කාන්තා ක්‍රිකට් කිරුළ ගුවන් හමුදාවට – විශේෂ සම්මාන 3 ක් නාවික හමුදාවට

80

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ කාන්තා ප්‍රධානතම ක්‍රීඩා සමාජ ඕවර් 50 ආරාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ දිනා ගත්හ.

අවසන් මහා තරගයේදී යුද හමුදා කණ්ඩායමට එරෙහිව ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ ලකුණු 11 ක ජයග්‍රහණයක් ලබමින් ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ එම දස්කම් ප්‍රදර්ශනය කළහ.

යුද හමුදා කාන්තා පිල ඕවර් 50කදී කඩුලු 8ක් දැවී ලකුණු 154ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම හඹාගිය ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරද්දී ඕවර් 38කදී කඩුලු 3කට ලකුණු 110ක් ලබා සිටියහ.

මෙවර තරගාවලියේ විශේෂ සම්මාන තුනම ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ ක්‍රීඩිකාවන් තිදෙනකු දිනා ගැනීම විශේෂත්වයකි. දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය තරග 5කදි ශතකයක් හා අර්ධ ශතක 2ක් සමඟ ලකුණු 250ක් ලැබූ නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ හංසිමා කරුණාරත්නට, දක්ෂතම පිතිකාරිණියට හිමි සම්මානය තරග 5කදී ශතකයක් සමඟ ලකුණු 196ක් ලැබූ නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ සත්‍යා සංදීපනීට හා දක්ෂතම පන්දු යවන්නියට හිමි සම්මානය තරග 5කදී ලකුණු 60කට කඩුලු 17ක් බිඳහෙලූ නාවික හමුදා කාන්තා ක්‍රිකට් පිලේ ඉනෝකා රණවීර දිනා ගත්හ.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා පිල කඩුලු 8ක් දැවී ලකුණු 154යි (ඕවර් 50)

රොෂිනී පෙරේරා 23, නිලක්ෂි ද සිල්වා 72, කුගන්ධිකා කුමාරි 10, අචිනි කුලසූරිය 13, අතිරේක 12 ( ඉනෝෂි ප්‍රනාන්දු 25/2, ඕෂධී රණසිංහ 20/3, මල්ෂා ෂෙහානි 23/2, තාරුකා ෂෙහානි 39/1)

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පිල කඩුලු 3ක් දැවී ලකුණු 110යි (ඕවර් 38)

චමරි පොල්ගම්පොල 26, සඳුනි අබේවික්‍රම නොදැවී 31, ඕෂධී රණසිංහ නොදැවී 34 (නිමේෂා මධුෂානි 14/1, නිලුකා කුෂාන්ති 19/1)

advertistmentadvertistment
advertistmentadvertistment