සත්කාරයට හමුදාව 1100ක්

151

රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කරනු ලැබූ වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකිරීම හේතුවෙන් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා යොදවනු ලැබූ යුද්ධ හමුදා භට පිරිස් තවදුරටත් ඒ සඳහා යෙදවීමට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව දැනට බටහිර, මධ්‍යම, නැගෙනහිර සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් කළුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද අක්ෂි රෝහල කොළඹ, මාතලේ, පොලොන්නරුව, මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, මඩකලපුව, දෙහිඅත්තකණ්ඩිය, හම්බන්තොට, දෙබරවැව, රත්නපුර, බලංගොඩ, ඇහැලියගොඩ, නාවලපිටිය, බදුල්ල, ඇල්පිටිය, හෝමාගම සහ කෑගල්ල ඇතුළු රෝහල් 64 ක ද දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා යුද්ධ හමුදාවේ 1100ක භට පිරිසක් තවදුරටත් යොදවා තිබේ.

මේ වන විට එම රෝහල්වල අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාවේ භට පිරිස් යොදවා ඇති අතර, ඉදිරියේ දී ඇති වන අවශ්‍යතාවයන් මත ඒ සඳහා යෙදවීම පිණිස අවශ්‍ය භට පිරිස් සූදානමින් තබන ලෙසත්, වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිදුවිය හැකි පීඩාකාරි තත්ත්වයන් මඟහරවා ගනිමින් සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යෑමට හැකි සියලු පියවර ගන්නා ලෙසත් යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment