හෙද හෙදියෝ සෞඛ්‍ය වටලති – ඇමැති සමග සාකච්ඡාව 19 දා – වර්ජන නවතී

201

සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබුණත් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයන් සිය ඉල්ලීම් ඉල්ලා ඊයේ (14 දා) දෙවන දිනයටත් රජයේ රෝහල්වල වැඩ වර්ජනයේ නිරත වීම නිසා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිස් දැඩි අපහසුතාවට පත්වූහ. හෙද සංගමයේ සාමාජිකයෝ සෞඛ්‍ය අමාත්‍යාංශය වැටලූහ.

වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක සාමාජිකයෝ පෙරේදා (14 දා) පෙරවරු 6.30 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටී.

වැඩ වර්ජනයෙන් රෝගීන්ට සිදුවන අපහසුතාවයන් යම් මට්ටමකින් හෝ අඩුකර ගැනීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් 1100කට වැඩි පිරිසක් ඊයේ (14 දා) දිනයේ ද රෝහල්වලට යොදවා සිටියත් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටින අයුරු දක්නට ලැබිණි.

අතුරු වෛද්‍ය, තාක්‍ෂණික ශිල්පීන්, පවුල් සෞඛ්‍ය සේවා, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් ඇතුළු වෘත්තීන් රැසක වෘත්තීය සමිති 72ක පිරිස් මෙම වැඩ වර්ජනය සඳහා යොමුවී සිටින අතර සිය ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන තෙක් වර්ජනය අත්නොහරින බව ඔවුහු ප්‍රකාශ කරති.

වැඩ වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත් පිරිස් විසින් ‘බෙහෙත් නැත්නම් වහල දාන්න’, ‘අපි තමයි රෝද පුටු තල්ලුකරන්න ඕන’, ‘පඩි වැඩිකර ගන්නමයි බලන්නේ’, ‘නීතිමය ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ’, ‘ගැසට් කවුරුත් ගණන් ගන්නේ නැහැ’ වැනි නොයෙක් දේවල් කියමින් සිය අප්‍රසාදය පළකරමින් අදහස් දැක්වූහ.

මේ අතර සමස්ත ලංකා හෙද සංගමයේ සාමාජික හෙද හෙදියෝ සිය ඉල්ලීම්වලට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය වටකර විරෝධතාවයක ද නිරත වූහ. දිගු වේලාවක් එහි රැඳී සිටි ඔවුහු තමන්ට සාධාරණයක් කරන ලෙස බලධාරීන්ට කන්නලව් කළහ.

අර්බුදය විසදීමට සෞඛ්‍ය ඇමැතිවරයා ලබන 19 වැනිදා සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දුවීම නිසා වර්ජනය අද (15දා) උදේ 6.00 සිට තාවකාලිකව නවත්වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා ඊයේ (14දා) ‘දිවයින’ ට පැවැසීය. එහි ප්‍රතිඵල අනුව ඉදිරි පියවර ගන්නා බවද ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment