අපේ ක්‍රිකට් හදන ලෝධා එන්නේ නැද්ද?

1260

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන අවසානයේදී ඉන්දියාව පරදවා ලෝක කුසලානය දිනා ගැනීමටත් හැකිවීම ගැන ඔස්ටේ්‍රලියාවට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කිරීමට යළි යළිත් නොමසුරුව අපි ඉදිරිපත් වෙමු. ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්තයෙන් උප්පත්තිය ලැබුවද දැන් එහි සින්නක්කර අයිතිය ලියා ගත්තා සේ ඉන්දියාව හැසිරෙන ආකාරය බලා සිටීමට අපට නම් නොහැක. අපට පමණක් නොව එංගලන්තයට, නවසීලන්තයට, ඔස්ටේ්‍රලියාව වැනි ක්‍රිකට් ක්‍රීඩා කරන සුදු මහත්වරුන්ට ද එය ඉහිලුම් දෙන්නේ නැත. ඒ පිළිබඳව ඔවුන් විටින් විට අදහස් දක්වා ඇති ආකාරය ගැන දුටු විට අපටද ඉහිලුම් නැත.

අප ගත කරන මේ මොහොත වන විටත් ක්‍රිකට් නම් විශ්ව ක්‍රීඩාවේ තාක්ෂණ වටිනාකම් ඇත්තේ නැවුම් ලෝක ශූර ඔස්ටේ්‍රලියාවට බව අවිවාදිතය. එහෙත් කුමක් හෝ දොසකට ක්‍රිකට් සල්ලි ඇත්තේ ඉන්දියාවේය. ක්‍රිකට් සියලු අංශ සඳහා සල්ලි වීසි කරනු ලබන සියල්ල ඉන්දියාව මෙය ගජරාමෙට සහ ඉතා ලැජ්ජාසහගත ලෙස කරගෙන යනු ලබයි. ඉන්දියාවට ඕනෑ වී ඇත්තේ ඔවුන් සහභාගි වන සියලුම තරග හොඳින් හෝ නරකින් දිනා ගැනීමය. එහෙත් මෙතනදී ඉන්දීය ක්‍රීඩකයන් සතු දක්ෂතා ගැන නම් අපට කට උත්තරත් නැත. උඩඟු ලෙස පිටියේ හැසිරෙන විරාත් කෝලි මේ තරගාවලියේ අර්ධ ශතක පහක් සහ ශතක තුනකුත් වාර්තා කර ගත්තේය. එහෙත් ඔහු කෙළින්ය. අපේ නම් මේසා දස්කමක් පෑමට තරම් කෙළින් කටින් හිටගැනීමටවත් හැකි ක්‍රීඩකයෙකු දැන්නම් පෙනෙන්නවත් නැත.

නැවතත් අපි ඉන්දියාව දෙසට හැරී බැලුවහොත් මේ තරගාවලියේ ඉන්දියාව සියලු තරග දිනවන්න කළ යුතු සියලුම දේවල් කර ගත්තේය. කාසිය දුරට විසි කර තමන් කාසියේ වාසිය දිනා ගත්තා යැයි කීය. ලකුණු තුන් හාරසීයක් ගැසීමට තමන්ට ඕනෑ විදිහට පිට්ටනි හදා ගත් ඔවුහු ප්‍රතිවාදීන් කැරකී යන පරිදි සැකසූ පන්දු භාවිත කළේය. නීති රීති වෙනස් කළෝය. විනිසුරු තීරණ තම වාසියට හරවා ගත්තේය. ඒ සියලු සට කපටකම් මනාව හඳුනාගෙන සිටි ඔස්ටේ්‍රලියාව අවසන් තරගයේදී වංචා කරන්න එන්න ආවොත් බලා ගන්නවා කීය. ඒ තරමටම අසික්කිත ලෙස ක්‍රිකට් ක්‍රීඩා කරන බවට අප මෑත කාලයේ වෙනත් රටක් දුටුවේ නැත. ඒ නිසාම අවසන් තරගය ක්‍රිකට් නීති පොතට අනුවම ක්‍රීඩා කරන්න ඉන්දියාවට සිදුවන්නට ඇත. ප්‍රතිඵලය වූයේ සල්ලි පරදා තාක්ෂණය ජය ගැනීමය. එහිදී සල්ලි පමණක්ම නොව චංචාව, මිථ්‍යාව, බලය, උඩඟුකමද පරාජයට ලක් වූ බව අපගේ හැඟීමය.

ඉන්දීය ක්‍රිකට් පරාජයෙන් එරට ජනතාව දැඩි කම්පනයට ලක්ව ඇති මොහොතක අපේ ක්‍රිකට් දෙස බැලුවහොත් එහි ගන්නම දෙයක් නැති තරමට විනාශ වී අවසන්ය. අයිසීසී තහනමත් එක්ක බොහෝ දෙනා කිව්වේ අනේ අර චමරි අතපත්තු අපරාදේ කියාය. අතීත ක්‍රිකට් විභූතිය හැරෙන්න මේ ලෝක කුසලානයේදී අපිට අපේ කියා කියන්න දෙයක් ඉතුරු වුණේම නැත. (ධනුෂ්ක ගුණතිලක හිටියා නම් හිරේ විලංගුවේ වැටෙන වැඩක් හෝ කර ගනී) ශ්‍රී ලංකාව ලෝක ශූරයන් වූ 1996 කාල වකවානුව ගත්තොත් අපි ඉන්දියාවට රිදෙන්නම බැට දුන්නේය. ඉන්දීය ක්‍රිකට් නන්නත්තාර කිරීමට අපේ ලෝක ශූරයෝ ක්‍රියා කළහ. එදා ඉන්දියාව වැටුනද ඔවුන් වෙනත් වටයකින් නැගිට්ටේය. ඒ ක්‍රිකට් නැගිට්ටෙව්වේ ලෝධා මහතාය. ඔහු ඉන්දීය ක්‍රිකට් හැදුවේය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාමාර්ග විශ්ලේෂණය කිරීම සහ නිර්දේශ කිරීම, ආදී කටයුතු සඳහා ලෝධා කමිටුව 2015 ජනවාරි 23 වන දින පත් කරන ලදී. එම කමිටුවේ සභාපති ලෙස විනිසුරු ආර්. එම්. ලෝධා කටයුතු කළේය. ලෝධා කමිටුවේ ප්‍රධානම අරමුණ වූයේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදියුණු කිරීමය. කෙටියෙන් කිවහොත්, ලෝධා කමිටුව පහත නිර්දේශ ඉදිරිපත් කළේය. ක්‍රිකට් බලධාරීන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 70ක් ලෙස විය යුතුය. අපරාධ චෝදනා ඇති, නොසැලකිලිමත් මනසක් ඇති, බංකොලොත් වූ සහ වෙනත් මලල ක්‍රීඩා සංගමයක තනතුරක් දරන ඕනෑම පරිපාලකයෙකු ඉවත් කළ යුතුය. ඕනෑම නිලධාරියෙකුගේ ධූර කාලය අඛණ්ඩව වාර දෙකක් සඳහා නියම කළ යුතුය.

මුදල් ගනුදෙනු වලදී වඩාත් විනිවිදභාවයක් ඇති කිරීමට ‘ප්‍රාන්තයකට එක ඡන්දයක්’ ප්‍රතිපත්තියක්. සභාපතිවරයාට වසර දෙකකට වඩා ධුර කාලයක් තිබිය නොහැකි විය. එහි නිලධාරීන්ට කිසිදු ඔට්ටු ඇල්ලීමකට සම්බන්ධ නොවන බව සහතික කිරීම සඳහා, තම වත්කම් පාලක මණ්ඩලයට හෙළි කළ යුතුය. ලෝධා කමිටුවේ නිර්දේශ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සහ සංගම් කම්පනයට පත් කළේය. එපමණක්ද නොව අද තිබෙන ජයග්‍රාහී සහ ධනවත්භාවයට ඉන්දීය ක්‍රිකට් ගෙන ඒමට එය මග පෑදීය. අපටද ලෝධා කෙනෙකු අවශ්‍යව ඇත. අපේ ක්‍රිකට් උඩ යට පෙරළා යළි හදන ලෝධා එයිදැයි සැක සහිතය. එවැන්නකු එනතුරු අප නොඉවසිල්ලෙන් පසුවෙමු. එදාට අපේ ක්‍රිකට් විරු පායා දිලිසේවි.

advertistmentadvertistment
advertistmentadvertistment