බුදු දහමට නිගාකර රටින් පනින්න ගිය නතාෂා දැලේ පැටලේ

465

බෞද්ධ බාලිකා පාසල්වලටත් මඩ ගහලා
සමාව ඉල්ලන වීඩියෝවත් සමච්චලයක්
එකට රට යන්න ආ පුද්ගලයා ගුවන්තොටෙන් මාරුවෙලා

බුදුන් වහන්සේට සහ බුද්ධාගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි නතාෂා එදිරිසූරිය නමැති කාන්තාව පෙරේදා (27 දා) මධ්‍යම රාත්‍රියේ හොර රහසේම රටින් පලා යෑමට උත්සාහ කරද්දී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

සැකකාර කාන්තාව මලයාසියාවට ගොස් එතැනින් සිංගප්පූරු බලා යෑමට සැලසුම් කරගෙන සිට ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයාට කර තිබූ පැමිණිල්ලකට අනුව මෙම කාන්තාවට එරෙහිව ගුවන් ගමන් තහනමක් ලබාගෙන තිබිණි.

සැකකාර කාන්තාව පෙරේදා රාත්‍රි 11.30 ට පමණ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියදී ආගමන විගමන නිලධාරින් විසින් ඇය අත්අඩංගුවට ගන්නා ලදි.

පසුව ඊයේ (28 දා) අලුයම 1.30 ට පමණ ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ගුවන්තොටුපළ පිටව යෑමේ දොරටුවෙන් පිටතට රැගෙන ආ සැකකාර කාන්තාව කොළඹ නාරාහේන්පිට පිහිටි පරිගණක අපරාධ ඒකකය වෙත රැගෙන ගොස් තිබිණි.

එහිදී මෙම කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.

හෙන්නායක මුදියන්සේලාගේ පැතුම් බණ්ඩාර එගොඩවත්ත නමැති අයකුද මෙම කාන්තාව සමග විදෙස් ගත වීමට පැමිණ සිටියේය. එහෙත් මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙම පුද්ගලයා විදෙස් ගමන අතහැර ගුවන්තොටුපළෙන් පිටව ගොස් තිබේ.

නතාෂා එදිරිසූරිය නමැති මෙම කාන්තාව ඉතාම අසභ්‍ය දේශන ප්‍රසිද්ධියේ පැවැත්වීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන කාන්තාවකි. 31 හැවිරිදි වියේ පසුවන මෙම කාන්තාව ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෝඩාභිමාන නමැති හාසf්‍යා්ත්පාදක වැඩසටහනක් ඉකුත් 26 වැනිදා මැය විසින් කොළඹ ප්‍රධාන පෙළේ කතෝලික බාලිකා පාසල් ශාලාවක පවත්වා තිබේ.

එහිදී බුදුන් වහන්සේට සහ බුද්ධාගමට ඉතාම අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරමින් බුද්ධාගම හාස්‍යයට ලක් කිරීමට වැඩකටයුතු කර තිබිණි.

තවද බෞද්ධ බාලිකා පාසල්ද දැඩි විවේචනයටත් හාස්‍යයටත් ලක් කරමින් මෙම කාන්තාව පැය කීපයක දේශනයක් පවත්වා තිබිණි.

මෙම දේශනය සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වීමත් සමගම මෙම කාන්තාවට එරෙහිව දැඩි චෝදනා එල්ල වූ අතර පාර්ශ්ව කීපයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබිණි.

මෙම ආන්දෝලනාත්මක සිද්ධියෙන් පසු සැකකාර කාන්තාව සහ මෙම වීඩියෝ පට මාධ්‍යවලට මුදාහරිනු ලැබූ පුද්ගලයා නැවතත් වීඩියෝ පටයක් මුදාහරිමින් සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියහ.

බොහෝ දෙනා පැවසුවේ මොවුන් දෙදෙනා එසේ සමාව ඉල්ලා සිටීම සඳහා කළ වීඩියෝපටයද ඉතාම පහත් සමච්චලයට තුඩු දෙන ආකාරයේ බෞද්ධයා කෝපයට පත්වන ආකාරයේ එකක් බවයි.
හේමන්ත රන්දුණු, ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment