තොග හංගලා වැඩිපුර ගරන්න සීනි හිඟයක්

102

රජය මගින් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමත් සමග සීනි ආනයනකරුවන් හා තොග වෙළෙඳුන් තමන් සතු සීනි තොග සැඟවීම හේතුවෙන් වෙළෙඳපොළේ සීනි හිඟයක් නිර්මාණය වෙමින් පවතී.

සීනි ආනයනය කිරීමේදී මෙතෙක් පැවැති ශත 25 ක වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 ක් දක්වා ඉහළ දමමින් රජය ගැසට් නිවේදනයක් නිකුත් කළේ ඉකුත් 02 වැනිදාය. ඒ අනුව එම බද්දට යටත් වන්නේ 03 වැනිදා සිට මෙරටට ගෙන්වන සීනිය.

එසේ වුවත් බොහෝමයක් තොග හා සිල්ලර වෙළෙන්දෝ එතෙක් රුපියල් 260-270 අතර මිලකට අලෙවි කළ සුදු සීනි කිලෝවක් රුපියල් 300-320 අතර මිලකට බද්ද පැනවූ දින සිටම අලෙවි කළහ.

මෙම තත්ත්වය මත රජය මගින් සුදු සීනි කිලෝවක් සඳහා රු. 275 ක උපරිම සිල්ලර මිලක් නියම කළ අතර ඒත් සමගම සීනි ආනයනකරුවෝ හා තොග වෙළෙන්දෝ තමන් සන්තකයේ පැවැති සීනි තොග සැඟවීමට කටයුතු කළහ.

උපරිම සිල්ලර මිලක් පැනවීමෙන් රජය බලාපොරොත්තු වූයේ අදාළ බද්දට යටත් නොවී ඊට පෙර මෙරටට ගෙන්වා තිබුණු සීනිවල මිල ඉහළ නැංවීම වැළැක්වීමයි. එහෙත් නව සීනි බද්දට යටත්ව මෙරටට ආනයනය කරන සීනි තවත් දින කිහිපයකින් මෙරටට ගෙන්වන අතර එහිදී උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට රජයට සිදුවේ. එතෙක් තමන් සතු සීනි තොග සඟවා තබා ගැනීමට සීනි ආනයනකරුවෝ හා තොග වෙළෙන්දෝ කටයුතු කරමින් සිටිති.

මෙම තත්ත්වය මත දැනටමත් සිල්ලර වෙළෙඳසල්වල සීනි හිඟයක් ඇතිවෙමින් පවතින අතර ඇතැම් තොග වෙළෙන්දෝ තමන් සතු සීනි තොගවලින් කොටසක් පමණක් සීමා සහිතව පාලන මිලට නිකුත් කරමින් සිටිති.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment