ක්ලිෆර්ඩ් කුසලාන පොලිසියට

106

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරුණු “ක්ලිෆර්ඩ් කුසලාන” අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ ශූරතාව වසර 33 කට පසුව දිනා ගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

එකී අනුශූරතා කුසලානයෙන් සෑහීමට පත් වන්නට හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට සිදු විය.

පොලිස් සමාජය සහ හැව්ලොක්ස් සමාජය අතර ඉකුත් සෙනසුරාදා (09දා) සවස කොළඹ රීඩ් මාවත තුරඟ තරග පිටියේ දී පැවති තීරණාත්මක අවසාන තරගය ලකුණු 19 – 12 ක් ලෙස ජය ගනිමින් “ක්ලිෆර්ඩ් කුසලාන” යට හිමිකම් කියන්නට පොලිස් ක්‍රීඩකයෝ ඒ අනුව සමත් වූහ.

ජයග්‍රාහී පොලිසිය ගෝල් දිනුම් 02 ක් සහ උත්සාහක දිනුම් 02 ක් ආශ්‍රිතව තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කර ගත් අතර පරාජිත හැව්ලොක්ස් පිලට සටහන් කර ගැනීමට හැකියාව ලැබුණේ ගෝල් දිනුමක් සහ උත්සාහක දිනුමක් පමණි.

ක්ලිෆර්ඩ් කුසලාන පොලිසියට

මෙම තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 05 – 00 ක් ලෙස පෙරමුණ ගත් පොලිසිය දෙවන භාගය තුළ තවත් ලකුණු 14 ක් රැස් කර ගනිමින් ජයග්‍රාහී අවසානයක් සටහන් කර ගත්තේය. හැව්ලොක්ස් සමාජයේ සියලුම ලකුණු දෙවන භාගයේ දී සටහන් විය.

පොලිස් ජයග්‍රහණය සනාථ කළ හිරන්ත පෙරේරා 01, සමීර ජයසිංහ 01 සහ ශානක හරිස්චන්ද්‍ර 01 බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප්‍රවර්තන දෙකක් සාර්ථක කිරීමට ප්‍රින්ස් චාමර (01) සහ ෂේන් ග්ලෙවින් (01) සමත් වූහ.

හැව්ලොක්ස් පිලේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට සමත් වූ ජයතු රාජරත්න (01) සහ මූෂීන් ෆලීල් (01) බැගින් උත්සාහක දිනුම් ලබා ගත් අතර එහි එක් ප්‍රවර්තනයක් ප්‍රතිවාදී ගෝල් කණු අතුරින් නිවැරදිව එල්ල කිරීමට සැමුවෙල් මදුවන්ත ට හැකි විය.

මෙම තරගයේ ප්‍රධාන විනිශ්චයකරු ලෙස ඉෂංක අබේකෝන් මහතා කටයුතු කළේය.

අවසන් පූර්ව වටයේ දී පොලිසිය හමුවේ ලීග් ශූරයන් වූ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. පිල 40 -‘16 කින් ද හැව්ලොක්ස් පිල හමුවේ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. පිල ලකුණු 37 – 27 කින් ද පරාජය ලැබීය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment