කඩවත ව්‍යාපාරිකයා මරන්න ආ පාතාල ඩබල අවිත් සමග මාට්ටු!

563

කඩවත නගර මධ්‍යයේ ව්‍යාපාරික ස්ථානයකට කඩාවැදී එහි හිමිකරුට සහ කළමනාකරුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි පාතාල සාමාජිකයන් දෙදෙනකු පිස්තෝල, අත්බෝම්බ සහ ජීව උණ්ඩ ද සමග පෑලියගොඩ කොට්ඨාස අපරාධ ඒකකය මගින් පෙරේදා (17 දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ශක්ති නමින් හඳුන්වන පාතාල මැරයාට කප්පම් මුදල් ලබා නොදීම නිසා එම මැරයාගේ නියෝග මත මෙම ව්‍යාපාරිකයා සහ කළමණාකරු ඝාතනයට පාතාල මැරයන් දෙදෙනා යමින් සිට ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

ගණේමුල්ලේ සංජීවගේ ප්‍රධානම ගෝලයකු බව කියන ශක්ති නමැති මෙම පාතාල මැරයා මේ වනවිට සැඟවී සිටින්නේ සංජීවට අයත් ඩුබායි හි පිහිටි මහල් නිවාසයක බව පොලිසිය පවසයි.

මිනිමැරුම්, කප්පම් ගැනීම් මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ශක්ති නමැති මෙම පාතාල මැරයා මීට වසරකට පමණ උඩදී ගණේමුල්ලේ සංජීව විසින් ඩුබායි රාජ්‍යයට ගෙන්වාගෙන ඇත.

පසුව ඔහු එහි සිට සංජීවගේ අපරාධවලට සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසයි.

ශක්ති නමැති මෙම පාතාල මැරයා දින කීපයක් තිස්සේ කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකථනයෙන් කතාකර රුපියල් දසලක්‍ෂයක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කර ඇත.

එම මුදල් ලබාදීම ව්‍යාපාරිකයා විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසා ඔහු සහ ඔහුගේ කළමනාකරු ඝාතනයට මොහු සැලසුම් කර තිබේ.

ශක්ති නමැති පාතාල මැරයාගේ කල්ලියට සම්බන්ධ පෑලියගොඩ ප්‍රදේශයේ මැරයන් දෙදෙනකුට මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත.

ඒ අනුව එම මැරයන් දෙදෙනා පෙරේදා සවස 5.30 ට පමණ කඩවත නගරයේ පිහිටි ව්‍යාපාරිකයාට අයත් කාර්යාලය වෙත ගොස් ඇත්තේ ඔහු සහ කලමනාකරු ඝාතනය කිරීම සඳහාය.

එහෙත් පෑලියගොඩ කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති අමිල සඳරුවන් මහතා ඇතුළු නිලධාරීන්ට මොවුන් දෙදෙනා කොටුවී ඇත.

පොලිසිය පාතාල මැරයන් දෙදෙනා අත්අඩංගුවට නොගත්තා නම් තවත් විනාඩි කීපයක් ඇතුළත ඔවුන් ව්‍යාපාරිකයා සහ ඔහුගේ කළමනාකරු වෙඩිතබා ඝාතනය කිරීම සිදුවන බව උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙම සැකකරුවන් සතුව තිබී මිලිමීටර් 3.8 වර්ගයේ පිස්තෝලයක් ජීව උණ්ඩ 4 ක් සහ අත්බෝම්බයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. සැකකරුවන් පැමිණි යතුරුපැදිය ද සොරාගත් එකක් වන අතර එය ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවෝ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇම්බැහි වූවෝය. ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ. ක්‍රිශාන්ත මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්‍ෂක අසේල සඳනුවන් ඇතුළු නිලධාරීහු විමර්ශන පැවැත්වූහ.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment