ප්‍රභූ යාන්ත්‍රණය ආරක්‍ෂා කර ගන්න දූෂිතයෝ එකතු වෙලා – ජාජබ නායක අනුර කුමාර දිසානායක ගම්පහ කාන්තා සමුළුව අමතමින් කියයි

134

පාලනයේ වුවමනාව සහ ජනතාවගේ වුවමනාව එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනගමුයැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජාතික ජන බලවේගය ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් පසුගියදා ඒ මහතා මේ බව කීය.එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා මෙසේද පැවසීය.

94 ජනාධිපති වුණු චන්ද්‍රිකා, 2005 ජනාධිපති වුණු මහින්ද රාජපක්‍ෂ, 2015 ජනාධිපති වුණු මෛත්‍රීපාල සිරිසේන, 2019 ජනාධිපති වුණු ගෝඨාභය රාජපක්‍ෂ සහ 2022 ජනාධිපති වුණු රනිල් වික්‍රමසිංහ එක වේදිකාවකට නුදුරේදීම එනවා. ඉදිරි මැතිවරණයේදී ඔවුන්ගේ වේදිකාව ලංකාවේ විචිත්‍රවත්ම වේදිකාවක් වේවි. හොඳ පැත්තට නොවෙයි. අවුරුදු දවස්වල විකට ඇඳුම් තරග වගේ ඔවුන් එන්නේ ගොඩනැගෙමින් තිබෙන ජනතා ජයග්‍රහණයට එරෙහිවයි. සජිත් සහ රනිල් අතරේ පුද්ගලික ප්‍රතිවිරෝධ නොවෙන්න ඒ දෙන්නත් එකම වේදිකාවට එනවා. නමුත් අපි එකක් දන්නවා. ඔවුන් දූෂිත ප්‍රභූ තන්ත්‍රයයි. ඔවුන්ට තිබුණේ දූෂිත ප්‍රභූ යාන්ත්‍රණය ආරක්‍ෂා කර ගන්න එක මිටට එකතු වීමයි. ජනතාවගේ මතය වෙනස් කිරීම සඳහා මාධ්‍ය බලය ඇතුළු විවිධ මෙවලම් ඔවුන්ට තිබෙනවා. ජාතික ජන බලවේගය සතුව තිබෙන්නේ මහජනයාගේ නැගී සිටීම පමණයි.

වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලනයක්, නීතිය සැමට ක්‍රියාත්මක වන දේශපාලනයක්, ජාතික සම්පත් විකිණීමට එරෙහි දේශපාලනයක් සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ක්‍රියා කරන දේශපාලනයක් පොදු ජනතාවගේ අවශ්‍යතාවය වුණා. මැයි 09 වැනිදා ගෝල්ෆෙස් අරගලයට පහර දෙන විට වරායේ, ජාතික රෝහලේ, සහ වෙනත් තැන්වල ජනතාව එක එල්ලේ දුවගෙන ගෝල්ෆෙස්වලට ගියා. තමන්ගේ දරුවන්ට අනාගතය නිර්මාණය කිරීම වෙනුවෙන් පෙළ ගැසුණා. ඒ නිසා පොදු ජනයාගේ වුවමනාවත්, දූෂිත ප්‍රභූ තන්ත්‍රයේ වුවමනාවත් පැහැදිලි බෙදුම් රේඛාවකින් වෙන් වෙන මොහොතක මධ්‍යස්ථ යනුවෙන් කිසිවෙකුටත් හිටින්න බැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ දහස් සංඛ්‍යාත කාන්තාවන් එකතු වීමෙන් පෙන්වන්නේ ඒ බවයි. අවුරුදු 76ක් ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාව කණාමැදිරි එළියටත් බයෙන් ඉන්නේ. බැසිල් රාජපක්‍ෂ ඇමැතිකමින් ඉවත් වූ වහාම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී කීවේ ඔවුන්ට එරෙහි නඩු ටික ඉවත් කරගත් බවයි. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වූ වහාම ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පවත්වාගෙන යා නොහැකි නිසා ඉවත් කර ගත්තා. මේ වගේ ඇති තරම් ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාවක් ඉන්නවා. ඒ නිසා අපෙන් අහනවා, අපව විශ්වාස කරන්නේ කෙසේද කියලා. අපි එක සහතිකයක් ඔබට දෙනවා. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය අබ මල් රොණක තරමින්වත් හානි වෙන්න ඉඩ නොදෙන බවට අපි සහතික වෙනවා. ඉතිහාසයේ ඔවුන්ගේ වුවමනාවත් ජනතාවගේ වුවමනාවත් දෙකක් වුණා. ලංකාවේ පළමු වරට අපි එකතු වෙලා පාලනයේ වුවමනාව සහ ජනතාවගේ වුවමනාව එකට සමපාත වන ආණ්ඩුවක් ගොඩනගමු.

ප්‍රභූ යාන්ත්‍රණය ආරක්‍ෂා කර ගන්න දූෂිතයෝ එකතු වෙලා - ජාජබ නායක අනුර කුමාර දිසානායක ගම්පහ කාන්තා සමුළුව අමතමින් කියයි

අලු‍ත් පරම්පරාව පැය අටේ රැකියා කරනවා වෙනුවට නිදහසේ රැකියා කිරීමට අපේක්‍ෂා කරනවා. ඒ වෙනුවෙන් අපේ ආර්ථික සැලසුම තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යසායක පැලැන්තියක් බිහි කරනවා. අප්‍රිකානු කලාපයේ වේගයෙන් ව්‍යාප්ත වන වෙළඳපොළට දැන් සිටම සැලසුම් සකස් කරන්න ඕනෑ. ජාත්‍යන්තර වශයෙන් නව වෙළඳපොළක් නිර්මාණය කර නොගෙන, ඒ වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය නොකර ඉදිරියට යන්න බැහැ. ජාතික ජන බලවේගයෙන් ඒ සඳහා ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රියාවලියක් ආරම්භ කරනවා. ඒ වගේම අපරාධකරුවන් ආරක්‍ෂා වන තත්වය අවසන් කර නීතියේ විධානය ආධිපත්‍යය තහවුරු කරනවා. හොරෙක් හදපු රටක් ලෝකයේ කොහේවත් නැහැ. මහජනයාගෙන් සොරා ගත් ධනය නැවත අත්පත් කරගන්නා පාලනයක් ගොඩනගනවා. දැන් ක්‍රියාත්මක වෙන්නේ රේඛීය මාවතක ගමන් කරන අධ්‍යාපනයක්. පළවැනි වසරට ඇතුළත් වන සියලු‍ දරුවන් දොස්තර මහත්වරුන් කිරීමේ රේඛීය මාර්ගයක් ගෙනයනවා වෙනුවට දරුවන්ගේ පැතිරුණු කුසලතා වර්ධනය කර ගැනීමේ පැතිරුණු මාවතක් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි.

ලෝකය පිමි පනිමින් ඉස්සරහට යන අතර පාලකයන් අතීතකාමිත්වයේ අපිව හිර කළා. ලෝකය වෙනස් වෙමින් තිබෙන නූතනත්වය උකහා ගන්න අපිට බැරි වුණා. ලෝකයේ වේගයෙන් යන දුම්රිය නිර්මාණය කරනකොට රෑ 10යෙන් පස්සේ ගමට යන්න බස් එකක් අපට නැහැ. සුද්දට නොදෙවෙනි රටක් අපට හදන්න දැක්මක් තිබුණේ නැහැ. දැන් 76 වසරක දූෂිත දේශපාලනය පරාජය කර ඒ වියගසින් මිදී රටේ ජනතාවගේ නව ජාතික හැඟීමකින් ඉදිරියට එමින් සිටිනවා. අවුරුදු 76ක දූෂිත පාලනයෙන් නිදහස් වීම සුද්දාගෙන් අපේ රට නිදහස ලබා ගත්තාට වඩා හැඟීමක් අපට දැනේවි. අපේ ජීවිත කාලයේ තබන විශාලතම සතුට මේ ජාතික පිබිදීම, නැගිටීම තුළින් අපේ රටට නව මාවතක් විවෘත කිරීමෙන් ලබාගන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම නැගිටිමු, අපි හැම දෙනාම ඒ වෙනුවෙන් පොර බදමු. ඒ වෙනුවෙන් සියලු‍ දෙනාම එකතු වෙමු කියා ආරාධනා කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment