පැතුම්ගේ බංග්ලාදේශ පැතුම් සුන්වේ

917

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි බංග්ලාදේශ තරග සංචාරයේ ටෙස්ට්, එක්දින හා පන්දුවාර විස්සයි-20 යන සියලු තරගවලට සහභාගිවීමේ අවස්ථාව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමිවනු ඇතැයි වාර්තා වේ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගියදා පැවැති අවසන් පන්දුවාර 20-20 තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් පැතුම්ට මෙසේ බංග්ලාදේශ තරග සංචාරය අහිමිවනු ඇත.

එම ආබාධය හේතුවෙන් මසක පමණ කාලයක් ක්‍රීඩා කිරීමට පැතුම්ට නොහැකිවනු ඇති අතර අදාළ තරග සංචාරයේ පළමු තරගය ලබන 4 වැනිදා පන්දු වාර 20-20 තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

පන්දු වාර 20-20 තරග 3 ක්, එක්දින ජාත්‍යන්තර තරග 3 ක් සහ ටෙස්ට් තරග දෙකකින් යුක්ත බංග්ලාදේශ තරග සංචාරය ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරගයෙන් නිමා වේ.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පසුගියදා නිමාවූ එක්දින තරගාවලියේ පළමු තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පැතුම් එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වූයේය.

එමෙන්ම එම තරගාවලියේ අවසන් තරගයේදී ද යළි ශතකයක් ලබා ගත් පැතුම් තරගාවලියේ තරග 3 කදී ලකුණු 346 ක් ලබා 173 ක සාමාන්‍ය අගයක් වාර්තා කළේය.

පැතුම්ගේ එම ලකුණු 346 අනුව තරග තුනකින් යුත් එක්දින තරගාවලියක ලොව වැඩිම ලකුණු රැස් කළ සිව්වන පිතිකරුවා බවට ද පත්වීමට ඔහුට හැකි විය.

එසේම ඇෆ්ගනිස්තානයට එරෙහි එක්දින තරගාවලියේ පළමු තරගයේදී ආබාධයකට ලක්වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ද බංග්ලාදේශ තරග සංචාරය අහිමිවී ඇති අතර ඔහු වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවීමට මේවන විට තීරණය කර තිබේ.

දුෂ්මන්ත චමීරට ඇතිව තිබෙන ආබාධ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති 4ක කාලයක් ඔහු විවේක ගන්වා ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment