අනාරක්ෂිත ළිඳට දරුවකු බිලිවේ

35

මීට පෙරත් දෙදෙනෙක් ළිඳට බිලිවෙලා

ගම්පොළ නගරයේ අඹගමුව වීදියේ ඇති පැරණි අනාරක්ෂිත ළිඳට වැටී වයස අවුරුදු නමයක දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පොළ පොලිසිය පවසයි. මෑත කාලය තුළදී මෙම ළිඳට වැටී මියගිය තුන්වැන්නා මෙම දරුවාය. මෙයට පෙර තවත් කුඩා දරුවකු හා කාන්තාවක එසේ මියගොස් තිබිණ.

මෙම අනතුරින් මරුමුවට පත්ව ඇත්තේ කොළඹ ටොරින්ටන් ජාවත්ත පදිංචි මොහොමඩ් සියාම් මොහොමඩ් ඊබ්‍රාහිම් නමැති දරුවායි. මෙම දරුවාගේ මවගේ දෙමාපියන් ගම්පොළ අඹගමුව වීදියේ මෙම පතහා ළිඳ අසල පදිංචිකරුවන් වන අතර මෙවර රාමසාන් අවුරුද්ද වෙනුවෙන් ඔවුන් සිය මහ ගෙදරට පැමිණ තිබිණ. මෙම දරුවාගේ මව පියා හා සහෝදරයන් දෙදෙනකු පසුගිය 11දා මෙම නිවසට පැමිණ තිබූ අතර ඔවුන් නැවත කොළඹ යෑමට සූදානමින් සිට ඇත.දහවල් දරුවා එළියේ සෙල්ලම් කරමින් සිටියදී මව අසල වෙළඳසැලකට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ පියා නිවසේ නිදියමින් සිට ඇත. මව නැවත පැමිණ බලද්දී දරුවා දකින්නට නොලැබුණු නිසා අවට වාසීන් සමග සොයා බලා තිබේ. මේ අතර තරුණයන් පිරිසක් නිවෙසට මීටර් 25ක් දුරින් ඇති මෙම පතහා ළිඳට බැස බලද්දි දරුවාගේ සිරුර හමු වී ඇති අතර ඒ සමග ගම්පොළ රෝහලට රැගෙන ගියද ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත්ව තිබිණ. වසර 150කට අධික කාලයක් ගම්පොළ නගරයේ බොහෝ වැසියන් දිය නෑමට භාවිතා කර ඇති මෙම විශාල ළිඳ දැනට වසර හතක පමණ සිට ගම්පොල නගර සභාව මගින් ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා එය අභාවයට පත්ව තිබේ.ගැහැනු පිරිමි දෙපාර්ශවයටම වෙන වෙනම දිය නෑමට සකස් කර ඇති මෙය ස්වභාවික උල්පතකින් සමන්විතය. මෙහි ගැඹුර අඩි නමයක් පමණ වේ.

මෙම ළිඳ වසා දමා කිසියම් පිරිසක් එම ඉඩම් කොටස අල්ලා ගැනීමට උත්සාහ කරන අතර බහුතර පිරිසක් මෙම ළිඳ ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස ඉල්ලා සිටිති. පොලිසිය පවසා සිටියේ ළිඳ ප්‍රතිසංස්කරණය කරනතුරු එහි දොරටුව වසා දමන ලෙසයි. ඒ අනුව එම දොරටුවට තහඩු ගසා වසා දැමිණ. දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිතය.

ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අසංක බණ්ඩාර ගුණතිලක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ, ගම්පොළ මූලස්ථාන පොලිස පරීක්ෂක ලක්සිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පොළ අපරාධ ස්ථානීය පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක ප්‍රියන්ත බණ්ඩාර පොලිස් සැරයන්වරු වන 20191හේරත් 71950 කපිල 77177 අනුරුද්ධ යන නිලධාරීහු ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පැවැත්වූහ

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment