දේශගුණයේ උණුසුම් පීඩාව

588

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතින්නේ ය. මේ දේශගුණික විපර්යාසය දැන් මිනිස් ජීවිතයේ සෑම අංශයකටම තර්ජනයක් වී තිබේ.‘දේශගුණය‘ යනුවෙන් හැඳින්වෙන්නේ වසර ගණනාවක් පුරාවට යම් ප්‍රදේශයක පෙන්වන සාමාන්‍ය කාලගුණය යි. මේ සාමාන්‍ය තත්ත්වයන් වෙනස්වීම ‘දේශගුණ විපර්යාසය‘ යනුවෙන් හැඳින්වේ. මේ නිසා මිනිසාට වන බලපෑමද වැඩිවෙමින් තිබේ. ලොව රටවල් අතුරින් අධික රශ්මියට නිරාවරණය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයින් විශාල වශයෙන් මියයන බව හෙළිව ඇත. එරට නිල දත්ත අනුව 1992ත් 2015ත් අතර කාලයේදී පුද්ගලයින් 22,000ක් අධික උෂ්ණත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ. නමුත් මෙම ගණන තවත් වැඩිවිය හැකි බව පැවසෙයි. සෙල්සියස් අංශක 40කට වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවලින් ද වාර්තා වන බව මාධ්‍ය වාර්තා කියයි. එය අපට නම් සිතා ගත නොහැකිය. පාකිස්තාන වැසියන්ද උණුසුම නිසා පීඩා විඳින්නේ ආර්ථික අර්බුදයේ ප්‍රහාරයත් සමගය.

වර්තමාන ලෝකය 19 වැනි සියවසේ දී තිබුණාට වඩා සෙල්සියස් අංශක 1.2කින් පමණ උණුසුම් ය. එසේම වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය එදාට සාපේක්ෂව 50%කින් ඉහළ ගොස් ඇත. දේශගුණ විපර්යාසයන්ට විසඳුම් සෙවීමේ අරමුණින් ලොව පුරා රටවල් පැළ සිටුවීමේ මහා ව්‍යාපෘති දියත් කරමින් සිටිති. ඒ අතරම පරිසර කණ්ඩායම් ගණනාවක් විසින් නගරබද කුඩා කැලෑ (ක්ෂුද්‍ර වනාන්තර) රෝපණය කරනු ලබයි. ඒ සඳහා නෙදර්ලන්තයේ රෝපණය කෙරෙන එවැනි කුඩා වන රොද හොඳම උදාහරණයකි. ජර්මන් වොච් සංවිධානයේ 2020 ගෝලීය දේශගුණික අවදානම් දශකයට අනුව, දේශගුණික විපර්යාසවලට ගොදුරු වීමේ අවදානම සහිත රටවල් අතර, හයවන ස්ථානයට ශ්‍රී ලංකාව පත්විය. එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය ද සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව දූපත් රාජ්‍යයක් ලෙස මුහුදු මට්ටම ඉහළයෑමේ තර්ජනයටත්, අධික වැසි, ගංවතුර, නායයාම්, වියළි කාලගුණය මෙන්ම අනපේක්ෂිත ස්වාභාවික විපත් අවදානමක් ඇති රටක් බවයි. මේ දිනවල දැනෙන අධික උණුසුම දරා ගැනීමටද අපහසුය. එනිසාම එප්පාවලින් අධික උණුසුම නිසා මියගිය දෙදෙනෙකුගේ මරණ ගැනද වාර්තා වෙයි. මෙය බරපතළ තත්ත්වයකි. පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ප්‍රකාශ කර තිබිණි. එතුමා පවසන්නේ මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි බවය. මානසික රෝගවලට බෙහෙත් බොන පුද්ගලයින්ගේ පිපාසය අඩු බවත් ඒ නිසා ඔවුන් විජලනයට ලක් විය හැකි බවත් රූබන් මහතා පවසයි. ඇත්තෙන්ම මෙය අවධානයට ලක්විය යුතු කාරණාවකි. එසේම පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගැබිනි මව්වරුන්ට වැඩි බලපෑමක් එල්ලවිය හැකි බව වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබේ. අලුත් අවුරුදු දිනයේ පටන් පැවතෙන උණුසුම් කාලගුණික තත්ත්වය හුමවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටී. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, නිරිත දිග මෝසම සක්‍රීය වනතෙක් මෙම තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවය. අධික උෂ්ණත්වය නිසා ඇති වන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විශේෂ දැනුවත් කිරීමක් සිදු කළ අතර ඒ උපදෙස් වන්නේ පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර හැකි තාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්) පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම. පෙරවරු 11.00 සිට පස්වරු 3.00 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරන කාලය අවම කිරීම හා හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම්වලට යොමු වීමයි. කවරක් නමුත් රටම ගිනි වද්දමින් පැතිර යන අධික උණුසුම රටේ ජනතාවට මරණයේ සීතල දෑත් දිගුකර තිබෙන බව පෙනේ. එනිසා මේ උණුසුම් පීඩාවෙන් ගැලවීමට හැකි උපරිමය සිදු කිරීම සැමගේ වගකීම වේ.

advertistmentadvertistment
advertistmentadvertistment