පන්සැත්තෑ වසරක යතිවර යශෝරාවය

131

ආචාර්ය දිවියාගහ යසස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැවිදි බිමට පත්ව පන්සැත්තෑ වසරක් සම්පූර්ණවීම නිමිතිකොට උන්වහන්සේ සිදුකළ උදාර ජාතික, ආගමික සේවාවන් වෙනුවෙන් ආශිර්වාද පළකිරීමේ උත්සව සභාවක් ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පැවිදි ගිහි උතුමන්ගේ සහභාගීත්වයෙන් අද (16 දා) සවස 3.00 ට කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්වීමට ආදි ආනන්දීය බෞද්ධ සංගමය සහ ගල්කිස්ස බෞද්ධායතන දායක සභාව කටයුතු යොදා ඇත. මෙදින ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සව සභාවේදී පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍රයාණන්ගේ ජීවන තොරතුරු ඇතුළත්කොට ලියන ලද ‘යශස් ශ්‍රී පන්සැත්තෑ වසරක යතිවර යශෝරාවය’ ආලේඛ්‍ය ග්‍රන්ථය එළිදැක්වීම හා අතිපූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමීන්ද්‍ර ශිෂ්‍යත්ව අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමිමේ දසවන පියවර ලෙස ආර්ථික අපහසුතා ඇති පාසල් දූ දරුවන් විසිපස් දෙනකු වෙනුවෙන් මසකට රුපියල් දෙදහස් පන්සීය බැගින් ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය. මෙම උත්සව සභාවේ විශේෂ දේශනය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් සිදු කෙරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පුරාණ භික්‍ෂු වංශයේ නූතන යති ලකුණක් සේ වචනාර්ථ කුළුගන්වමින් එනම් “යසෝ අස්ස අත්ථි යසස්සී” තද්ධිත නාම විග්‍රහය අනුව යසස – කීර්තිය – පිරිවර යන අරුත් සපිරි සසුන් කෙත සරුකරන, සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය, ආචාර්ය ගෞරවාර්‍හ දිවියාගහ යසස්සී නායක හාමුදුරුවෝ පැවිද්දෙන් හැත්තෑපස් වසරක් සපුරති. ඩී. එන්. රත්නායක, ඩී. එල්. ඩී. ප්‍රන්සිනා යන දම්පතීන් මා පිය කොට වර්ෂ 1935 ජනවාරි 02 දින උපන් මෙම කුල කුමරුවා පූජ්‍යපාද ගණේගම අත්ථදස්සි, පූජ්‍යපාද දිවියාගහ විපුලතිස්ස යන ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1947 ඔක්. 8 දින උතුම් පැවිදි දිවියට පත් කළ සේක.

මාතර ශ්‍රී සුදර්ශී පිරිවෙණෙන් මූලික පාරිවේණික ශික්‍ෂණය ලැබ 1955 දී කොළඹ විද්‍යෝදය පිරිවෙණට ඇතුළත් වී වැලිවිටියේ සෝරත නාහිමි වැනි සාත්වික පඬිවරුන්ගේ ආශ්‍රයනිශ්‍රය ලබමින් සිංහල, පාලි, සංස්කෘත, ප්‍රාකෘත තර්ක න්‍යාය, ඡන්දෝලංකාර, පුරා විද්‍යාව ආදී ශබ්ද ශාස්ත්‍රයන් හදාරා ඉක්බිතිව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූහ. ධර්ම විනයධර ප්‍රාමාණික උගතෙකු වශයෙන් 1962 වෂයේ දී ජාතික අධ්‍යාපන සේවයට බට මුන්වහන්සේගේ ජීවන පුවතේ ස්වර්ණමය යුගය උදාවන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ දශක දෙකක පමණ අධ්‍යාපන සේවාවන් සමඟය. 1984 වසරේ දී ගල්කිස්ස වටරප්පල පාරේ භූමි භාගයක් ස්වකීය අධ්‍යාපන සේවයෙන් ලත් ධනව්‍යයයෙන් මිල දී ගෙන එහි බෞද්ධායතනය නමින් ඉදිකොට ඇති පුණ්‍ය භූමිය මේ වන විට සියලු විහාරාංගයන්ගෙන් සමලංකෘත යි.

ස්වකීය විහාරස්ථානය කේන්ද්‍රස්ථානය කොට පූජ්‍යපාද දිවියාගහ යසස්සි නාහිමියන් විසින් පුද්ගල සංවර්ධනය උදෙසා අගයෙන් අගය කළ යුතු මහත් සේවයක් සමාජයට ප්‍රධානය කරනු ලැබේ. සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලංකාවේ ආරම්භ කරන ලද ප්‍රථම දහම් පාසල බෞද්ධායතනයේ ධර්ම විද්‍යාලයයි. බෞද්ධායතන සංවර්ධන සංගමය විසින් මේ වන විට පොළොන්නරුව, වැලිකන්ද, කුරුළුබැද්ද ආදී විවිධ දුෂ්කරතා පවත්නා ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන සංවර්ධනය කරමින් සිදු කරන සේවය සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මට මහත් ශක්තියකි. ගවයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට මරණයෙන් මුදා ගොවි ජනතාවගේ ආර්ථිකය නැංවීමට උපකාර කිරීම නාහිමියන්ගේ ප්‍රජා සංවර්ධන සංකල්පයකි.

අඩසිය වසක කාලයක් පුරා දහස් සංඛ්‍යාත ගිහිපැවිදි ශිෂ්‍යයන්ට පොත පත හා ඉගැන්වීම් පමණක් නොව ඔවුන් මනාව හික්මවමින් අනාගත අභිවෘද්ධිය සිද්ධ කරන, ස්වකීය නිකැළැල් චරිතයෙන් ආදර්ශවත් සම්භාව්‍ය ආචාර්යවරයාණන් වහන්සේ නමක් වශයෙන් දිවියාගහ යසස්සී හාමුදුරුවෝ සම්භාවනයට ලක් වෙති. කතා කලාවෙහි මෙන්ම ලේඛන කලාවෙහි ද නිපුණත්වයට පත් නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ග්‍රන්ථ රාශියක් ධර්ම සාහිත්‍යයට එක් කොට ඇත. එම ග්‍රන්ථ අතර 1966 දී එළිදක්වන ලද “ලංකාව හා ආසන්න රාජ්‍යයෝ” කෘතිය පාඨක ලෝකයේ ජනාදරයට පත් විශිෂ්ට ඉතිහාස ග්‍රන්ථයකි. උන්වහන්සේ විසින් පුවත්පත්, සඟරා, විශේෂ ශාස්ත්‍රීය කලාප ආදියට සපයන ලද ලිපි සංඛ්‍යාව අති විශාලය. කොළඹ නව කෝරළයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරය, ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ ප්‍රධාන අනුශාසක, ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේඛකාධිකාරී, ගුවන් විදුලි හා රූපවාහිනි බෞද්ධ උපදේශක සභාවේ සාමාජිකත්වය, විද්‍යෝදය ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන සභාපති ආදී වශයෙන් තනතුරු රාශියක් දරන යසස්සී නාහිමියන්ගේ අගතියෙන් තොර මධ්‍යස්ථ අදහස් සෑම විටම ජාතික, ආගමික, සංස්කෘතික හා අධ්‍යාපනික අංශයන් හි ප්‍රවර්ධනයට, නිවැරදි භාවයට අතිශය උපස්ථම්භකව පවතී. මේසා විශාල සේවාවක් සිදු කිරීම ඇත්ත වශයෙන්ම විශ්මය දනවන සුළුයි. සංයුක්ත නිකායේ ගේලඤ්ඤ සූත්‍රයේ එනම්,

“මහණෙනි, මහණ කෙසේ නම් දැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ ඉදිරිගමන්හි හා ආපසු ගමන්හි මනා නුවණින් දැන කරන සුලු වේ ද ඉදිරිබැලීමෙහි අවට බැලීමෙහි මනානුවණින් කරන සුලු වේ ද (අත්පා) හැකිළීමෙහි හා දිගහැරීමෙහි මනානුවණින් දැන කරන සුලු වේ ද, සඟළ හා පාසිවුරු දැරීමෙහි මනානුවණින් දැන කරන සුලු වේ ද, බිදීමෙහි පීමෙහි කෑමෙහි හා රසවිඳීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, මලමු කිසෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණිමෙහි හා නො බිණීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, මහණෙනි, මහණ මෙසේ මනානුවණ ඇත්තේ වේ.”

මේ නයින් විමසීමේ දී මනා භික්‍ෂූ ආකල්පයන්ගෙන් වොරදනා ප්‍රියශීලී, ප්‍රියවාදී, ප්‍රගතිශීලී, අකුටිල ගුණයන්ගෙන් සපිරි ප්‍රවෘජ්‍යා භූමියේ වජ්‍රජයන්තිය සමරණ දිවියාගහ යසස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට “සුඛී දීඝායුකෝ භව” යි ප්‍රාර්ථනා කරනු ලැබේ!

හෑගොඩ විපස්සී හිමි

advertistmentadvertistment
advertistmentadvertistment