ඩොලර් අර්බුදය නිසා වෛද්‍යවරුන් විශේෂඥ  පුහුණුවට යැවීම තාවකාලිකව අත්හිටුවයි

77

රට මුහුණ පා ඇති උග්‍ර විදේශ විනිමය අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාසික දීමනාවක් ගෙවීමේ පදනම යටතේ විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා මෙරට වෛද්‍යවරුන් විදේශීය රටවලට යැවීම තාවකාලිකව නතර කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

දැනටමත් විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා යෑමට අවශ්‍ය ගුවන් ප්‍රවේශපත්, වීසා ඇතුළු පහසුකම් සූදානම් කරගෙන සිටින වෛද්‍යවරුන් ඔවුන්ගේ වියදම් ඔවුන් විසින්ම දරා ගැනීමේ පදනම මත එම කාර්යය සඳහා මුදාහරින ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දී තිබේ.

මේ වන විට විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා විදෙස්ගත වී ඇති වෛද්‍යවරුන්ට අවශ්‍ය වියදම් හා දීමනා ගෙවීම පවා පවතින ඇමෙරිකානු ඩොලර් හිඟය හේතුවෙන් අමාත්‍යාංශයට අසීරු වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යවා ඇති ලිපියෙහි සඳහන් කර තිබේ.

කෙසේ වුවද විදෙස් රටවල විශේෂඥ වෛද්‍ය පුහුණුව ලැබීමේදී සිය වියදම් වෙනත් රැකියාවකින් උපයාගන්නා ආදායමක් මාර්ගයෙන් ආවරණය කර  ගැනීමේ පදනම මත එම පුහුණුව සඳහා විදෙස්ගත වීමට කැමති වෛද්‍යවරුන්ට අවශ්‍ය සහාය ලබා දෙන ලෙසද එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment