දීමනා ඉල්ලා විභාග කාර්ය මණ්ඩලය 29 දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක

65

විභාග දෙපාර්තමේන්තුවේ විභාග කාර්ය මණ්ඩලයට ගෙවීමට නියමිත විභාග දීමනා වසර කිහිපයක සිට එම දෙපාර්තමේන්තුවේ මුදල් අංශය මගින් නොගෙවීම නිසා ලබන බ්‍රහස්පතින්දා (29දා) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට එම කාර්ය මණ්ඩලය තීරණය කර ඇත. වෘත්තීය ක්‍රියාමාර්ග ගතහොත් විභාග කිහිපයක් අවලංගු වීමේ අවදානමක් ද පවතී.

2021 වසරේ සිට විභාග දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් රජයේ විභාග 200ක් පමණ පවත්වා ඇති බවත් ඊට අදාළ ගෙවීම් නිසි ලෙස සිදු නොකිරීම නිසා ඊයේ (26දා) දහවල් 12.00 සිට 1.00 දක්වා විරෝධතාවක නිරත වූ බවත් එහි උසස් නිලධාරියෙක් පැවසීය.

රජය මගින් විභාග කාර්ය මණ්ඩලයට ගෙවීම සඳහා මුදල් ලබාදී තිබියදී එම මුදල් නිසි ලෙස නොගෙවන්නේ දෙපාර්තමේන්තුවේ මුදල් අංශයේ උසස් නිලධාරීන් දෙදෙනකුගේ මැදිහත්වීම නිසා බවද එම නිලධාරියා කීය.

විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ 650ක පමණ පිරිසක් සිටින බවත්, එම කාර්ය මණ්ඩලයට ගෙවීම් සිදුකිරීම තවදුරටත් ප්‍රමාද කළහොත් බ්‍රහස්පතින්දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුවන බවත් එසේ වුවහොත් දහම් පාසල් විභාගය ඇතුළු විභාග කිහිපයක් අවලංගුවීමේ අවදානමක් ඇතිවිය හැකි බවත් ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment