69 ක් සම්පූර්ණ කර නෑ. යෝජනා 25 ක් ක්‍රියාත්මක කරලාම නැත කියලා පෙරිටේජ් ආයතනය සඳහන් කරනවා. ඒ කියන්නේ සියයට 90 ක් පමණ ක්‍රියාත්මක නෑ.

සියලු යෝජනා ජනතාව සිහින සාප්පුවකට ගෙන යෑම පමණයි සිදු කර ඇත්තේ. 2023 වාර්ෂිකව ඩොලර් බිලියන 03 ක ආයෝජන ගේනවා කිව්වා. ඒ සඳහා කාර්යසාධක බළකායක් හදනවා කිව්වා. ඒවා කිසිවක් නෑ. මේවා අසාර්ථක වෙද්දි 2024 ඉදිරිපත් වන්නේ සුරංගනා ලෝක කතා නොවෙයි.

අපි විනිමය අර්බුදයකට මුහුණ දී සිටිනවා. එය විසඳා ගැනීමට ආනයන ආර්ථිකයට යා යුතුමයි. ඒ සඳහා කිසිම පිළියමක් නෑ.

දසදහසක දීමනාව රාජ්‍ය සේවයට දෙන විට පුද්ගලික අංශයට, වතු සේවකයන්ට කිසිම සහනයක් නෑ. ආණ්ඩුව මේ ගැන කිසිම අවධානයක් යොමු කර නෑ.

වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු

පසුගිය අයවැයේ සමහර යෝජනා ක්‍රියාත්මක වූයේ නෑ. ඒ සඳහා ලබාදුන් මුදල් ප්‍රමාණවත් වුණේ නෑ.

පසුගිය වසර තුළ රේගුව, සුරාබදු හා ආදායම් බදු දෙපාර්තමේන්තුව බදු ආදායම් ලබා දුන්නා. වසර දහයක් පහළොවක් පුරා කළ ආකාරයට තමයි ආදායම දුන්නේ. පවතින ක්‍රමයට බැහැරව නිලධාරීන්ට ක්‍රියා කරන්න බැහැ.

මේ අයවැය තුළ ආදායම එකතු කරන්න විකල්ප ක්‍රම හඳුන්වා දී තිබෙනවා. ඉඩමක් වාහනයක් ලියාපදිංචි කරනවා නම් ටැක්ස් අංකයක් අවශ්‍යයි. 2024 අවශ්‍ය ඉලක්ක ලබා දීමෙන් වැඩපිළිවෙළක් සකස් කර ගත හැකියි.

සීනි බදු පිළිබඳ වංචාවක් සිදුව ඇත්නම් පියවර ගත හැකියි. බදු පැනවීමේදී හා ඉවත් කිරීමේදී පවතින තොග හරහා වාසි අවාසි සිදුවෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය යෝජනා ක්‍රමයක් සඳහා රුපියල් බිලියන 30 ක් වෙන් කර තියෙනවා. ව්‍යාපාරිකයන්ට අත දීමක් ලෙසයි සිදු කර ඇත්තේ.

කෘෂිකර්මාන්ත හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර

ජනාධිපති රට හැර යන විට අරාජික වී තිබුණේ. සමහරුන්ට ඒ තත්ත්වය මතක නෑ.

අද වනවිට ගොවියන් වගා කරලා. රටට අවශ්‍ය සහල් රටේ පවතිනවා. කීරි සම්බාවල හිඟයක් පවතිනවා. සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය නිසා සුපිරි ගණයේ සහල් ආනයනය කරන්න වේවි.

ඉලෙක්ටි්‍රක් බස් රථ 200 ක් නගර ආශ්‍රිතව යෙදවීමට අවශ්‍ය මුදල් වෙන් කර තිබෙනවා. වැඩ අවසන් නොවූ මාර්ග ඉදිකිරීමට, පාලම් ඉදිකිරීමට රුපියල් බිලියන 1260 ක් වෙන් කර තියෙනවා.

නවීන තාක්ෂණය අපි කෘෂිකර්මයට ගෙන එමින් පවතිනවා. දැනටමත් ගොවීන් ප්‍රතිලාභ ලබනවා. තාක්ෂණය ලැබුණත් තරුණයින් කෘෂිකර්මාන්තයට එක් වෙනවා. ඊට අවශ්‍ය මුදල් හා මඟපෙන්වීම් කරනවා.

රාජ්‍ය ඇමැති කනක හේරත්

අස්වැසුම වැඩි කරන්න යෝජනා කර තියෙනවා. අපේ පැතිවල අස්වැසුම ප්‍රශ්න පැවතියත් ලබන වසරේදී ඒවා නිරාකරණය වේවි.

රටක් ලෙස ජයග්‍රාහි මාවතකට යෑමට අයවැය ඉවහල් වෙනවා. මානව සම්පත ශක්තිමත් වීමට අවශයි. ඒ සඳහා වැටුප් වැඩි කිරීමටත් දිරිගැන්වීමටත් ගත් පියවර ඉතා හොඳයි.

අධ්‍යාපනයට විශාල සැලසුමක් පවතිනවා. කෙටි කාලීනව තාක්ෂණයේ දියුණුවෙන් විදේශ විනිමය ගෙන්වා ගත හැකියි. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තියෙනවා.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් (ශ්‍රීලපොපෙ)

රටේ ආයෝජනය පිළිබඳ උපකල්පනයේදී පළල් ආර්ථික ක්‍රියාමාර්ගවලට යා යුතුයි. 1970 සිටම ලොකු අයවැය හිඟයක් ඇති වුණා. අද වනවිට විශාල ණය අර්බුදයක් පවතිනවා. ණය ගෙවන්න බැරි තැනට ආර්ථික ක්‍රියාමාර්ග තල්ලු වෙලා. මේ අර්බුදවල රට වෙලිලා. අර්බුදවල නිර්මාතෘවරුන් අද කතා කරනවා. ජනාධිපතිත් ඇතුළු පිරිස රට මේ තැනට වැට්ටුවේ.

මෙච්චර කාලයක් ආරථිකය අර්බුදයට යන්න ක්‍රියා කර දැන් එකපාරටම එලියට බැහැලා. අර්බුද ඇති වීම ගැන කතා කරනවා. 1948 සිට ආණ්ඩු හදපු හැමෝගෙම ප්‍රතිඵලය තමයි අද පවතින්නේ. දැන්වත් වෙනස් ක්‍රියාමාර්ගයකට යෑමට කාලය පැමිණිලා. තව ණය ගන්න එකයි විකුණන එකයි කරගෙන ආර්ථිකය හදන්න බැහැ.

රාජ්‍ය සේවයේ පඩි දීලා විතරක් මදි පුහුණුව ගැන දැඩි ප්‍රශ්න පවතිනවා.

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක

ආණ්ඩුව අයවැය ගැන ක්‍රියා කරන්නත් පෙර වෘත්තිය සමිති කාරයෝ එළියට බැහැලා කෑ ගහනවා. කවුරු මෙහෙය වනවාද මන්දා. අපි ෆේල් වූ අය නොවෙයි. විපක්ෂයේ තනතුරු දරපු අය අද ආර්ථික ඔස්තාර්ලා වගේ විවිධ ප්‍රකාශ කරනවා.

රුපියල් දහසකින් හරි අහිංසක ජනතාවට ආධාර වැඩිවීම ගැන සතුටු විය යුතුයි. කොළඹ තට්ටු නිවාසවල අය කුලී ගෙවන එක නවත්වලා අයිතිය ලැබීම ගැන ඔවුන්ට සතුටුයි. අයවැයේ සහන ලැබුණු පිරිස් සතුටුයි. දුෂ්කර මාර්ග රැසක් අබලන් වෙලා. ඒවා හැදිය යුතුයි. ඒවාට අවශ්‍ය මුදල් වෙන් වී තියෙනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment