කවුරුත් කතා කළේ නැහැ – ඒත් දිවයින මහගෙදරින් මා දිහා බැලුවා

1003

හොඳම නළුවා ජනාධිපති සම්මානය දිනූ කුමාර තිරිමාදුර කියන කතාව

2023 ජනාධිපති සම්මාන උළෙලේ දී “ද නිව්ස්පේපර්” චිත්‍රපටය වෙනුවෙන් 2020 හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගන්නට රංගනශිල්පී කුමාර තිරිමාදුර වාසනාවන්ත විය. මේ තරම් වටිනා සම්මාන උළෙලක හොඳම නළුවා සම්මානය ඔහු දිනා ගන්නට පුළුවන් වුවත් මේ වනතුරු කිසිදු මාධ්‍ය ආයතනයකින් ඔහුව ඇගයුවේ නැතැයි යන්න “දිවයින” අපත් සමග කළ කතාබහේදී කුමාර තිරිමාදුර මෙලෙස කියා සිටියා.

2023 ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී “ද නිව්ස්පේපර්” චිත්‍රපටයේ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගන්නට ඔබට පුළුවන් වුණා. අපි ඒ පිළිබඳව කතා කළොත්?

ඔව්. මෙහෙමයි, මගේ බිරිඳත් මුහුණු පොතේ සටහනක් තබලා තියෙනවා එදා “අපි කසාද බැඳලා අවුරුදු තිහක් වෙනවා, හොඳම නළුවා ගෙදර එනකල් බලන් ඉන්නවා කියලා”. ඉතිං මම ගොඩක් හොඳම නළුවාට නිර්දේශ වුණා චිත්‍රපට ගණනාවකම. ධර්මයුද්ධය, ටවුමේ ඉස්කෝලේ වගේ තවත් චිත්‍රපටවල මට හොඳම සහාය නළුවාට සම්මාන ලැබුණා. රුසියාවෙනුත් මට හොඳම නළුවා සම්මානය ලැබුණා. ඉතින් ලංකාවෙන් ප්‍රථම වතාවට තමයි හොඳම නළුවා කියන සම්මානය මට ලැබුණේ. ඒක විශේෂයි. ඒ විශේෂය වන්නේ රුසියාව, එංගලන්තය සහ ඇමෙරිකාවෙනුත් “ද නිව්ස්පේපර්” චිත්‍රපටය වෙනුවෙන් අවස්ථා කිහිපයක දී සම්මාන ලැබුණත් ඒ එකකටත් වඩා මගේ මව්බිමෙන් මට ලැබුණු සම්මානය මෙය නිසා මට මේ සම්මානය තමයි වැඩිපුරම වටින්නේ සහ මම වැඩියෙන්ම ආදරේත් මේ සම්මානයටයි.

පසුගියදා මේ සම්මානය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ කටකතා පැතිර ගියා. ඒ සම්බන්ධව මොකද කියන්න තියෙන්නේ?

යූටියුබ් මල්ලිලාට ප්‍රශ්නයක් තිබුණා ජනාධිපතිගෙන් මේ සම්මානය ගත්තා කියලා. මම සම්මානය ගත්තේ ජනාධිපතිගෙන් නෙවෙයි. ඒක “ජනාධිපති සිනමා සම්මාන” උත්සවය. ඒක පිටිපස්සෙ විවිධ පක්ෂවල දේශපාලනඥයෝ හිටියත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මේක රජයේ චිත්‍රපට සංස්ථාවෙන් කළ දෙයක්. චිත්‍රපට සංස්ථාවට සල්ලි දෙන්නේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවෙන් දෙන ජනතාවගේ සල්ලිවලින් තමයි මේ සම්මාන ලබා දෙන්නේ. මම අවුරුදු 16 ඉඳලා මේ දක්වා අවුරුදු 40ක් දුක්විඳලා මෙතනට ආපු කෙනෙක්. කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නෑනේ. ජනාධිපතිගෙන් සම්මානය ගත්තා කියල කියන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. මම මේ ලබාගත්තේ මගේ මහන්සියේ සහ කැපකිරීම්වල ප්‍රතිඵලයයි.

කවුරුත් කතා කළේ නැහැ - ඒත් දිවයින මහගෙදරින් මා දිහා බැලුවා
කවුරුත් කතා කළේ නැහැ - ඒත් දිවයින මහගෙදරින් මා දිහා බැලුවා

ඔබ ජාත්‍යන්තර වශයෙන් කිහිප වතාවකම ඇගයීමට ලක් වූ සුවිශේෂී කලාකරුවෙක් විදියට ලංකාව තුළ ඔබට ලැබුණු ඇගයීම් ගැනත් කතා කරමු.

මට සම්මානය ලැබුණේ නොවැම්බර් 14 වැනිදා. අද “දිවයින” පත්තරෙන් මේ කතා කරපු එකත් මට ලොකු සතුටක්. මොකද මේ වෙනකම් එක පත්තරේකින්වත් මට කතා කළේ නැහැ. එක ටීවී චැනල් එකකින්වත් මට කතා කළේ නැහැ. ඒ කාලේ ජනාධිපති සම්මානයක් ගත්තා කිව්වම මුළු රටේම පත්තරවලට සහ අනිකුත් මාධ්‍යවලට ඒක ලොකු ප්‍රවෘත්තියක්. මට ඒක කළේ නැහැ. හැබැයි මට ඒක වැඩකුත් නැහැ. මොකද මම කවුද කියලා අධ්‍යක්ෂකවරු දන්නවා. හැබැයි වෙන කෙනෙක් සම්මානය ලබා ගත්තා නම් මුල් පිටුවල නම දාලා ෆොටෝ එක දාලා තමයි පළවෙන්නේ. නමුත් මට ඒ කිසි ඇගයීමක් කළේ නෑ. කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැහැ. ඒත් දිවයින මහගෙදරින්ම මා දිහා බැලුවා. ඒ ගැන සතුටුයි. මට මෙහෙම කරා නම් අනෙක් ළමයින්ට කොහොම කරයිද? මම ඔය කිසිම මාධ්‍යයකට බයත් නැහැ. මොකද මම බුදුදහම අදහන කෙනෙක්.”

කලා ක්ෂේත්‍රයේ මේ පැමිණි දශක හතරක ගමන් මග ගැනත් කතා කරමු.

මට ලැබුණු දේවල්වලට විතරයි මම සතුටු වෙන්නේ. මට නොලැබුණු පොඩි පොඩි දේවල් ඇති. ඒවා ගැන මම හොයන්නෙත් නැහැ. මට ලැබුණු දේවල් ගැන හිතලා මම හරිම සතුටින් ජීවත් වෙනවා. මමත් දිවයින පත්තරේ අවුරුදු පහළොවක් සේවය කළා. මම සෝදුපත් කියවන්නෙක් විදිහටයි වැඩ කළේ. සෝදුපත් කියවන්නෙක් වුණාම මට සෑම අංශයක් ගැනම කියවන්න සිදුවුණා. අන්න එහෙම බොහෝ දේ කියවලා දැනුම අරගෙන තමයි මම “ද නිව්ස්පේපර්” චිත්‍රපටයත් කළේ. ඉතින් මගේ ජීවිත කාලේ දිවයින පත්තරේ සෝදුපත් කියවන්නෙක් වශයෙන් මම රැකියාව කරපු එක තරම් වටිනාකමක් තවත් නැහැ. මාව බහුශ්‍රැත පුද්ගලයෙක් බවට පත් කළාට මම අදටත් දිවයින පුවත්පතට ගෞරව කරනවා.

කවුරුත් කතා කළේ නැහැ - ඒත් දිවයින මහගෙදරින් මා දිහා බැලුවා

අද වන විට සිනමාවට අත්වී ඇති ඉරණම සහ සිනමාව නඟාසිටුවීමට ඔබට යෝජනාවක් ඉදිරිපත් කරන්න කිව්වොත්?

මේ ඉරණම අත් වෙනවා කියලා කලාවෙන් අපි කල්තියාම කිව්වා. විශේෂයෙන්ම වේදිකා නාට්‍යවලින් කිව්වා. මම දැන් දේශපාලනඥයින්ට බනින එක නවත්තලා තියෙන්නෙ. දේශපාලනඥයින්ට කොච්චර බැන්නත් දැනෙන්නෙ නැහැ, ඇහෙන්නෙ නැහැ. ආලෝක වර්ෂ දස දහස් ගණනක් යනවා ඒ අයට අපට උත්තරයක් දෙන්න. ඒ නිසා අපි කෙළින්ම ජනතාවටමයි ආමන්ත්‍රණය කරන්නේ. දැන් අපෙන් අහනවා මොකද කරන්නේ කියලා. මේ සිනමාව විනාශවෙලා තියෙන කාරණය ගැන නම් කතා කරන්න එපා. අද කොච්චර සිනමා ශාලා වහලා දාලා තියනවද? ඡන්ද කාලෙට විතරක් කලාකරුවෝ ස්ටේජ් නග්ගන ආණ්ඩු තමයි දැන් තියෙන්නේ. මම යෝජනාවක් කළා ලංකාවේ සුපිරි වෙළෙඳසල්වල උඩුමහලක් හදලා සිනමා ශාලාවන් හදන්න පුළුවන් කියලා. එතකොට සිනමා ශාලාවට එන ප්‍රේක්ෂකයෝ එළියට යනකොට ඒ අය ඒ සුපර්මාර්කට් එකෙන් නේ බඩු අරන් යන්නේ. වෙන වෙන තැන්වලට යන්නෙත් නැහැ එතකොට. ඒක ඒ අයටත් ලාබයි. එතකොට අපේ සිනමාවත් රැකෙනවා. අපි මේ යෝජනාව රටේ හිටපු ජනාධිපතිවරුන්ට යෝජනා කළා. නමුත් ඒ අයට මුල්තැන වුණේ හොරකම ම විතරයි. මේ යෝජනා වැඩක් වුණේ නැහැ. ඉතිං අපේ කලාව හදන්නෙ මනුෂ්‍යයෝ මිසක් දේශපාලනය නෙවෙයි.

  • පාරමී කෞෂිකා
කවුරුත් කතා කළේ නැහැ - ඒත් දිවයින මහගෙදරින් මා දිහා බැලුවා
advertistmentadvertistment
advertistmentadvertistment