උපයෝගීතා කොමිසම කියූ දේ කළා නම් විදුලිය බිඳ වැටීමක් වන්නේ නෑ

94

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිය බිඳ වැටීම් වැළැක්වීම 2022 කළ නිර්දේශ ක්‍රියාත්මක කළානම් විදුලිය බිඳ වැටීම් සිදුවන්නේ නැතැයි මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

පෙරේදා (9 දා) පැය 5 ක පමණ කාලයක් විදුලි බිඳ වැටීම හේතුවෙන් රුපියල් කෝටි 600 කට අධික සෘජු ආර්ථික හානියක් සිදුවී ඇතැයිද එම මුදල විදුලිබල ඇමැතිවරයා සහ ලේකම්වරයා ගෙවිය යුතු බවද රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

2021 දෙසැම්බර් 3 වැනි දින මේ ආකාරයටම රට පුරා විදුලිය බිඳ වැටුණා. එදා ගිගා වොට් පැය 10 ක විදුලි ප්‍රමාණයක ඉල්ලුම සපුරාලන්න බැරිවුණා. එහි ආර්ථික හානිය රුපියල් කෝටි 1500 ක් පමණ වුණා. පෙරේදා රාත්‍රි බිඳ වැටීම පැය කිපයකින් යථා තත්ත්වයට පත් කරන්න හැකියාව ලැබුණත් එහිදී ද රුපියල් කෝටි 600 කට අධික ආර්ථික හානියක් සිදුවුණා. තවදුරටත් හානිය සිදුවෙමින් පවතිනවා. මන්ද මේ වන විට නොරොච්චෝලේ බලාගාරය අක්‍රිය වෙලා.

ඒ වෙනුවට ඉන්ධන බලාගාරවලින් විදුලිය ගන්න සිදුවෙනවා නම් ඒකකයට රුපියල් 60 කට අධික පාඩුවක් සිදුවෙනවා. ඒ පාඩුවද එක් කළ විට ඊයේ විදුලිය බිඳ වැට්ටවීමේ පාඩුව රුපියල් කෝටි 1000 කට ආසන්න වෙන්න පුළුවන්. මම මෙහිදී බිඳ වැට්ටවීම ලෙස අවධාරණය කළේ මෙය වළක්වා ගත හැකිව තිබූ තත්ත්වයක් නිසා. මන්ද 2021 විදුලිය බිඳ වැටීමෙන් පසුව ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මම ඇතුළු එවකට කොමිෂන් සභාවේ සාමාජිකයන් විසින් පුළුල් විමර්ශනයක් කළා. ප්‍රසිද්ධ විභාගයක් ද පවත්වා අපි විසින් නිකුත් කළ නියෝගය මගින් විදුලිබල අමාත්‍යාංශයට හා ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ 7 ක් ඉදිරිපත් කළා. විදුලිබල මණ්ඩලයේ විදුලි ආරක්‍ෂණ මූලධර්ම හා ආරක්‍ෂණ ප්‍රමිති ක්‍රියාමාර්ග යාවත්කාලීන කළ යුතු බව අප කළ ප්‍රධාන නිර්දේශයක්. නමුත් අද වන විට එය ඉටුනොකළ බව දැන් පැහැදිලියි. ඒ වගේම එදා විමර්ශනයේදී අනාවරණය වුණා ජාලය තුළ දෝෂ සහිත රැහැන් ඇදීමක් හා භූගත කිරීම්වල දුර්වලතා පවතින බව. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි එදා ලංවිමට නියෝග කළා.

ඊට අමතරව ආරක්‍ෂණ පද්ධතිවල වගකීම් භාර දීම සහ අලුත්වැඩියා හා නඩත්තුව සම්බන්ධයෙන් පටිපාටි හඳුන්වාදීම. කොත්මලේ – බියගම සම්ප්‍රේෂණ රැහැන වැඩිදියුණු කිරීම මෙන්ම රැහැනක් අකර්මන්‍ය වීමකදී නොරොච්චෝලේ බලාගාරයද අකර්මන්‍ය වීම වැළැක්විම සඳහා කළ යුතු තාක්‍ෂණික වැඩිදියුණු කිරිම් සම්බන්ධයෙන් සහ විදුලිය බිඳ වැටීමකින් පසුව කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් අපි විදුලිබල අමාත්‍යවරයාට හා ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළා. මම අභියෝග කරනවා මේ නියෝග ක්‍රියාත්මක කළ බවට තහවුරු කරන ලෙසට.

මේ සත්වැදෑරුම් නිර්දේශ ක්‍රියාත්මක කළා නම් අපේ විදුලිබල පද්ධතිය ආරක්‍ෂිතයි. නමුත් මේ දැන් ද පවතින්නේ අනාරක්‍ෂිත තත්ත්වයක. මේ අනාරක්‍ෂිත තත්ත්වයට වගකිවයුත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ කළමනාකාරීත්වය පමණක් නොවේ. විදුලිබල අමාත්‍යාවරයා මෙන්ම විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාද මීට වගකිව යුතුයි. මොවුන් පසුගිය කාලය තුළ කළේ ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදියුණු කරනවාට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නැටීමයි. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලය කෑලි කඩා විකිණීම සඳහා පිඹුරුපත් සැකසීමයි. වර්තමාන ලංකා විදුලිබල මණ්ඩල පනත යටතේ අමාත්‍යවරයාට පැවරී ඇත්තේ සීමිත වගකීමක්. ඒ වගකීම ඉටුකරන්නට බැරි අමාත්‍යවරයා දැන් උත්සාහ දරන්නේ ලංවිම සමාගම් 12 ක් සහ ඔහු යටතේ ප්‍රතිසංස්කරණ කාර්යාලයක් මෙන්ම උපදේශක සභාවක් වැනි ආයතන 20 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවා විශාල වගකීම් රාශියක් ඔහු යටතට ගන්න. මෙවැනි දුර්වල ඇමැතිවරයෙකුට විදුලිබල කර්මාන්තයේ ඒකාධිපති බලතල දුන්නොත් රටේ අනාගතයම අඳුරු වන බව ඒකාන්තයි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment