ආණ්ඩුවටයි ජනතාවටයි දෙගොල්ලොන්ටම පාඩමක් ඉගැන්වූ මාර්තු 15 වැඩ වර්ජනය

181

හැම දේකින්ම තැලෙන්නෙ අපි වගේ පොඩි මිනිස්සු…
මඟී ජනතාව

වැඩ වර්ජනය අති සාර්ථකයි…
වසන්ත සමරසිංහ

මේක දේශපාලන න්‍යාය පත්‍රයකට කෙරුණු වැඩ වර්ජනයක්…
රත්තනපිටියේ මේධානන්ද හිමි

උදේ පාන්දර හතරේ ඉඳලා පෝලිමේ ඉන්නවා වෛද්‍යවරු නෑ…
රෝගීහු

පෙර දැනුම් දීමක් නොකරපු නිසා අපි අසරණ වුණා…
පාසල් සිසුන්

‘මේ වගේ රටක ජීවත් වෙන්න ලැබීම මහ කරුමයක්…’ එසේ කියන්නේ අප නොවේ. පසුගිය බදාදා හිමිදිරියේ රැකියා ස්ථානයට
ගමන් කිරීමට කළුතර දුම්රිය ස්ථානයට පැමිණ, කොළඹ බලා ධාවනය වන දුම්රියක් පැමිණෙන තෙක් දැස් දල්වාගෙන බලා සිටි මඟීන් අතර සිටි එක් තරුණයෙක්ය. බදු පනතට එරෙහිව, ජීවන වියදම පහත හෙළන ලෙස හා තවත් ඉල්ලීම් ගණනාවක් මුල් කොටගෙන එදින රට පුරා ක්‍රියාත්මක වූ වැඩ වර්ජනය සහ පවතින ආණ්ඩුවේ මර්දනකාරී පාලන තන්ත්‍රය ගැන එම තරුණයන් පිරිස දැඩි පිළිකුළෙන් විවේචනය කරන අයුරු ද කන වැකිණි. ඔවුන් පමණක් නොව මෙරට බහුතරය සිටිනුයේ රජය සහ වෘත්තීය අරගල සම්බන්ධයෙන් දැඩි කලකිරීමෙනි. ආණ්ඩුව විසින් අසරණ ජනතාව බිත්තියට හේත්තු කර තිබෙන රටේ ඇතැම් දේශපාලන කණ්ඩායම් බොරදියේ මාළු බෑමක් මෙන් කරගෙන යන අරගල, වැඩ වර්ජන නොමැති දවසක් නැති තරම්ය. ඉනිදු පීඩාවට පත්වනුයේ ද රටේ අසරණ ජනතාවය.

එහෙත් මහා බදු බරක් පවටමින්, විදුලි බිල, බැංකු පොලී, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල උපරිමට වැඩි කරමින්, ඖෂධ වෙළෙඳාම මාෆියාවක් බවට පත් කරගෙන, රටේ ළමයින්ගේ අධ්‍යාපනය ගැන නොසිතමින් හිතුවක්කාර ගමනක් යන ආණ්ඩුවේ අදූරදර්ශී පාලනය ගැන ද රටක් විදිහට හෙළා දැකිය යුතු බව සැබෑය. එවැනි සිතුවිලි මනසේ ඇඳෙනවිට, මඟීන්ගෙන් පිරුණු දුම්රියක් පැමිණ නැවතුමේ නතර විය. යුද හමුදා ආරක්‍ෂාව මැද ධාවනය වූ එම දුම්රියට අඩියක් තැබීමට නොහැකි තරමට සෙනඟය. එදින ධාවනය වූ සියලු දුම්රියන් මඟීන්ගෙන් පිරී ගොස් තිබුණේ දෛනිකව ධාවනය වීමට නියමිත දුම්රිය ගමන් වාර තුන්සිය හැටහතරෙන් ධාවනය වී ඇත්තේ විසිඑකක් පමණක් වූ නිසාය. සාමාන්‍ය පරිදි සියලු බස් රථ සේවයේ යෙදී තිබුණු බවට ඇතැම් මගී ප්‍රවාහන බස් රථ සංගම්වල සභාපතිවරු මාධ්‍ය ඉදිරියේ ‘ලොකු ටෝක්ස්’ දුන්න ද පෞද්ගලික බස් රථ ධාවනය ද විශාල වශයෙන් අඩු වී තිබිණි. ධාවනය වූ පෞද්ගලික, ලංගම බස් රථවල මඟීන් ජෑම් වී ගමන් කරන අයුරු එදින හිමිදිරියේ මගේ නෙත ගැටිණි. අසීරුවෙන් දුම්රිය පෙට්ටියකට රිංගාගෙන තෙරපෙමින් සිටින විට මගේ සිත මෙරට වැඩ වර්ජන ඉතිහාසයේ ආරම්භයට දිව ගියේය.

බි්‍රතාන්‍ය පාලනයට එරෙහිව නාගරික කම්කරුවන්ගේ දායකත්වයෙන් ප්‍රථම වැඩ වර්ජනය සිදු කර ඇත්තේ 1893 වර්ෂයේදීය. ඒ බි්‍රතාන්‍යයන් සතුව තිබූ කොළඹ විශාලතම මුද්‍රණ හා පොත් වෙළෙඳ සමාගමේ කම්කරුවන් විසිනි. එම ආයතනයේ වැටුප් ගෙවීමේ ප්‍රමාදය ඉවසා දරාගැනීමට නොහැකි කම්කරුවන් සිදු කළ වැඩ වර්ජනය මෙරට ඉතිහාසයේ නිල වශයෙන් පිළිගත් ප්‍රථම වැඩ වර්ජනය වේ. දින හයක් පුරා දිග්ගැසුණු එම වැඩ වර්ජනයේ දෙවැනි දිනයේදී, මෙරට ප්‍රථම වෘත්තීය සමිතිය වන ‘මුද්‍රණ කම්කරුවන්ගේ වෘත්තීය සමිතිය’ ද ආරම්භ කරන ලදී. එම වෘත්තීය සමිතිය ආරම්භ කිරීමට සහාය ලබාදී ඇත්තේ බර්ගර් ජාතික ඇල්ප්‍රඩ් එර්නස්ට් බුල්ජෙන්ස් සහ ඉන්දීය ජාතික ලිස්බෝ පින්තු යන දෙපළය. එහෙත් එම වැඩ වර්ජනයෙන් සාර්ථක ප්‍රතිඵල අත් කරගැනීමට නොහැකි වී ඇත. වැඩ වර්ජනයට ප්‍රධාන වූ කම්කරුවන් පස්දෙනකු සේවයෙන් ඉවත් කොට එක් අයකුට සතියක සිරදඬුවමක් නියම කිරීමත් සමඟ සෙසු කම්කරුවන් නැවත සේවයට වාර්තා කර තිබිණි. මුද්‍රණ කම්කරුවන්ගේ වැඩ වර්ජනය එසේ අසාර්ථක වන විට 1896 වර්ෂයේදී නගරයේ සියලුම රෙදි අපුල්ලන ස්ථාන පාලනයට පහසු වන සේ නගර සභාවෙහි ලියාපදිංචි කළ යුතු යැයි බල කරමින් කොළඹ රෙදි අපුල්ලන කම්කරුවන් දියත් කළ වැඩ වර්ජනය ද ඉංග්‍රීසි පාලනයේ මර්දනය මත අසාර්ථක විය. එහෙත් 1906 වර්ෂයේදී පිටකොටුවේ කරත්ත කම්කරුවන් පන්දහසකගේ පමණ දායකත්වයෙන් දියත් වූ වර්ජනය අති සාර්ථක විය. පිටකොටුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ වරායට බඩු ප්‍රවාහනය කරන කරත්තකරුවන්ට බෝන් ලීයේ වාඩි වී ගමන් කිරීම තහනම් කිරීම හේතුවෙන් එම වැඩ වර්ජනය දියත් කර තිබිණි. එම වර්ජනයට නායකත්වය ලබාදී තිබුණේ එවකට රේන්ද, කරත්ත හිමිකරුවකු මෙන්ම මිනිරන් ව්‍යාපාරිකයකු වූ ජෝන් කොතලාවලය. සර් ජෝන් කොලාවලගේ පියා ය. බෝන් ලීයේ ගමන් කිරීමේ තහනම බි්‍රතාන්‍ය පාලකයන් විසින් ඉවත් කරගැනීමත් සමඟ සාර්ථකත්වයට පත් වැඩ වර්ජකයන්ගේ එකමුතුවෙන් මෙරට දෙවැනි වෘත්තීය සමිතිය වන ‘කරත්තකරුවන්ගේ සංගමය’ පිහිටුවාගෙන ඇත. එමෙන්ම 1860 වර්ෂයේදී තර්ස්ටන් කාර්මික පාසලේ ගුරුවරුන් සහ වඩු කාර්මිකයන් දියත් කළ වැඩ වර්ජනය, 1870 වර්ෂයේදී නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ආයතනයක කම්කරුවන් සිදු කළ වැඩ වර්ජනය සහ 1879 කොළඹ මස් කඩවලින් අය කළ බදු මුදල් වැඩි කිරීමට එරෙහිව සිදුකළ වැඩවර්ජන නිල නොලත් අසාර්ථක වැඩ වර්ජන නිසා ඒ ගැන කතා නොකෙරෙන තරම්ය. ආගමික, දේශපාලන, ව්‍යාපාරිකයන්ගේ උසිගැන්වීම් මත විකාශනය වූ මෙරට වැඩ වර්ජන රැල්ල ‘අසූවේ ජූලි වර්ජනය’ ඛේදවාචකයක් බවට පත් විය.

ජීවන බරින් මිරිකී සිටි මිනිසුන්ගේ සොච්චම් පඩිය වැඩි කරගැනීම අරඹයා වැඩ වර්ජනයේ නිරත වූ පුද්ගලයන් සේවය හැර ගියා සේ සලකා රැකියා ස්ථානවලින් නෙරපා හැරීමට එවකට ජේ. ආර්. ජයවර්ධන පාලනය කටයුතු කළේය. අවසානයේ වැඩ වර්ජනයේ නිරත වූ දස දහසකට වැඩි පිරිසකට රැකියා අහිමි වූහ. රැකියා අහිමි වීමත් සමඟ දරු පවුල් නඩත්තු කරගැනීමට නොහැකිව, ණය බරින් මිරිකී අන්ත අසරණ තත්ත්වයට පත් වූ ජූලි වර්ජකයන් එකසිය තිස්අටදෙනකු සියදිවි හානි කරගත්හ. ඒ අසරණ සේවකයන්ව වර්ජනයට ඇද දැමූ වෘත්තීය සමිතිවලින්, එවකට පැවැති රජයෙන් හෝ තට්ටු මාරුවට වෙනස් වූ මෙරට කිසිදු පාලනයකින් සියදිවි හානි කරගත් ජූලි වර්ජකයන්ගේ පවුල්වලට කිසිදු සහනයක් ලබා දී නැත. පෙළගැසෙන මෙරට වර්ජන රැල්ල සුදු නැත. විටෙක තිත්ත කළුය. එහෙත් වර්තමානයේ වෘත්තීය සමිති ප්‍රබලය. හැත්තෑ පස් වසරක දේශපාලන මඩ ගොහොරුවක පීඩාවට පත්වෙමින්, විශ්වාසභංගත්වයට පත්ව සිටින මෙරට පුරවැසියන් සිටිනුයේ කෝපයෙන් දැවෙමිනි. හුස්ම සිර වෙන තරමට ජෑම් වී පැමිණ කොටුව දුම්රිය ස්ථානයෙන් බහින විට, බෝම්බ පිපිරෙන මෙරට යුද සමය ද මතකයට නැඟිණි. කොටුව දුම්රිය ස්ථානය එතරම් ම ආරක්‍ෂිත කලාපයක් බවට පත් වී තිබිණී. කන්තෝරුවට නොගිහින් මම කෙළින්ම කොළඹ ජාතික රෝහලට ගමන් කළේ ඇඟේ රුදාවට බෙහෙත් ගැනීමට නොවේ, වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය නිසා අසරණ වන රෝගීන් හමුවීමටය.

“අද ක්ලිනික් දවස. උදේ පාන්දර හතරෙ ඉඳලා ඇවිත් හිටියා. වෛද්‍යවරු නෑ. අපි ගෙදර යනවා…” ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේදී හමු වූ වයසක මවක් එසේ කියමින් ඉදිරියට යන විට, අතක් වෙලාගෙන සිටි එක් තරුණයෙක් මෙසේ කීවේය.

“වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් දිනා ගන්න ඕනෑ. ඒත් අසරණ රෝගීන් ගැනත් බලන්න ඕන. රජයේ රැකියා කරන අය වැඩ වර්ජන, අරගල කරලා ඔවුන්ගේ ඉල්ලීම් දිනා ගනී. වැඩි වන ජීවන වියදමට හරියන්න පඩියත් වැඩි කරගනී. දීමනාත් වැඩි කරගනී. එදා වේල කන්න කුලී වැඩ කරන අපි වගේ මිනිස්සු ගැන කවුද කතා කරන්නේ. මේ රටේ බහුතරය හිතන්නෙ තමන් ගැන විතරයි. ආත්මාර්ථකාමී හැත්ත…” ඔහුට නහුතෙට කේන්ති ගොස් තිබෙන බව වචනවලින් වැටහේ. මම ඔහු අසලින් ඈත් වී ඉදිරියට ගියෙමි. පිළිකා රෝහල, ළමා රෝහල, මාතෘ සායන හා අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර හැරුණුකොට රට පුරා රෝහල්වල කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශයට පත් කර තිබිණි. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අප සමඟ පැවසුවේ බාහිර රෝගී ප්‍රතිකාර හැරුණුකොට සෙසු කටයුතු සාමාන්‍ය තත්ත්වයට පවත්වාගෙන ගිය බවය. වෛද්‍යවරු 85% ක් පමණ එදින සේවා කටයුතුවල නිරතව සිටි බවත් හේ අප සමඟ පැවසීය. ජාතික රෝහල් පරිශ්‍රයෙන් පිටත් වූ මම කොළඹ වරාය ඉදිරිපිටට පැමිණියෙමි. යුද ටැංකි, බර අවි ස්ථානගත වෙන්න කොළඹ වරාය යුද සමයේ ත්‍රිකුණාමලය වරාය අවට වැනිය. එතරම් ම යුද හමුදා ආරක්‍ෂාව තර කර තිබිණි. එමෙන්ම වරාය අධිකාරිය වැඩ වර්ජනයේ නිරතව සිටියදී, පාලනාධිකාරිය විසින් නාවික හමුදාව යොදවා නැගෙනහිර පර්යන්තයේ සේවකයන්ගෙන් බලෙන් වැඩ කිරීමට බලපෑම් කිරීම මත එදින දහවල වන විට වරාය ඇතුළත නොසන්සුකාරී තත්ත්වයක් ඇති වූ බව ද වාර්තා විය. එහෙත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය දියත් කළ වැඩ වර්ජනය සියයට සියයක් සාර්ථක වූ බව වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ අප සමඟ පැවසීය. කොළඹ වරායේ තත්ත්වය එසේ උණුසුම් වන විට වැඩ වර්ජනයට සහාය දෙමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දියත් කර තිබූ වැඩ වර්ජනය දෙසට අවධානය යොමු කළෙමි.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසන ආකාරයට ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැඩ වර්ජනය ද අති සාර්ථකය. ඒ පුවත ස්ටාලින් පිනා යන සතුටකි. දවසකට හෝ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම අපට නම් දරාගත නොහැකි දුකකි. කොළඹ සහ අවට නගරවල පාසල් කිහිපයක් සමීපයෙහිදී දරුවන් කියූ කතාවලට හදවත පෑරිණි. බෑග් මලු උස්සගෙන පාසල්වලට යන දරුවන් නැවත හැරී නිවෙස්වලට යන අයුරු දකින විට නෙතට කඳුළක් නැඟිණි.

“අද පාසලට ඇවිත් ඉන්නෙ ගුරුවරු කිහිපදෙනයි. උගන්වන්නෙ නෑ. අපි ගෙදර යනවා…” කොළඹ ප්‍රසිද්ධ පාසලක අට ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් එසේ පවසන විට නුගේගොඩ පාසලක පිරිමි දරුවෙක් මෙසේ කීවේය.

“අද අපිට විභාගය. බුද්ධ ධර්මය, තොරතුරු තාක්‍ෂණය විෂයන් තමයි තිබුණේ. අද පාසල් නිවාඩුයි කියලා ඊයෙ කිව්වෙත් නෑ. ගෲප් එකට දාලා තිබුණෙත් නෑ. ගුරුවරු නෑ කියලා දැනගත්තෙ පාසලට ආවට පස්සෙයි. දුර ඉඳල එන ළමයි ගොඩක් අසරණ වුණා. දවසක් හරි විභාගය කල් යෑමත් අපිට ලොකු පාඩුවක්…” රටේ විවිධ ප්‍රදේශවල අපගේ මාධ්‍ය සගයන් ලවා සොයා බලනවිට ගුරුවරු බහුතරය එදින පාසල්වලට වාර්තා කර නොතිබෙන බව දැන ගැනීමට ලැබිණි. බොහෝ පාසල්වල ගුරුවරු, විදුහල්පතිවරු එදින වැඩ වර්ජනය ගැන පෙර සිට ළමයින් දැනුවත් කර නැති බවක් ද වාර්තා විය. ඒ නිසා පාසල් සේවයේ වාහනවල පැමිණි දරුවන් නිවෙස්වලට යෑමට නොහැකිව දැඩි ලෙස පීඩාවට පත්වී සිටි බවක් ද වාර්තා විය. මාර්තු 15 වැඩ වර්ජනයේ ගුණ දොස් රට වටෙන් ගලාගෙන එමින් තිබුණු මොහොතක කොළඹ නගරයට ආසන්න නගරයක ප්‍රධාන පාසලක ගුරු වෘත්තියේ නියැළී සිටින රත්තනපිටියේ මේධානන්ද හාමුදුරුවන්ව මට මුණගැසුනහ. ගුරුවරු, විදුහල්පතිවරු ගෙන ගිය වැඩ වර්ජනය මෙන්ම සමස්ත වැඩ වර්ජනය ගැන උන්වහන්සේ මෙසේ අදහසක් ප්‍රකාශ කළහ.

“රටේ සමස්ත ජනතාවට දැඩිව දැනෙන ගැටලු රාශියක් තිබෙන බව ඇත්ත. ඒත් මේ වැඩ වර්ජනය දේශපාලන අතපෙවීමක් මත කෙරෙන දෙයක් බව පේනවා. ඒ නිසා තමයි මේ වැඩ වර්ජනයට ගුරුවරු, විදුහල්පතිවරුන්වත් සම්බන්ධ කරගත්තෙ. මේ වෙනකොට ඇතැම් ගුරුවරු, විදුහල්පතිවරු වෘත්තීය සමිතිවල නැටවෙන රූකඩ බවට පත් වෙලා ඉන්නවා. කම්කරු අයිතිවාසිකම් ආරක්‍ෂා කරගැනීමට පිහිටුවාගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙන්නෙ දේශපාලන හස්තයකින්. ඒ දේශපාලන පක්‍ෂවල ඕනෑ එපාකම් තමයි එකී වෘත්තීය සමිතිවලින් ඉටු කරන්නෙ. මේ රට මෙපමණ ප්‍රපාතයකට ඇදවැටීමට ඇතැම් වෘත්තීය සමිති, ඒවා මෙහෙයවන දේශපාලන පක්‍ෂ ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනෑ. අපි ආණ්ඩු කළේ නෑ කියලා එකී දේශපාලන පක්‍ෂවලට සුද්දවන්තයො වෙන්න බෑ. එක පැත්තකින් වී මිල වැඩි කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. අනිත් පැත්තෙන් හාල් මිල අඩු කරන්න කියලා උද්ඝෝණ කරනවා. උද්ඝෝෂණ දෙකම මෙහෙයවන්නෙ එකම දේශපාලන පක්‍ෂයකින්. එවැනි ගැටලුවලට විසඳුම් දෙන්න පුළුවන් මොන ජගතටද? ඒ වගේම මේ වෙනකොට රටේ කර්මාන්තකරුවන් බිය ගන්වමින් කප්පම් ගන්නා තත්ත්වයට ඇතැම් දේශපාලන පක්‍ෂ වෘත්තීය සමිති ත්‍රස්තවාදයක් කරගෙන තියෙන බවත් පේනවා. මේ රට ගොඩගැනීමට නම් ආණ්ඩු මට්ටු කිරීමට කරන අසාධාරණ වැඩවර්ජන, උද්ඝෝෂණ, අරගල නතර වෙන්න ඕනෑ…” මේධානන්ද හාමුදුරුවන්ගේ අදහස් දැක්වීම තව දීර්ඝය. උන්වහන්සේගේ නිර්භීත අදහස් දැක්වීම පෙළගැසෙන කතාවට ආභරණයක් බව සැබෑය. එහෙත් සෞඛ්‍ය, වරාය, අධ්‍යාපන, දුම්රිය, බැංකු, ජල, තැපැල් ආදී ක්‍ෂේත්‍ර පහළොවක වෘත්තීය සමිති හතළිහකට වැඩි සංඛ්‍යාවක් වැඩ නතර කළ ‘මාර්තු 15 වැඩ වර්ජනය’ අති සාර්ථකයි කියන වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතාගේ කතාවට ද පැහැදිලි ඉඩක් ලබාදිය යුතුය.

“රටේ ජීවන වියදම 60% න් 70% න් වැඩි වෙලා තියෙනවා. උද්ධමනය වැඩිවීමට සාපේක්‍ෂව මිනිසුන්ගේ ආදායම වැඩි වෙලා නෑ. එවැනි තත්ත්වයක් මත විදුලි බිල වැඩි කරනවා. බැංකු පොලී, බදු අය කිරීම් වැඩි කරනවා. ජීවත් වෙන්න බෑ. රටේ මිනිස්සුන්ට සහන දෙන්න කියලා රජයට කිහිප සැරයක් දැනුම් දුන්නා. ඒත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නෑ. අයි. එම්. එෆ් එක කිව්වා කියලා තව බදු වැඩි කරනවා. පෙන්ෂන් කපනවා. රාජ්‍ය ආයතන විකුණනවා. ප්‍රජාතන්ත්‍රවාදය අකුළනවා. ඡන්ද නතර කරනවා. ජනතාව මර්දනය කරමින් ආණ්ඩුව රට පාලනය කරන්න හදනවා. මේ රට එහෙම පාලනය කරන්න බැරි බව අද වැඩ වර්ජනයෙන් අපි පෙන්නා දුන්නා. රජයේ විවිධ වරදාන, වරප්‍රසාද ලබාගන්න කණ්ඩායම් අතළොස්ස හැර මෙරට සියලු වෘත්තීය සමිති, වෘත්තීයවේදීන්ගේ සමිති ඒකාබද්ධව සිදු කරගෙන ගිය වැඩ වර්ජනය අතිශය සාර්ථකයි. යම්, යම් ස්ථානවලදී ජනතාව පීඩාවට පත් වෙන්න ඇති. ඒකට සම්පූර්ණයෙන් වගකියන්න ඕන ආණ්ඩුව…” වසන්ත සමරසිංහගේ කතාව ද පැහැදිලිය.

සියලු භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස්, සාමාන්‍ය ජනතාවට දරාගැනීමට නොහැකි ලෙස විදුලි බිල වැඩි කර තිබෙන රටක ජීවත්වන පුරවැසියන් බහුතරයකට වේල් තුන කෑමට ආර්ථික ශක්තියක් නොමැති බව සැබෑය. එවැනි පසුබිමක ජීවන වියදම අඩු කරව්ෟ සහන දියව්! කියා ආණ්ඩුවට එරෙහි හර්තාල් කිරීමේ වරදක් අපි නොදකිමු. පවතින ජීවන වියදමට සාපේක්‍ෂව නව බදු ප්‍රතිපත්තිය රටේ ජනතාව බිත්තියට හේත්තු කොට කර්මාන්ත අගුළු දැමීමට ඉඩ සැලසීමක් බව ද වැටහේ. එහෙත් අසරණ ජනතාව පීඩාවට පත් කරමින් ඇතැම් පක්‍ෂවල දේශපාලන අරමුණු ඉටුකරගැනීමට දරන කාලකණ්ණි, හිරිකිත වෑයමක් ‘මාර්තු 15 වැඩ වර්ජනය’ තුළ සැඟ වී තිබෙන බව ද සිහිබුද්ධියෙන් සිතන මිනිසුන්ට වැටහෙන බව පැහැදිලිය. දේශපාලන පක්‍ෂවල හෝ ජනතාවගේ පීඩනය තුළින් හෝ උපදින වැඩ වර්ජන නිසා මේ රටට පැමිණෙමින් සිටින විදේශීය සංචාරකයන් නතරවීම, ලැබීමට තිබෙන විදේශීය ණය, ආධාර නොලැබීමට වැඩ වර්ජන ගර්ජනයක්වීම තුළ අසරණ වනුයේ ද රටේ ජනතාව බව අප තේරුම්ගත යුතුය. එමෙන්ම මෙරට දේශපාලන ගොහොරුවේ කෑමොර දෙන දේශපාලන හොරු සහ දේශප්‍රේමීන් සියලුදෙනා පරම්පරා තුන හතරකට හම්බ කරගෙන සිටින බවද බුද්ධිමත් මිනිසුන් විදිහට අප තේරුම්ගත යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment