13 වන ව්‍යවස්ථා දෙබරය සහ ජාතික සමගිය!

242

සමාජ දේශපාලන ක්‍ෂේත්‍රවල තවමත් ප්‍රමුඛ අවධානය යොමුව ඇත්තේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව තිබෙන අවිනිශ්චිත භාවය ගැන ය. එහෙත් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අඛණ්ඩව විදුලිය ලබාදීම ගැන ද ප්‍රබල සංවාදයක් මතුව තිබේ. ඊට අමතරව 75 වන නිදහස් දිනය සැමරීම හා 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධ වාද විවාදත් ඇසෙයි. මේ සියලු කාරණාවල දී ආණ්ඩුව එක පාර්ශ්වයක් ලෙසත් විපක්ෂ වෙනම කණ්ඩායම් ලෙසත් ක්‍රියා කරන ආකාරය ද ඉතා පැහැදිලි ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ න්‍යාය පත්‍රයේ වැදගත්ම කරුණු බවට පත්ව තිබෙන්නේ 75 වන නිදහස් දිනය චාම්ව, අභිමානවත්ව හා වැඩි වැයක් නොදරා පැවැත්වීම හා නිදහසට පෙර උතුරේ විරසකයට විසඳුමක් ලබා දී මය. රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය වෙන වෙනම තම සිතැඟි පරිදි මේවාට ප්‍රතිචාර දක්වන ආකාරය ද පුරවැසියෝ බලා සිටිති. ඒ පුරවැසි සමාජය ද තවත් ප්‍රශ්න ගණනාවකින් ම කැළඹීමට පත්ව තිබෙන බව ද පෙනේ. මේ හැම ක්‍රියාදාමයක් සමගම බැඳුණු දේශපාලනයක් ද ඇත. ඒ දේශපාලන මෙහෙයුම් – මැදිහත්වීම්වලින් රටට හෝ ජනතාවට ලබාදෙන ප්‍රතිලාභ හා යහපත ගැන ද විවේචන තිබේ.

ලබන මාර්තු 09 වැනිදාට පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් පාලන ඡන්දය සඳහා විපක්ෂයේ ස.ජ.බ., ජා. ජ. බ. මෙන්ම නිදහස් ජනතා සන්ධානය ද මේ වනවිටත් ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබේ. එහෙත් එම මැතිවරණය සම්බන්ධයෙන් ආණ්ඩුව දක්වන ඈලි මෑලි ප්‍රතිචාරය ද ඉතා පැහැදිලි ය. මැතිවරණය කල් දමාගැනීමට ආණ්ඩු පාර්ශ්වය විසින් දියත් කරන ලද මෙහෙයුම් ගණනාවක්ම විය. මේ වනවිට ඒවා සියල්ල ම නිෂ්ක්‍රීය වී තිබෙන්නේ ආණ්ඩුවේ නායකයන්ට මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ට ද චෝදනා නඟමින්ය. ඇත්තට ම ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂය මෙන්ම ක්‍රියාවිතයන් පිළිබඳව ද බහුතරයකට ඇත්තේ අවිශ්වාසයකි. මෙය බරපතළ කරුණකි. දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳව වඩාත් උනන්දු වන රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් විධායකයේ සිටියදීත් මෙබඳු ක්‍රියාකාරකම් සිදුවීම ද විස්මය ජනකය.

ආණ්ඩුව සහ මැතිවරණ කොමිසම අතර තිබෙන විරසකය රහසක් නොවේ. මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවාගේ භූමිකාව ගැන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වල මෙන්ම බහුතර ජනතාවකගේ ද ප්‍රසාදය හිමිව තිබේ. ඇත්ත වශයෙන්ම ඔහු ඍජුව ම, නොපැකිලිවම මෙම මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට කැප වී සිටින බව පැහැදිලිව පෙනේ. ඔහු ආණ්ඩුවට වුවමනා රූකඩයක් නොවූ අතර, මැතිවරණ ක්‍රියාදාමයට බාධා කරන පුද්ගලයන් ද හඳුනාගැනීමේ සමාජ විඥානයක් සහිත අයෙකි. ආණ්ඩුවේ අනුදැනුමක් ඇතිව බලපෑම් සිදු කරන ලදැයි සැක කරන රාජ්‍ය පරිපාලන ලේකම්වරයාට ඍජුවම විරෝධය දැක්වීමට ද ඔහු පසුබට නොවීය. අන්තිමේ දී ලේකම්වරයාට සමාව අයැදීමට ද සිදු විය. එහෙත් ආණ්ඩුව කොමිසම තුළ බෙදීමක් අපේක්ෂා කළේය. එහි එක් සාමාජිකාවක වූ පී. එච්. එම්. චාල්ස්ගේ ප්‍රතිචාරය ද තවමත් අපැහැදිලිය. ඇයගේ ඉල්ලා අස්වීම නිසැකයෙන්ම ස්වාධීන කොමිසම් සම්බන්ධයෙන් ද විවිධ ප්‍රශ්න මතු කරන්නකි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට එල්ල වී ිතිබෙන මැර තර්ජන කෙබඳු වුවත් සිය කාර්ය භාරය ඉටු කරන බව එහි සභාපති පුංචිහේවා ප්‍රකාශ කරද්දී ඔහු ගැන ආඩම්බරයක් ද ඇති වෙයි. ඇත්ත වශයෙන්ම මෙරටේ සත්‍යය හා යුක්තිය නොතකා දේශපාලන බලධාරීන් අභියස නැවෙන නිවටයන්ට මේ පුංචිහේවා ලොකු ආදර්ශයක් ලබා දී තිබේ. කුමක් වුවත් ඩුබායි සිට කෙරෙන මරණ තර්ජනය ගැන ආණ්ඩුව වගකිව යුතු බව ද පැෆරල් සංවිධානයෙහි රෝහණ දිසානායක පැවසූ බවක් ද වාර්තා විය. මොනවා වුවත් ඒ මැර පාදඩයා රටට හෙළි කිරීම පොලිස්පතිවරයාගේ වගකීමය.

13 වන ව්‍යවස්ථා දෙබරය සහ ජාතික සමගිය!

පළාත් පාලන මැතිවරණයට රුපියල් බිලියන 10 ක් වැය කිරීමට මෙම ආර්ථික අර්බුදකාරී වාතාවරණය තුළ අසීරු බව පිළිගත හැකිය. එහෙත් ඒ මුදල තමන්ට ලබාදෙන ලෙස හඬා වැටෙන ඇමැතිවරුන් ගැන නම් අපට විවේචන තිබේ. ඒ එක් ඇමැතියෙක්වත් මෙතෙක් මේ රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට දුන් දායකත්වය කුමක්ද? අදත් වී ගොවියා මහමග ය. ඔවුන්ගේ ප්‍රශ්න ඉහින් කනින්ය. එහෙත් ඇමැතිවරයාට සැලැස්මක් නැත. සෞඛ්‍ය ඇමැතිටත් ඒ බිලියන 10 ගැන ආශාවක් තිබේලු. මේවා ගැන කිවයුත්තේ කුමක්ද? පැණසර නොවන ඇමැතිවරුන් නිසා රට අගාධයට යන බව නම් අපට කිව හැකිය. ඇත්ත වශයෙන්ම මෙම මැතිවරණය වෙනුවෙන් වැය කෙරෙන මුදල් නාස්තියක් හෝ නිෂ්ඵල දෙයක් යැයි කිව හැකිද? එයින් රටට ලැබෙන යහපතක් තිබේදැයි ප්‍රශ්න කරන වචීපරම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනඥයන්ට දිය හැකි පිළිතුරු නම් ගණනාවක් තිබේ.

මේ රටට නිදහස ලැබීමෙන් පසු පැවැත්වුණු මැතිවරණ සියල්ල ම දේශපාලන කඳවුරුවලටත්, බලලෝභී පක්ෂවලටත් ලබාදුන් ප්‍රතිඵල සමග සසදනවිට නම් මැතිවරණ කුමටදැයි යන්න සාධාරණ ප්‍රශ්නයකි. ඡන්දවලින් සමෘද්ධි උදා වූයේ සීමිත පැලැන්තියකට බව ද සැබෑවකි. ඇත්තට ම ග්‍රාමීය මට්ටමේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලෙස ඒ නගර, ගම් සභා වර්ධනය වූයේ ද නැත. එහෙත් ඒවා ගමට – පළාතට සාධනීය මෙහෙවරක් සිදු කළ හැකි ආයතන බවට පත් කරගත යුතුය. එහෙත් මේ පළාත් පාලන ආයතන පොදු ජනතාවගේ ප්‍රසාදය දිනා ගෙන නැත. ගමට, පළාතට සේවයක් කළ හැකි ආයතන ලෙස ඒවා ප්‍රතිසංස්කරණය කළ යුතු බව අපගේ යෝජනාවය. තවමත් ඡන්දය හා ප්‍රජාතන්ත්‍රවාදය සීමා වී තිබෙන්නේ කතිර සටනට ය. ජනතාව නොතිර කතිර සාගරේ පාවෙති. එයින් බලය ලබා ගන්නා අයත් ඔවුන්ගේ පවුල් නෑ හිතවත්හු ආදියත් ගොඩ යති. මේ අමන දේශපාලන සංස්කෘතිය ද වෙනස් විය යුතුය.

පළාත් පාලන මැතිවරණයට මුදල් වැය කිරීම නාස්තියක් නම් 75 වන නිදහස් උත්සවයට වියදම් කිරීම සුදුසුදැයි ප්‍රශ්න කරන අය ද සිටිති. ආණ්ඩුවේ නායක කාරකාදීන්ට අනුව 75 වන නිදහස් සැමරුමවත් කර ගන්නට නොහැකි රටක් ලෙස ලෝකය අපට සිනාසෙනු ඇත. එහෙත් ශ්‍රී ලංකාව ගැන තිබෙන ලෝක චිත්‍රය අනුව නම් ජාත්‍යන්තරයට අප ගැන අමුතු කියැවීම් වුවමනා නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විවිධ ජගත් සංවිධාන මෙරටේ ආර්ථික ඝාතකයන් හරියටම හඳුනා ගෙන හෝ නැතිව හෝ අප දූෂිත, වංචා සහගත ක්‍රියාකාරකම්වලින් අගතියට ගිය බව නම් දන්නා බව අපගේ අදහසය.

නිදහස් උත්සවයට විපක්ෂයේ සහභාගිත්වයක් නැති බව ප්‍රකාශ වී ඇත. සාමාන්‍යයෙන් මෙරටේ ජාතික නිදහස් උත්සවය යනු බලයේ සිටින කණ්ඩායමේ නායකයන්ගේම සැණකෙළියක ලෙස පැවැත්වෙන්නකි. කුමක් වුවත් මෙම බල දේශපාලනයට උචිත රාජ්‍ය උත්සවයක් ලෙස නිදහස සැමරීමට වඩා අමුත්තක් මෙවර ද සිදු නොවනු ඇත. නිදහස් උත්සවය වෙනුවෙන් පැවැත්වෙන හමුදා ආචාර, වෙඩිමුර ආදිය පිළිබඳව මහජන මුදල් හා ජාතික ධනය වැය කරන ආකාරය ගැන හැමදාමත් විවේචන තිබිණි. ජනතාව මෝඩයන් මෙන් ඒ සැණකෙළි මල් වෙඩි නරඹා ප්‍රීති වන බව ද සමහරු කියති. ඒවා නිදහස් උත්සවයක අනිවාර්ය අංග ලෙස උත්සව සංවිධායකයෝ ද කල්පනා කරති. මෙම නිදහස් උත්සවයේ ද ඇතැම් වියහියදම් ජනාධිපතිවරයාගේ ද පුදුමයට හේතු වූ බව වාර්තා විය. ඩී. ඇස්. සේනානායකගේ පිළිරුවට මල්මාල පැලඳවීමට රු. 97000/= ක් හා ජාතික ගීය ගායනයට ලක්ෂ 18ක් ලෙස තිබුණු ඇස්තමේන්තුව ගැන ද විවේචනය විය. ජාතික නිදහස් උත්සවයක දී පමණක් නොව රජයේ ඇතැම් උත්සවවලදීත් ලක්ෂ නොවන කෝටි ගණනින් මුදල් වැය කෙරෙන අවස්ථා ගැන කවුරුත් දනිති. මේවා මූල්‍ය කළමනාකරුවන්ගේ අවධානයට යොමු විය යුතු දේවල්ය. වැඩක් හරියට නොකිරීම හා එයින් ගසාකෑම වෙනම දෙයකි. එහෙත් නිදහසේ 75 වන වසර සුවිශේෂ කඩඉමක් ලෙස සරලව පැවැත්වීම නොවේ. නිදහස් උළෙලේ දී ජාතිය ඇමතීම හෝ එයින් වැළකී සිටීම ජනාධිපතිවරයාගේ අභිමතයකි. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නිදහස සැමරීම ද පාලක පක්ෂයේ වගකීම්ය.

පළාත් පාලන මැතිවරණ වියදම ගැන හූල්ලන මැති ඇමැතිවරුන් විසින් රටේ ජනතා මුදල් වැය කරන ආකාරය ගැන කතාවක් නැත. ඔවුන්ගේ සුපිරි පරිභෝජන රටාව ගැන බොහෝ විවේචන ද තිබේ. මෙරටේ ප්‍රභූ වියදම් – විශාල ඇමැති මණ්ඩල ගැන කතා කිරීම පවා නිශ්ඵලය. අපට ණය ලබාදී තිබෙන විශාල රටවල් වන ඉන්දියාව මෙන්ම චීනය ද මෙරටේ ඇමැති බර ගැන නොදැන සිටී යැයි කිව හැකිද? පසුගිය දිනක සමාජ ක්‍රියාකාරයකු පවසා තිබුණේ මෙරටේ ප්‍රභූවරුන් සඳහා සුඛෝපභෝගී වාහන 5000 ක් තිබෙන බවකි. ඔවුන්ට රැකවරණය දීමට පොලිසියේ විශාල පිරිසක් ද වෙන්කර ඇති බවකි. ඉන්ධන වියදම ගැන ද විවේචන තිබේ. මේ කරුණු ගාලු මුවදොර විරෝධතාවෙහිදීත් මතු වූ දේවල්ය. එහෙත් තවම ඉදිරියට යන්නේ ද ඒ ප්‍රතික්ෂේප වූ ක්‍රියාමාර්ග හා දේශපාලන චර්යාවන්ම පමණි.

දැන් අපි විදුලි කප්පාදුව මුල් කරගෙන ඇති වූ ගැටුම වෙත යොමු වෙමු. විදුලිබල ඇමැතිවරයා හා මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අතර තිබෙන ද්වන්ද සටනේ උච්චතම අවස්ථාව දැන් එළැඹී තිබේ. ඇමැතිවරයාට අනුව සභාපතිවරයා ගෙදර යැවීමට සූදානමක් ඇත. සභාපතිවරයා ද සටන අත්නොහරී. මේ වනවිට දෙපැත්තේ වැඩ ගැන ද හෙළි වී තිබේ. විදුලිබල ඇමැති කියන ආකාරයට ඔහුට ආණ්ඩුවේ කිසිදු ධුරයක් දැරීමට සුදුසුකම් නැත. එසේ නම් මේ නුසුදුසු පුද්ගලයකු එම ධුරයට පත් කළ හිටපු ජනාධිපතිවරයා ඒ වගකීම භාර ගත යුතුය. කොහොමටත් රාජපක්ෂලාගේ ක්‍රමය සුදුසුකම නොව තමන්ට තිබෙන පක්ෂපාතීත්වය බවට විවේචනයක් ද ඇත. (මෙම කොමිසමේ සංයුතිය දෙස බැලූ විට ද එය තහවුරු වේ. එසේ වුවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙන්ම මේ කොමිසමේ ජනක රත්නායක ද අද ආණ්ඩුවට අභියෝගයක් වී සිටියි. මේ ද්වන්ද සටනේ ප්‍රතිඵලය අනුව ජනක ඛේදජනක ද? බිය ජනක ද එසේත් නැත්නම් හාස්‍ය ජනක ද යන්න අපට දැක බලා ගතහැකිය. කුමක් වුවත් මේ රටේ අහිංසක දරුවන්ට සිය ජීවිතයෙහි අතිශය වැදගත් කඩඉමක් සමග සූදු කෙළින විදුලිබල ලොක්කන්ට සමාවක් දිය නොහැකි බව ද කිව යුතුය.

අවසන් වශයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවට කරන ලද ප්‍රකාශය ගැන ද විමසා බලමු. ජනාධිපතිවරයාට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවීම සඳහා ඔහු බැඳී සිටියි. එය සත්‍යයකි. එහෙත් 13 වන සංශෝධනය පිළිබඳ ඉතිහාසය හා යථාර්ථය කුමක්ද? එය ජනාධිපති රනිල් ඉඳුරා දන්නා දෙයකි. එසේ වුව ද මේ කරුණු කීපය සටහන් කළ යුතුය. මෙම 13 පිළිබඳව තිබෙන ප්‍රබල විවේචනය වන්නේ එදා එනම් 1987 දී ඉන්දියාවේ මැදිහත් වීමෙන් මෙය අපේ ව්‍යවස්ථාවට බලයෙන් ඇතුළු කරන ලද බවය. එහෙත් එදා රාජ්‍ය නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකළේය. එයට හේතු වූයේ ඒ පිළිබඳව මහජන විරෝධයක් එල්ල විය හැකිය යන අදහස ජයවර්ධන ජනාධිපතිවරයා පිළිගත් නිසාය.

අනෙක් වැදගත්ම කරුණ වන්නේ මේ සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතරය එකඟ වුවත් එයට එකඟ නොවූ විනිශ්චයකාරවරුන්ගේ අදහසය. ඒ විනිශ්චය අනුමත නොකළ සිවු දෙනාගේ මතය වූයේ එම සංශෝධනයෙන් රාජ්‍යයේ ඒකීය භාවයට පහරක් වදින බවත් ජනතාවගේ පරමාධිපත්‍ය අන්සතු කිරීමක් එයින් සිදුවන බවත්ය. එයින් පෙනී යන්නේ ජයවර්ධන ජනාධිපති තුළ වුව ද සැකයක් තිබුණු බවය. ඒ නිසා ඔහු එය ක්‍රියාත්මක නොකළ බව සමහර නීතිවේදීහු ද පවසති. එදා සිට මෙරටේ ජනතාවගේ අනුමැතියෙන් පත්වූ කිසිදු ජනාධිපතිවරයකු එයට අත නොගැසූ බව ද පෙනේ.

ජනාධිපති රනිල් පසුගියදා කැඳවූ වටමේස සාකච්ඡාවට විපක්ෂ නායක සජිත් හා ජා. ජ. බ. නායක අනුර කුමාර ද එක් නොවූහ. ස. ජ. බ. රාජිතට ඒ පිළිබඳ මතයක් තිබුණත් එය පක්ෂයේ මතය නොවිය හැකිය. ඔහුගේ නියෝජනය පක්ෂය අනුමත කළ එකක් ද යන්නත් පැහැදිලි නැත. මෙහිදී ජනාධිපති රනිල්ට 13 සංශෝධනය ක්‍රියාත්මක කිරීමට බලයක් නැති බව පොහොට්ටුවෙන් ඈත් වී සිටින ගෙවිඳු කුමාරතුංග කීවේය. ඔහුගේ මතයට පොහොට්ටුවේ නායක මහින්ද හෝ අගමැති දිනේෂ් හෝ කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම ද කැපී පෙනුණි. අතුරලියේ රතන හිමියන්ගේ ද අදහස වෙනස් එකක් බව පෙනුණි. මෙහිදී ජනාධිපතිවරයා ගෙවිඳුට දැක්වූ ප්‍රතිචාරය යහපත් එකක් නොවූ බව ද අපගේ අනුමානයයි. ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථානුකූලව ජනාධිපතිට හිමිවන්නේ, ගෝඨාභයගේ ධුර කාලයෙන් ඉතිරිව තිබෙන ප්‍රමාණය අනුව පාලනය කිරීම බව ඉන්පසු සිදු වූ විවේචනවල ද හරය විය. වඩාත් වැදගත් කාරණය වන්නේ පසුව නාරාහේන්පිට අභයාරාමයේදී මහින්ද හා දිනේෂ් අබියස දීම මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් 13 ක්‍රියාත්මක කිරීමට එරෙහිව සංඝයා වහන්සේලා සමග විරෝධය දැක්වීමය. එසේම පොහොට්ටුවේ ලේකම් සාගර ද අවධාරණය කළේ 13 දෙන්න කලින් ගැඹුරු අධ්‍යයනයක් කළ යුතු බවය.

මේ සියල්ල තුළින් පැහැදිලි වන්නේ 13 වන සංශෝධනය ප්‍රශ්නකාරී විය හැකිය යන අවිනිශ්චිත බවය. එහිදී ජනාධිපති රනිල් විවෘතවම ප්‍රකාශ කළේ තමන් කිසිවිටෙක රට බෙදීමට මෙන්ම සිංහල ජාතිය ද පාවා නොදෙන බවය. ජනාධිපතිවරයාගේ ජනවරම ගැන ප්‍රශ්න නොකළත් ඔහුට සිය අභිමතය පරිදි මේ කාර්ය කළ හැකිද යන ප්‍රශ්නය අපට ද තිබේ. අද ජනතාවට වර්ගවාදී යුද්ධ අවශ්‍ය නැත. එය උතුරේ ජනතාවට ද අදාළ ය. එසේ නම් මෙහිදී හදිසි නොවී නිස්කලංකව මෙම ප්‍රශ්නය පුළුල්ව සාකච්ඡා කිරීම ඉතා වැදගත්ය. උතුරේ සමහර දෙමළ නායකයන්ට වුවමනා ෆෙඩරල් ක්‍රමයට දකුණේ බහුතරයක් එකඟ නොවෙති. දැනටමත් මහානාහිමිවරුන් විසින් යම් යම් කරුණු මතු කරනු ලැබ ඇත.

ජනාධිපති රනිල්ට ගෝඨාභය විසින් රට දෙන ලද අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව අනුව ද මෙහිදී ක්‍රියාත්මක විය හැකිය. 13 අවශ්‍යද? අනවශ්‍යද? යන්න මෙන්ම ඒකීය රටක් තුළ මේ සියලු ජන කොටස්වලට සාමයෙන් සහජීවනයෙන් ජීවත් විය හැකි ආණ්ඩුක්‍රමයක් සාදා ගැනීමට සියලු පක්ෂ මෙන්ම නායකයන් ද එක් කර ගැනීමට ජනාධිපති රනිල්ට හැකි වන්නේ නම් මේ ප්‍රශ්නය විසඳූ රාජ්‍ය නායකයා ලෙස ඔහු ඉතිහාසයට ද එක් වනු නිසැකය. මේ සියලු කලබල සමනය වී එළැඹෙන පළමු අවස්ථාවේදී ඒ සඳහා සියල්ලෝම එනම් සිංහල, දෙමළ හා මුස්ලිම් නායකයෝ එක් විය යුතු වෙති. ඒ අනාගත දැක්ම කාට කාටත් පහළ වේවා!

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment