අකුරණ නගරය හත් වන වරටත් ගං වතුරට යටවෙයි

86

නිවාස, ව්‍යාපාරික ආයතන හා සෙසු ගොඩනැගිලි පන්සියයකට පමණ අලාභ හානි

මේ දිනවල ඇද හැලෙන අධික වැසි හේතුවෙන් අකුරණ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශයට මෑත ඉතිහාසයේ සිදුවූ වැඩිම ගංවතුර හානිය පසුගිය 07දා රාත්‍රී දී වාර්තා විය.

නිවාස, ව්‍යාපාරික ආයතන හා සෙසු ගොඩනැගිලි පන්සියයක් පමණ මෙම ගංවතුරට හසුවූ අතර අකුරණ නගරයේ ඇතැම් ස්ථාන අඩි 11ක් පමණ ජලයෙන් යටවී පැවතින.

අකුරණ නගරය හත් වන වරටත් ගං වතුරට යටවෙයි

ඉකුත් මාස 04ක කාලයක් තුළදී අකුරණ නගරය අවස්ථා හතකදී ගං වතුරට හසුවූ අතර මහනුවර – යාපනය ඒ- 9 ප්‍රධාන මාර්ගයට සමාන්තරව අලවතුගොඩ බලකඩුව සිට කටුගස්තොටින් මහවැලි ගඟට ගලා බසින පිඟා ඔය අවහිරවීම නිසා මෙම ගංවතුර තත්ත්වය ඇති වී පැවතුණි.

ජල ගැලීම් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ලලිතා දිසානායක මහත්මිය ද නගරයේ ක්ෂේත්‍ර නිරීක්ෂණයක නිරත වූ අතර අකුරණ නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව අක්‍රමවත් භූමි පරිහරණ රටාව යැයි නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ඇය සඳහන් කළාය. වසර විස්සක පමණ කාලයක් මෙම ඇල රක්ෂිතයේ වෙනස්වීම් අධ්‍යනයන කර ඇති මහාචාර්යවරිය, ගං ඉවුරු තුළ සිදුවූ අක්‍රමවත් ඉදිකිරීම් මෙන්ම කුඹුරු වගුරු බිම් ආදිය ගොඩ කිරීම ද මෙම තත්ත්වය උද්ගතවීමට එක් හේතුවක් වී ඇතැයි ද පෙන්වා දුන්නාය.

පිඟා ඔය මත කොන්ක්‍රීට් කණු ඉදි කොට ඒ මත ඉදිකොට ඇති දැවැන්ත ගොඩනැගිලි හේතුවෙන් ජලය ගලා යාටම බාධා වන බවත් ජලයේ ගසා එන ගස් හා වෙනත් ද්‍රව්‍ය ආදිය සිරවීමෙන් ජල බැස්සමට බාධා මතුවී ගංවතුර සිදුවන බව ද ඇය පෙන්වා දුන්නාය.

අකුරණ නගරයේ ආපදා තත්ත්වය පිළිබදව නිරීක්ෂණයට එක් වෙමින් මේ පිළිබදව කරුණු පැහැදිලි කළ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා සඳහන් කළේ, ජලය ගලායාමට බාධාවන ප්‍රධාන පාලම් කිහිපයක් කපා ඉවත් කිරීමට සැලසුම් කොට ඇති බවත්, මහජනයා සමඟ සාකච්ඡා කොට ජලය බැස යාමට අවහිර වී ඇති ප්‍රධාන ඉදිකිරීම් කිහිපයක් ඉවත් කිරීමට ඉදිරියේදී සැලසුම් කරන බව ද ඒ මහතා කීවේය.
ජානක සම්පත් බණ්ඩාර ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment