පසුගිය පුර පසළොස්වක පොහොයකට ආසන්නතම දිනයෙක රාත්‍රියේ මැදියම ආසන්න මොහොතක ඒ වන විට අඳුරින් පිරී තිබූ මගේ කාමරයේ තුනී වීදුරු ජනෙල් තලයට එපිටින් එක්තරා විස්මයජනක දසුනක් මා හමුවේ මැවී පෙනුණි. එනම් අප නිවහනේ සිට මීටර් සියයක් පමණ එපිටින් වූ තුරුලිය අතරින් ඉහළට මතු වී පෙනෙන දැවැන්ත මිනිස් රුවකි. ඒ මොහොතේ පැවැති සඳ පහනින් නැහැවෙමින් තිබූ ඒ මිනිස් රුව දුටුමතින් මා තුළ ක්ෂණික තැති ගැනීමක් ඇති විය. ඒ ඔස්සේ එදෙස වඩාත් විමසිලිමත්ව බලන විට මට හැඟී ගියේ ඒ අද්භූත මිනිසා එහි සිට මට අත වනන බවකි. එහෙත්, ඒ දැවැන්ත මිනිස් රුව කුමක්දැයි ඒ මොහොතේ වටහා ගත නොහැකි වූ මා හට ඒ කුතුහලය මුසු සැකය දුරු කර ගැනීමට වූයේ එකම මඟකි. එනම් එදෙසට විදුලි පන්දම් ආලෝකයක් යොමු කිරීම පමණි. නමුදු ඒ මොහොතේ මගේ ළඟ එවැන්නක් නොතිබිණ. එබැවින්, තවදුරටත් ඒ දෙස බලා සිටි මගේ මනැසට පිවිසියේ මා එතෙක් අසා ගොනු කර ගෙන ඇති මහසෝනා නම් අති බිහිසුණු යක්ෂයා පිළිබඳ තොරතුරු ය. නමුදු මහසෝන් ඇතුළු දේව, යක්ෂ සංකල්ප හුදෙක් මානව චින්තාවලියේ අනේක විධ පැතිකඩ නිරූපණය සහ සංකේතනය කෙරෙන්නක් පමණක් බව හොඳාකාරව දැන සිටි මගේ සිත තුළ හටගත් ඒ ක්ෂණික කම්පනය මඳින් මඳ අව ප්‍රමාණ වෙමින් තිබිය දී එම දර්ශනය මනැසින් ඉවත් කර ගත් මම යළි නින්දට පිවිසුණෙමි. එම කතාවේ ඉතිරි අර්ධය පසුවට තබන මගේ සූදානම ක්ෂණිකව හෝ මගේ සිත තුළ තිගැස්මක් ඇති කළ එම මහසෝන් යක්ෂ විශ්වාසය පිළිබඳවම මෙතෙක් මා හමුවේ ගොනු වී ඇති තරමක වෙනස් කරුණු ස්වල්පයක් දැක්වීමකට ය.

මහසෝන් රතිඤ්ඤා

සඳ එළියෙන් දැක්ක රිටිගල ජයසේන නොවූ මහසෝනා

අප ජන සමාජය අදහනු ලබන අනේක විධ යක්ෂයන් අතුරින් අති බිහිසුණුම යක්ෂයා මහසෝනා ය. යම් හෙයකින් ශ්‍රී ලංකාව තුළ යක්ෂ රාජ්‍යයක් ද ක්‍රියාත්මක වන්නේ නම් නියත ලෙස ම එහි ජනාධිපති පදවිය හිමි කර ගෙන හිඳිනුයේ ද මහසෝනා මය. නමුත් අතීත ගැමියන් නම ඇසීමට පවා බියක් දැක් වූ මෙම මහසෝනා පිළිබඳ සංකල්පය මෑත භාගයේ සිට මහත් පුනර්ජීවනයකට ලක්ව තිබේ. එනම් මෙම ‘මහසෝන්’ නාමය විවිධ දේශපාලනික, සමාජමය සේම ව්‍යාපාරික කටයුතු සඳහා ද යෙදී තිබීමෙනි. මහසෝනා සම්බන්ධ මේ ජනප්‍රියතාව කොතෙක් ද යත් අප රටේ ගිනි කෙළි හා රතිඤ්ඤා සඳහා රාවණා නාමය යොදා ගත් ලෙසින්ම මහසෝන් නම් සන්නාමයකින් යුතු රතිඤ්ඤා ඇතුළු ගිනි කෙළි පසුගිය කාලයේ වෙළෙඳ පළේ දක්නට ලැබුණු බව මගේ හිතවතෙක් කීය.

මෑත භාගයේ සිට මෙම මහසෝන් නාමය අප සමාජයේ ජනප්‍රිය සංස්කෘතික ධාරාවට අවශෝෂණය වීමට විශේෂ හේතුවක් තිබේ. එනම් මහසෝනා හෙළ, යක්ඛ නමින් හඳුන්වන අතීත හෙළ ශිෂ්ටාචාරයක් නියෝජනය කළ ප්‍රබලතමයකු බවට පැතිර තිබූ මතයයි. දුටුගැමුණු කුමරුන්ට යුද ජයග්‍රහණය සඳහා මහෝපකාරී වූ මහා සෝණ හෙවත් රිටිගල ජයසේන නම් යක්ෂ සෙන්පතියා ගැමුණු කුමරුගේ දස මහ යෝධයන් අතර ජනප්‍රියතම චරිතයක් වූ ගෝඨම්බර සමඟ ඇති වූ යුද්ධයකදී හිස අහිමි කර ගැනීමෙන් මිය යන ලදුව සෙනසුරා විසින් ඒ අහිමි වූ හිස වෙනුවට නොපිටට සවි කරන ලද වලස් හිසකින් මහසෝනා නම් ප්‍රබල යක්ෂයා බිහි වූ බව එම ජනප්‍රිය මතයයි.

1995 වසරේ දී මියගිය මගේ මාමණ්ඩිය වූ බෙලිඅත්ත, කුඩාහීල්ලේ විසූ ඩේවිඩ් ජයවර්ධන (සේරුගහහේනේ ලොකු මහත්තයා) යකැදුරකු නොවූව ද විසිවන සියවසේ මැද භාගය දක්වා මාතර ප්‍රදේශයේ විසූ ප්‍රධාන යකැදුරන් කිහිප දෙනකු පිළිබඳ බොහෝ තොරතුරු දැන සිටි අයෙකි. ඔහු පවසන අන්දමට වැලිගම, මාතර, දෙවුන්දර, අකුරැස්ස, හක්මන, තංගල්ල ඇතුළු මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකම රටම පිළිගත් යකැදුරු පරම්පරා කිහිපයක් ම තිබී ඇත.

ඒ ඒ පරම්පරා සතු පැරණි පුස්කොළ පොත් ආදියෙන් උකහා ගත් යන්ත්‍ර මන්ත්‍ර පිළිබඳ දැනුමින් සන්නද්ධ එම පරම්පරාවල බොහෝ යකැදුරන් මෙම රිටිගල ජයසේන සහ මහසෝන් යක්ෂයා පිළිබඳ පුරාවෘත්තය පවා එතරම් වැදගත් කොට නොසැලකූ බව එකල ඔහු කීයේ මා විස්මයට පත් කරමිනි.

“අද වෙන කොට ඔය කට්ටඬි කියලා පිට පළාත්වල මිනිස්සු සමච්චල් කළාට ඉස්සර මේවයේ බොහොම බලගතු යකැදුරු මහත්තුරු හිටියා. ඒ අයට භූත වෛද්‍ය කියලත් කිව්වා. ඉස්සර ඔය දෙවුන්දර හිටියා බේබි සිඤ්ඤෝ කියලා යකැදුරු මහත්තයෙක්. උන්නැහේ ඒ පැත්තේ ප්‍රභූ පරම්පරාවක කෙනෙක්. ඒ හින්දම පහුකාලෙක දෙවුන්දර ගම් සභාපතිකමටත් පත් වුණා. ඒ කාලේ බේබි සිඤ්ඤෝ යකැදුරු මහත්තයා කොච්චර බල සම්පන්න ද කිව්වොත් සනීප කරන්න බෑ කියලා මාතර ඉස්පිරිතාලෙන් අයින් කරන ලෙඩ්ඩු බර ගාණක් ආයිමත් දෙපයින් හිටවලා තියනවා. මාත් ඒ කාලේ කොලුකම ඔලුවට ගහලා ඕවා හොයන්න එහේ මෙහේ දුව ඇවිදින අතරේ උන්නැහේලගේ වැඩවලට යම් යම් විදිහට උදව් උපකාර කරපු හින්දයි ඒක හොඳටම දන්නේ” මගේ මාමණ්ඩිය කීය. ඔහු එසේ සිය අත්දැකීම් මත පදනම් වන තම මතය ප්‍රකාශ කළ පමණින් එය මුළුමනින් සත්‍යයක් සේ පිළිගැනීමට මම එවක ද නොපෙළඹුණෙමි.

නමුත් හුදෙක් විද්‍යාත්මක නොවන දාර්ශනික පදනමකින් යුතු භාරතීය ආයුර්වේදය අෂ්ටාංග යනුවෙන් හැඳින්වෙන කොටස් අටකින් යුතු අතර භූත විද්‍යාව යනු ද එහි එක් කොටසකි. ලෞකිකත්වය ඉක්මවන අධි භෞතික දෝෂ මගින් ද මිනිසාට රෝග වැළඳෙන බවත් ගුප්ත චිකිත්සාවන් මඟින් ඒ දෝෂ කාරක මූලයන් ඉවත් කිරීමෙන් ඒ රෝග මුළුමනින්ම සුවපත් හා සමනය වන බව ආයුර්වේදයේ සඳහන් ය. සිද්ධාන්තමය වශයෙන් එම මතය නවීන විද්‍යාව විසින් බැහැර කළ ද බලි, තොවිල්, ශාන්තිකර්ම ආදිය වශයෙන් හැඳින්වෙන ඒ භූත විද්‍යාවේ අංග මගින් සිදුවන නොවිධිමත් මනෝ චිකිත්සක ක්‍රියාවලිය නොතකා හැරිය නොහැක්කක් බව නූතන මනෝ විද්‍යාඥයන් සහ මනෝ වෛද්‍යවරු පවසති. එනිසාම මෙම වෛකල්පිත මනෝ චිකිත්සාවන් සම්බන්ධයෙන් ගැඹුරු හැදෑරීම් කොට ඒවායේ සාධනීය අංග නවීන විද්‍යාවට එක් කර ගැනීම කෙරෙහි ද ඒ සම්බන්ධ පර්යේෂකයන් ගේ අවධානය යොමු වී තිබේ.

සඳ එළියෙන් දැක්ක රිටිගල ජයසේන නොවූ මහසෝනා

මාතර යකැදුරු පරම්පරාවල ගුප්ත ශාස්ත්‍ර ක්‍ර වේදයන් අතරේ යම් යම් විෂමතා තිබී ඇත. එමෙන්ම ඒ ඇතැම් යකැදුරු පරම්පරා අතරේ ශාස්ත්‍රීය මත ගැටුම් සේම එම ගුප්ත ශාස්ත්‍ර මුල් කරගත් කෝන්තර ද හටගෙන ඇත. විශේෂයෙන් එක් පරපුරක ඇදුරකු යම් සේවාදායකයකු වෙනුවෙන් භූත විද්‍යාවේ අෂ්ට කර්මයට අයත් ‘මාරණ’ ගණයට වැටෙන අණ-විණ, කොඩි-විණ, භූමි-පාළු ආදී හදි හූනියම් කළ විට කිනම් ක්‍රමයකින් හෝ ඒ සේවාදායකයාට ඒ බව ඒත්තු ගොස් එම හූනියම කැපීම පිණිස වෙනත් පරපුරක යකැදුරකු හට භාර කළ විට ඔහු ඒ සඳහා භූත විද්‍යා අෂ්ට කර්මයට අයත් ‘උච්චාටන’ ක්‍රම මගින් ඒ අණ විණ, හදි හූනියම් බන්ධන ආපසු හරවා යැවීමට ඒ ඇදුරාට සිදුවෙයි. මෙහි දී ඇතැම් විට ඒ හූනියම කර වූ ඇදුරා සහ ඔවුන්ගේ පවුල විනාශ වීමේ පවා හැකියාවක් පවතින බව පැවසෙයි. එවිට එවැනි තත්ත්වයන් මුල් කොට මෙම ඇදුරන් අතර පැවති ගුප්ත ශාස්ත්‍ර පදනම් කර ගත් ගැටුම් අර්බුද හමුවේ ඇතැම් ඇදුරු පරම්පරා මුළුමනින්ම වැනසී ගොස් ඔවුන් සතු ගේ දොර වතු පිටි ආදිය පවා අනුන් සතු වූ බවත් මගේ මාමණ්ඩිය කීය. නමුත් මා මෙම සටහන තබනුයේ එම සමාජමය සංසිද්ධිය ඔබ හමුවේ ගෙන හැර දැක්වීමට මිස මෙම පාරම්පරික ශාස්ත්‍රවල කිසියම් ගුප්ත බලයක් ඇති බව ඔබට ඒත්තු ගැන්වීමට නොවේ. ඔහු පවසන කරුණු හුදෙක් ප්‍රවාදගත ඒවා බව මගේ පිළිගැනීම ය. නමුදු පොදුවේ ගත් කල මෙම මාතර යකැදුරු පරම්පරාවන් රිටිගල ජයසේන සහ මහසෝන් දේවතා පෑහීමට නොකැමැති වනුයේ මහසෝනා යනු ඊට වඩා අතිශය බිහිසුණු යක්ෂයකු නිසාය යන කරුණ ඉතා වැදගත් ය.

මහාසෝණ හෙවත් රිටිගල ජයසේන

“මාතර ඇදුරු පරම්පරාවල පරණ පුස්කොළ පොත්වල මහසෝන් දේවතාවා ගේ උපත ගැන තියනවා. ඒවයේ තියෙන්නේ මහසෝනා කියන්නේ ඉන්දියාවේ සෝමල කියලා රජ කෙනෙකුට දාව ගජකම්භකාරී කියන බිසවට ලැබුණු දරුවා හැටියට. අපේ රටේ මාතර බලි තොවිල් ගැන ඉතාම හොඳට හදාරලා ඒවයේ සවිස්තර ලියපු ලොකු උගතෙක් තමයි තංගල්ලේ සව්රිස් සිල්වා මහත්තයා. එතුමන් ඒ පැත්තේ ප්‍රභූ යකැදුරු පරම්පරාවක. තරුණ කාලේ ගුරුවරයෙක් හැටියටත් පස්සේ විදුහල්පති කෙනෙක් හැටියටත් කටයුතු කරපු උන්නැහේ පස්සේ ආණ්ඩුවේ කලායතනයේ පහතරට නැටුම් කලාව ඉගැන්වූවා. එතුමා අපේ පාතරට තොවිල්වලට වගේම නැටුම් කලාවටත් විශාල ආලෝකයක් වුණා. ඔය පරණ මහසෝන් උපත ගැන උන්නැහේ ලියපු පොත් පත්වලත් තියනවා. ඒවයෙත් ඔය රිටිගල ජයසේන කතාව ලොකුවට ඉස්මතු කරලා නෑ මට මතක හැටියට නම්.” මගේ මාමණ්ඩි කී අයුරු මට ඉතා හොඳින් මතක ය. ඒ අනුව සව්රිස් ද සිල්වා සූරීන් ලියූ එම ලේඛන ප්‍රති පරීක්ෂාවකට ලක් කිරීම අතිශයින් වැදගත් ය. එබැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැන ගැනීම පිණිස මම කලක් කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂව සිටි ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ගෙන් ද ඒ පිළිබඳව විමසුමක් කළෙමි. එවිට ඔහු කියා සිටියේ එවැන්නක් පිළිබඳ මතකයක් තමන් තුළ නොමැති වුව ද කොළඹ ජාතික කෞතුකාගාර උප තැපැල් කාර්යාලය විවෘත කළ පසු එහි මුල්ම තැපැල් ස්ථානාධිපතිනිය ලෙස සව්රිස් ද සිල්වා මහතාගේ දියණියක සේවය කළ වගක් නම් තමන්ට මතක බව ය. ඒ අනුව මෙම රිටිගල ජයසේන සහ මහසෝන් සබැඳියාව සම්බන්ධයෙන් මාතර යකැදුරන් දැරූ පොදු ආකල්පය නිවැරදිව වටහා ගැනීමට එම මංපෙත ද ප්‍රයෝජනවත් වනු ඇත.

රිටිගල ජයසේන සහ ගෝඨයිම්බර අතර ඇති වූ ගැටුම සහ ඉන් රිටිගල ජයසේන ගේ හිස අහිමි වූ පුවත පැරණි සාහිත්‍ය කෘතීන් කිහිපයකම දැකිය හැක. එහෙත්, එය වඩාත් විචිත්‍රවත් කොට දක්වා ඇත්තේ ගම්පල සාහිත්‍ය යුගයට අයත් සද්ධර්මාලංකාරයේ ය. එහෙත්, ඒ කතාවෙන් පැවසෙන යක්ෂයා මහසෝනා නොව ඔහුගේ සොහොන් යකුන් පිරිවරට අයත් “ජය සොහොනා” නම් යක්ෂයා ගේ බවට පැරණි මාතර යකැදුරන් අතර පොදු පිළිගැනීමක් ඇතිව තිබේ. එමෙන්ම ඔවුන් පවසනුයේ ජය සොහොනා යක්ෂයා ගේ වාහනය අශ්වයකු වීම මුල් කොට ද ඔහු හා සේනාධිපතියකු වූ රිටිගල ජයසේන අතර ඇති සබඳතාව තහවුරු වනු බවකි.

අප ජන සමාජයේ පොදු පිළිගැනීමට අනුව යකුන් අතුරින් වඩාත් බිහිසුණුම යකුන් වනුයේ සොහොන් යක්කු ය. මහසෝනා ගේ නායකත්වයෙන් යුතු ඒ සොහොන් යක් පිරිවර අමු සොහොනා, ලේ සොහොනා, මිනී සොහොනා, කඩවර සොහොනා, ගොපළු සොහොනා, මරු සොහොනා සහ ජයසොහොනා ආදී වශයෙන් හැඳින්වෙති. එමෙන්ම මෙම සොහොන් යකුන් අතුරින් ප්‍රමුඛතමයා වන මහසෝනා ගේ මුල් නාමය මහ සොහොනා බව ද පසුව උච්චාරණ පහසුව සඳහා එය මහසෝනා ලෙස හැඳින්වුණු බව ද පැවසෙයි. නමුදු දුටුගැමුණු කුමරුන් ගේ සේනාවේ සිටි මහාසෝණ හෙවත් රිටිගල ජයසේන යන්න මීට එක් කළ නොහැක්කේ එම නම් දෙක අතරේ භාෂාත්මක ගැටලුවක් පැන නඟින බැවිනි. පාලි භාෂාවෙන් සෝණ යනු සංස්කෘත බසින් ස්වර්ණ යන්න පැවසෙන රන් යන්න හැඳින්වෙන නමකි. ඉහත සඳහන් සොහොනා යන නම ශ්මාසන යන සංස්කෘත නමට තරමක් සමීප වූවකි. මෙම ශ්මාසන යන නමින් හැඳින්වෙන තවත් ප්‍රබල දේවතාවියක ද අප සමාජයේ ඇදහීමට ලක් වන්නීය. ඇය නම් කාලි දෙවඟන ගේ අවතාරයක් වන සොහොන් කාලි ය.

සඳ එළියෙන් දැක්ක රිටිගල ජයසේන නොවූ මහසෝනා

හින්දු දේව පුරාණවල එවැනි තොරතුරක් නැතත් අප සමාජයේ ඇදහීම්වලට අනුව සොහොන් කාලි යනු අතිශය දරුණු ප්‍රචණ්ඩ දේවතාවියකි. මහසෝන් යක්ෂයාගේ රූපකායට අනුව ඔහුට නෙත් තුනක් සහ අත් හතරක් තිබේ. මුහුණ වලසකුගේ, සුනඛයකුගේ හෝ වෘකයකු ගේ මෙනි. වාහනය සූකරයෙකි. හින්දු ආගමේ ප්‍රමුඛතම දෙවියන් වන ශිව හෙවත් ඊශ්වර දෙවියන්ට ද නෙත් තුනක් ඇති බව දේව පුරාණවල සඳහන්ය. එමෙන්ම ඉන්දුවේදයට සම්බන්ධ විද්වත්හු ශිව දෙවියන්ගේ එම තුන් වන නෙත සම්බන්ධ විවිධ අර්ථකථන දී තිබේ. නමුත් නෙත් තුනක් සේම අත් හතරක් ඇති බව පැවසෙන මහසෝනාගේ ඒ අසාමාන්‍ය ශරීරාංග පිළිබඳ අර්ථ විවරණයක් මට හමු වී නැත. එසේ වුවද එලෙස මිනිස් ඉන්ද්‍රියන් ඇති ප්‍රමාණික ලෙස පිහිටා තිබීම මත මහසෝනා ද රිටිගල ජයසේන පරපුරට වඩා හින්දු සම්ප්‍රදායට නෑකම් කියන්නකු බව පැහැදිලිව පෙනෙයි. රාවණා යනු හුදෙක් දේශීය නරපතියකු ලෙස විස්තර වුවද ඔහුගේ හිස් දහය සම්බන්ධ මූලාශ්‍රය වාල්මිකී විසින් ලියන ලද රාමායනය නම් වීර කාව්‍යයේ සඳහන් වන්නක් බව ද කිව යුතු ය. එමෙන්ම අප ජන සමාජයේ පිළිගැනීමට ලක් වන යකුන් අතුරින් උසම යකා වනුයේ ද මහසෝනා ය. පැරණි පොත පතෙහි දැක්වෙන අන්දමට ඔහුගේ උස අසූ එක් රියනකි. මෙම ජන විශ්වාසය උපුටා දක්වන ආර්.එල්. බ්‍රෝහියර් සූරින් තම Discovering Ceylon (1973) කෘතියෙහි මහසෝනා ගේ උස අඩි එකසිය විස්සක් වශයෙන් දක්වා තිබේ. “මහසෝනා පොල් ගහක් තරමට උසයි” යනුවෙන් සියනෑ කෝරල ගැමියන් පවසනු මම කුඩා කාලයේ අසා ඇත්තෙමි. එහෙත් එය “පොල් ගහක් වගේ දෙතුන් ගුණයක් උසයි” යනුවෙන් නිවැරදි විය යුතු ය.

මේ සියලු තත්ත්වයන් යටතේ පහතරට බලිතොවිල්වලදී මහසෝන් දේවතා යන නමින් ද හැඳින්වෙන මහසෝනා කෙරෙන් අප ජන සමාජයට එල්ල වන බලපෑම සම්බන්ධයෙන් ද මෙහි දී විමසා බැලිය යුතුය. අප ජන වහරට අනුව යමකුට මහසෝනා දර්ශනය වීම හැඳින්වෙනුයේ “මහසෝනා හදි ගැහීම” යනුවෙනි. දාහත් වන සියවසේ ලියැවුණු බව පැවසෙන ‘රාජාවලිය’ අනුව ‘හදි’ යනුවෙන් හානිය, විපත යන අරුත් පළවේ. ඒ අනුව මහසෝනා යමකුට විපත් හෝ හානි පැමිණ වීමට පෙර ඔහු දැකීමෙන් කිසිම විපතක් සිදුකරන බිහිසුණු යකෙකු බව පෙනේ.

මහසෝනා බෙල්ල කඩලා යන්න ගහනවා

සඳ එළියෙන් දැක්ක රිටිගල ජයසේන නොවූ මහසෝනා

‘මහසෝනා ගැහීම’ යන වදනට අප සමාජයට අතිශය හුරු වූවකි. නමුත් මීට දශක පහ හයකට පමණ පෙර ඉඳහිට අසන්නට ලැබුණු මහසෝනා ගැහීමෙන් මරණයට පත් වූ මිනිසුන් ගැන අද වන විට අසන්නට ඇත්තේම නැත. ඒ අනුව අප සමාජයේ බොහෝ දෙනකු සිතනුයේ වර්තමානයේ හෘදයාබාධ ආදියෙන් සිදුවන ක්ෂණික මරණවලින් සෑහෙන කොටසක් එවක මහසෝනාගේ මිනීමැරුම් ගිණුමට බැර වන්නට ඇති බවකි. එහෙත්, එවක මහසෝනා ගැහීම නිසා බව පැවසුණු හදිසි මරණ සම්බන්ධ ඊට වඩා සියුම් විද්‍යාත්මක හේතුවක් ද ඉස්මතු කර ගත හැක. මහසෝනා පිටුපසින් පැමිණ තමන්ට පහර දෙන්නේය යන බිය, සැක සහිතව රාත්‍රියට තනිව ගමනක් යන්නකු හිටිහැටියේ තමන් පිටුපසින් දැනෙන කිනම් හෝ තීව්‍ර සංවේදීතාවයකින් මහත් ප්‍රකම්පනයට ලක් විය හැක. එමෙන්ම ඒ මොහොතේ ඒවා යන්න අනූවේදනීය ස්නායු පද්ධතියේ (Sympathetic Nervous System) ක්‍රියාත්මක වීමෙන් මොළයේ මධ්‍ය ස්නායු පද්ධතියේ විධානයකින් තොරව වුව අධි වේගයකින් හිස ආපස්සට හැරවීමේ ස්වභාවික නැඹුරුවක් ඒ තැනැත්තා තුළ ඇති වීම ස්වභාවයකි. “ඒ වගේ වේගවත් විදිහට හිස හැරවීමක් වුණොත් ඒ තැනැත්තාගේ කොඳු නාරටිය මොළයයි සම්බන්ධ කරන කශේරුකා ධමනි (Vertebral Artery) දෙකෙන් එකක් ඉරී යන්න පුළුවන්. එහෙම වුණොත් ඒ තැනැත්තා ක්ෂණික මරණයකට පත් වෙනවා. මේ තත්ත්වය අධික වේගයෙන් අතුල් පහරක් වැදීමේ දී වගේම ඉහළ තැනකින් පහළට වැටීමේදීත් වෙන්න පුළුවන්. “බෙල්ල කඩලා යන්න ගහනවා”, බෙල්ල කඩා ගන්නවා වගේ යෙදුම්වලින් අපේ සමාජයේ හඳුන්වන්නේ ඔය සිදුවීමට තමයි, විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය වෛද්‍යරත්න එසේ කීය.

“මරණ පරීක්ෂණ කිහිපයක දීම මමත් ඔය ආකාරයට මියගිය කීප දෙනකුගේ දේහයන් ගැන වාර්තා නිකුත් කරලා තියනවා. නමුත් ඒවා වෙනත් අතුරු පහරදීම් මිසක් මහසෝනා ගහපු ඒවා නම් නෙවෙයි” ඔහු වැඩිදුරටත් කීය.

කෙසේ හෝ ඉහත ආකාරයේ බිහිසුණු යක්ෂයකු ගේ රූපයක් මගේ නිදි යහනේ සිට මීටර් සියයක පමණ දුරින් තබා ගත් එම රාත්‍රිය ගත කොට පසුදා අරුණෝදයට ඔන්න මෙන්න කියා තිබිය දී පිබිදුණෙමි. එවිට ද එම මහසෝන් රූපය ඡායාරූපයකට ගත හැකි මට්ටමක එලෙසම පැවතීම මත ඒ රූපය මෙසේ ඔබ හමුවට ගෙන ඒමට මට හැකි ව තිබේ… එමෙන්ම ඉන් පැයකට පමණ පසු හිරු හොඳින් පායා ආ පසු එදෙස බැලූ මට ඉතා හොඳින් පැහැදිලි වූයේ රාත්‍රියේ මා බියපත් කළ ඒ බිහිසුණු මහසෝනා අතු ඉහිරී ගිය පුවක් ගසක් බවකි. ඒ පුවක් ගසේ අත්තක් සුළඟට සෙළවීම මහසෝනා ගේ අත වැනීමක් සේ මට පෙනී තිබේ. අප ජන විඥානයේ ඇති මහා බලගතු මහසෝන් යක්ෂයා දෙස සංස්කෘතික දෘෂ්ටිකෝණය ඉවත ලා යථාර්ථවාදීව බලන්නකුට මෙවන් දසුන් මඟින් මීට වඩා යමක් තහවුරු කර ගත නොහැක.

තිලක් සේනාසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment