ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ…..

169
නුවන් දැන් අප අතර නැත. ඉපදෙන සියල්ලන්ටම නියත දහමට ඔහුට ද අවනත වන්නට විය. මේ හිත හොඳ මිනිසාගේ වියෝව නිසා ආදරණීය බිරිඳ රොමොනා, දියණිය දුලාරි, පුතු ගයාන් මෙන්ම සහෘද කලාකරුවන්, ඔහුගේ ගී හඬට, ගීතවලට පෙම්බැඳි රසිකයන්ගේ නෙත්වලට ඉණූ කඳුළු තවම වියැකී නැත. නුවන්ගේ වියෝවෙන් මේ අයගේ නුවන් තවමත් කඳුළින් තෙත්ව ඇත. හදවත් වලින් නැඟුණු සෝ සුසුම් තවමත් වා තලයේ ඇත.

පාසල් වියේ සිට හින්දි භාෂාව හැදෑරූ නුවන් සංගීත ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ හැත්තෑව දශකයේදීය. ඒ ප්‍රසංග වේදිකාවල හින්දි ගීත ගායනා කරමිනි. ඒ වනවිට ඔහු ගුවන්යානා ඉංජිනේරු යාන්ත්‍රික ශිල්පියකු ලෙස සේවය කරමින් සිටියේය. සංගීතයට ඇති ආදරය නිසාම දෙමවුපියන්ගේ ද විරෝධතාව මැද හොඳ වැටුපක් ලද එම රැකියාවෙන් ඉවත්වන නුවන්” ගීත ගායනයට පිවිස රුපියල් සියයක්” දෙසීයක් වැනි සුළු මුදලක් හම්බ කරමින් සිය තුරණු විය සංගීතය උදෙසා කැප කරන්නේය. ඔහු තමන්ගේම කියා ගීයක් ගයන්නේ ක්‍ෂේත්‍රයට පැමිණ වසර පහකට පසුවය. ඒ එක්දහස් නවසිය හැත්තෑ අට වසරේදීය. එවකට පණ්ඩිත් අමරදේවයන්ගේ සිට දැවැන්ත ගායකයන්ට ගීත ලියමින් සිටි ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශ” මේ ආධුනික ගායකයාට පළමු සිංහල ගීය ලියා දෙන්නේය. තනුව නුවන්ගේමය.

ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ…..

පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ගං තෙරේ
සඳ සීතලේ පාළුවේ ළං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ..

ගැයූ ප්‍රථම ගීය පරම්පරා කීපයක් පුරා ජනප්‍රියත්වයේ පවතිනවා නම්… මේ වාසනාව හිමිව ඇත්තේ අපේ රටේ ගායකයන් අතළොස්සකටය. ඒ අය අතර නුවන් ගුණවර්ධන ද සිටී. සැකයක් නැත” නුවන්ගේ ප්‍රථම ගීය තවත් පරම්පරා කීපයක්ම හදවතින්ම රසවිඳින බවට නම් සැකයක් නැත.

‘මම ගීත ගායනයට එන කාලේ මේ ක්‍ෂේත්‍රයේ හිටියේ ගීත රජවරු. එච්. ආර්. ජෝතිපාල” මිල්ටන් මල්ලවාරච්චි” මිල්ටන් පෙරේරා” වික්ටර් රත්නායක” සනත් නන්දසිරි වැනි ශ්‍රේෂ්ඨයන්. ඒත් මම කවදාවත් ඔවුන්ගේ ගීත ගයන්න පෙලඹුනේ නැහැ. මගේම ගීයකින් තමයි රසිකයා අතරට ආවේ. යැයි නුවන් වරක් මීවිතට පැවැසූ ආකාරය සිහිපත් වේ.

ගැයූ පළමු ගීයෙන්ම ඔහුගේ දස්කම් හඳුනාගත් ගීත රචකයන් සහ තනු නිර්මාණකරුවන් නුවන්ට ගී නිර්මාණය කළේය. ආචාර්ය අජන්තා රණසිංහ ඔහුට මේ ගීය ලියා දෙන්නේ සරත් ද අල්විස්ගේ තනුවටය.

ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ…..

කඳුළින්ම ගැයූ පෙම් ගීයේ
ඇසුවා ඔයා සිනාසී සිනාසී
ඒ මා හද ගිනි ජාලාවෝ
ඔබ හිනැහුනි මා හැඬු වේලේ

ඇයි ඔබ මට පෙම් නොකළාදෝ
මේ දුක ඔබටත් නොදැනේදෝ

එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා සමග එක්ව සමූහ ගීයක් ගයමින් චිත්‍රපට ක්‍ෂේත්‍රයට පැමිණෙන නුවන්ට” තනිව සිනමා පසුබිම් ගායනයට අවස්ථාව ලැබෙන්නේ ජෝතිපාලයන් මියගිය පසුවය.

‘අභියෝගය. චිත්‍රපටයට ආචාර්ය අජන්තා රණසිංහගේ පදමාලාවට සහ සංගීතඥ සරත් වික්‍රමගේ තනු නිර්මාණයට නුවන් ගැයූ ගීය අදටත් ජනප්‍රියත්වයේ පවතී.

ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ…..

කිරි මුහුදු වෙරළේ නැළැවේ තරංගා
කාගේදො පිළිරූ මැවේවී
ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ

නුවන්ගේ එකම ආශාව වූයේ තම පුතු ගයාන් ද සංගීත ක්‍ෂේත්‍රයේ ඉහළ තැනකට ගෙන ඒමටය. ඒ සදහා පළමුව කළ යුත්තේ සංගීතය හැදෑරීම බව විශ්වාස කළ නුවන් පහ වසරේ සිට තම පුතාට පියානෝ වාදනය ඉගැන්වූයේ ජේ්‍යෂ්ඨ ගායිකා ක්‍රිස්ටීන් ගුණවර්ධන යටතේය. ගිටාර් වාදනයට සහ ශබ්ද ඉංජිනේරු අංශයට ද පුතු ගයාන් යොමු කළේය. ගයාන් ස්වතන්ත්‍ර ගීත ගයමින් තමන් ගිය අඩිපාරේ ගමන්කරන අයුරු දුටු නුවන් අප්‍රමාණ සතුටක් වින්දේය. දෙදෙනාම 2016 වසර අගදී තාත්තයි පුතයි නමින් ප්‍රසංගයක් ද ආරම්භ කළේය. ප්‍රසංගයට දෙස් විදෙස් රටවලින් ආරාධනා ලැබිණි.

රෑ දුටු සිහිනේ ඔබ රඟ දුන්නා
ගැයු ගැයු ගීතේ ඔව් ඔබ උන්නා.

නුවන් ගයන්නේ ඔහුටම අනන්‍ය වූ විලාසයකටය. ඒ හඩ තුළ ශෝකය මෙන්ම ආදරණීය බව ද සැඟව ඇත. මෙවන් හඬක් යළි බිහි නොවන බව නම් සක්සුදක් සේ විශ්වාසය.

ඔහු විසින්ම ලියා තනු රචනා කර ගයන තවත් ජනප්‍රිය ගීයකි” ‘මා….පැතූ ලෝකේ අද උදාවෙලා තුටින් පිරීලා.. ජීවත්ව ඉන්නා සුළු කාලය තුළ මිනිස් ගුණදම් රැකගන්නා ලෙසත් නාමය නොමියෙන්නේ එවිට බවත් ඔහු පවසයි.

ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ…..

සැබෑවකි” වියෝ වුවත් නුවන්ගේ නම නොමියේ. ඒ ඔහු ගුණවත් මිනිසකු වූ බැවිනි.

සුදු කළු භේද කිසිත් නෑ මං සලකන්නේ කාටත් ගීත ගයන්නේ
නැති බැරි දාට කවුද තනියට ළඟ ඉන්නේ
අසරණයෙක් බව දන්නේ…
කාසි කිසිත් නැත අප ගෙනියන්නේ
හොඳ නම සදා රැඳෙන්නේ

‘හැකියාව තිබුණට වැඩක් නැහැ හැදියාවක් නැත්නම්. නුවන් හැකියාවත්” හැදියාවත් දෙකම තිබූ ගායකයෙක්.. අවසන් බුහුමන් දැක්වීමට ආ ජ්‍යෙෂ්ඨ සංගීතඥ සරත් ද අල්විස් කළ ප්‍රකාශය නුවන් කා සමගත් ගතකළ සුහදශීලී ජීවිතයට සාක්ෂියකි.

“මේ සසර ගමන අතරමගදී කවදාක හෝ ඔබ අපට හමුවේවා.” නුවන් සමුගෙන යන මොහොතේ කදුළින් පිරි දෙනෙතින් එදෙස බලා සිටි ආදරණීය බිරිඳ” දුව සහ පුතාගේත්” සහෘද ශිල්පීන් මෙන්ම රසික කැළගේත් ප්‍රාර්ථනය වූ බව නිසැකය.

අජිත් අලහකෝන්
නිව්යෝර්ක්

advertistmentadvertistment
advertistmentadvertistment