සීඅයිඩීයට ප්‍රකාශයක් දී යළි ආ නවක වධ සිද්ධියකට සැක – පේරා සිසුවෙක් එල්ලී මියයෑමට තැත් කරලා

92

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවකු නේවාසිකාගාරයේදී ගෙල වැලලාගෙන මියයෑමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය පොලිසිය ඒකාබද්ධව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙයට මාස හයකට පමණ ඉහත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිරිසකට අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන සහිත වීඩියෝ සහ ඡායාරූප යොමුකර ඔවුන් නවක වධයට ලක්කළ බව කියන සිද්ධියක සැකකරුවකු වන මෙම සිසුවා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නවක වධය ලබාදීමේ සිද්ධියට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ඔහු පසුගිය 07 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ. මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ සේනක බිබිලේ නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිට ඇත. ඔහු සමඟ කාමරයේ නවාතැන් ගෙන සිටි අනෙක් සිසුවා 07 දා රාත්‍රි 11.00 ට පමණ ආහාර ගෙන ඒමට කාමරයෙන් පිටතට ගොස් තිබේ. යළි පැමිණි අවස්ථාවේ මිතුරා කාමරයේ දොර විවෘත නොකළ බැවින් ජනේලයකින් කාමරය ඇතුළත බැලීමේදී මිතුරා බිම වැටී සිටිනු දුටු බවත් තවත් සිසු පිරිසකගේ සහාය ඇතිව කාමරයට ඇතුළු වී ඔහු රෝහල්ගත කිරීමට පියවර ගත් බවත් සියදිවි හානිකර ගැනීමට තැත් කළ සිසුවා සමඟ කාමරයේ සිටි අනෙක් සිසුවා පොලිසියට පවසා ඇත. සියදිවි හානිකර ගැනීමට තැත්කළ සිසුවා මේ වනවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොවන නිසා සාමාන්‍ය වාට්ටුවකට යොමු කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබේ.

වට්ස් ඇප් මගින් නවක සිසු පිරිසකට අසභ්‍ය වීඩියෝ සහ ඡායාරූප යොමුකර ඒවා සම්බන්ධයෙන් අදහස් දක්වන ලෙස ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් ප්‍රකාශ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මීට මාස හයකට පමණ පෙර විශ්වවිද්‍යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි. ඒ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබූ අතර එහිදී ඊට සම්බන්ධ බවට සැක කළ සිසුන් තිදෙනකුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබිණි. එම සිසුන් තිදෙනා අතරින් එක් අයකු වන ගෙල වැලලා ගැනීමට තැත්කළ සිසුවා පසුගිය 07 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට පහර දී ජංගම දුරකථනය ද ඔවුන් ගේ භාරයට ගෙන තමාගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළ බවත් ඒ සම්බන්ධයෙන් සිත් තැවුලට පත්ව තමන් සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ බවත් සිසුවා පොලිසියට පවසා තිබේ. වට්ස්ඇප් ඔස්සේ නවක වධය ලබාදීමේ සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යටතට ගැනීමෙන් පසු එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණ ඇත. ඒ සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම් දැඩි විරෝධය පළකර තිබූ අතර මෙම සිසුවා දිවි හානිකර ගැනීමට තැත් කිරීම සහ ඊට සමගාමීව ශිෂ්‍ය සංගම් දක්වන විරෝධය ඉහළ යෑම අතර සම්බන්ධතාවක් තිබේද යන්න සම්බන්ධව ද සැක පහළ වී තිබේ.
සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment