සුළු සුළු තරම් නෙමෙයි එළවළු මිලත් ගිනි ගණං

198

අසාමාන්‍ය විදිහට එළවළු මිල වැඩි වෙලා තියෙන්නෙ සිල්ලර වෙළෙඳපොලේ…
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම්

ඉදිරියේදී තවත් එළවළු මිල වැඩි වෙනවා…
නුවරඑළිය ආර්ථිකයේ ලේකම්

බීජ මිල අසීමිත ලෙස වැඩි වෙලා, කළුකඩකාරයන් හිතුමතේ ගණං කියනවා…
උඩරට පහතරට ගොවීන්ගේ පොදු හඬ

එළවළු වගාවට වැස්සෙනුත් ලොකු හානියක් වුණා…

එළවළු මිල වැඩි කරන අතරමැදියන් පාලනය කරන්න අදාළ බලධාරීන්ට කොන්දක් නෑ…

එළවළුත් කාලා හමාරය. උඩරට එළවළු මිල දකිනවිට හදවත පිච්චෙන තරම්ය. පහත රට කියා වෙනසක් නැත. සියලු එළවළු මිල වැඩිය. නගරයේ එළවළු කඩේ කැරැට්, ලීස්, බෝංචි, බීට්රූට්, වම්බොටු, කරවිල, වැටකොලු ග්‍රෑම් 250 රුපියල් 100 ට වැඩිය. සෙසු එළවළු ග්‍රෑම් 250 රුපියල් හැත්තෑවට වැඩිය. ලංකා අල, බී ලූනු මිල දකිනවිට මුහුණ ‘අල’ වෙන ගානය. සුපිරි වෙළෙඳසලේ එළවළු මිල ඇස ගැටෙනවිට දෑස් නළලෙ නතර නොවෙන්නේ ඇති වෙන්න මුදල් ඇති අයට සහ ජාවාරම්කාරයන්ට පමණි. සුපිරි වෙළෙඳසලේ එළවළු තුනහතරක් හැර සෙසු සියලුම එළවළු ගෑම් 100 ක මිල රුපියල් 50 ට වැඩිය. එහෙත් පිටකොටුව බෝගහයට පොළේ එළවළු මිල තරමක් අඩුය. ඇතැම් එළවළුවල ග්‍රෑම් 500 රුපියල් 90 ට අඩුය.

“පහුගිය සතියේ ඉඳලා එළවළු මිල චුට්ටක් වැඩි වුණා. නැති නම් ගොඩක්ම අඩු වෙලා තිබුණේ. අපි ලොකු ලාභ තියාගන්නෙ නෑ. කුණු වෙන්න ඉස්සෙල්ලා බඩු ටික විකිණීම තමයි අපේ ටාගට් එක. එළවළු වෙළෙඳාම තනි මාෆියාවක්. ගොවියත් සූරගෙන, පාරිභෝගිකයත් සූරගෙන මල්ල වැඩි කරගන්න නල්ලමරේ අතරමැදි වෙළෙන්දො නිසා අපිටත් මේ වෙළෙඳාම එපා වෙලා තියෙන්නේ. කරන්න දෙයක් නැතිකමට කරනවා. ඇති ලාභයක් නෑ…” එළවළු මිල ගණන් විමසා බැලීමට පිටකොටුව පොළට ගිය අවස්ථාවේදී තරුණ එළවළු වෙළෙන්දෙක් අපට එසේ කීවේය. මෙරට එළවළු වෙළෙඳ මාෆියාව අද ඊයේ පටන්ගත්තක් නොවේ. කාලයක සිට ප්‍රසිද්ධියේ කරගෙන යන කළු කඩ වෙළෙඳාමකි. විවිධ පාර්ශ්ව, මාධ්‍යයෙන් එළුවළු මාෆියාව ගැන රටට හෙළිදරව් කළ අවස්ථා එමටය. එහෙත් බලය රැකගැනීමට සහ බලය ගැනීමට පොරකන, සිටි සහ සිටින කිසිදු පාලකයෙක් රටේ පවතින එළවළු පමණක් නොව විවිධ වෙළෙඳ මාෆියා නැති කිරීමට විසඳුම් ලබා නොදුන්නේය. එවැනි කාලකණ්ණි සිතුවිලි මනසේ හොල්මන් කරන විට මම දුරකථනය ඔස්සේ නුවරඑළියේ ගොවියෙක් සම්බන්ධ කර ගත්තෙමි. හේ සරත් කරුණාතිලක. නුවරඑළියේ ප්‍රසිද්ධ
ගොවියෙකි.

මේ දවස්වල බිස්නස් කොහොමද…?

“බිස්නස් ලොස්ට්. වගාව ගැන කතා කරනකොට ඔළුව අවුල් වෙනවා. බීජ මිල අසීමිත විදිහට වැඩි වෙලා තියෙනවා. රුපියල් හැත්තෑ පන්දහසට තිබුණු කැරැට් බීජ කිලෝව දැන් එක්ලක්‍ෂ අසූහයදහසක් වෙනවා. ගිය අවුරුද්දෙ අර්තාපල් බීජ හොන්ඩරය ගත්තෙ රුපියල් විසි දෙදහසට. මේ අවුරුද්දෙ හොන්ඩරය තිස්පන්දහසයි. අක්කරයකට අර්තාපල් බීජ හොන්ඩර දහසයක් යනවා. රුපියල් එක්දහස් පන්සීයට තිබුණු අර්තාපල් පොහොර මිටිය දැන් දාහත්දාහස් පන්සීයයි. රුපියල් අටසීයට තිබුණු කිලෝ එකේ දිලීර නාශකය දැන් හාරදාහස් තුන්සියයි. රුපියල් නවසීයට තිබුණු පණු බෙහෙත් එක දැන් හාරදාහස් හත්සීයයි. වැඩි මිලට හරි තවම අඛණ්ඩව රසායනික පොහොර, බෙහෙත් ටික ලැබෙන්නෙත් නෑ. නුවරඑළිය පැත්ත පළාතක භූමිතෙල් නෑ. දැනට දෙන භූමි තෙල් ලීටර් විස්ස වගා බිමකට දවස් දෙකක් වතුර දාන්නත් මදි. ඒ වගේම වැස්සෙන් සහ පෑවිල්ලෙනුත් වගාවට ලොකු හානි සිද්ධ වුණා. සඳතැන්න, මීපිළිමාන, අඹේවෙල, පට්ටිපොල, ශාන්තිපුර ප්‍රදේශවලට තද වැසි නිසා වගා පාළු වුණා. කඳපොළින් එහාට දරුණු පෑවිල්ල නිසා වගා පාළු වුණා. භූමිතෙල් තිබුණා නම් වතුර දාලා වගාව ආරක්‍ෂා කරගන්න තිබුණා. භූමි තෙල් නැති එක වගාවට බරපතළ හානියක්. මේ ගැටලු නිසා ගොවීන්ට වගා කරන්න බැරි වුණා. ඒ වගේම මේ වෙනකොට 50% ක් විතර ගොවියො වගාවෙන් ඉවත් වෙලා. ඉදිරියට නුවරඑළියේ එළවළු මිල තවත් වැඩි වෙනවා. නුවරඑළියේ විතරක් නෙමෙයි එළවළු වගා කරන සෑම ප්‍රදේශයකටම මේ නස්පැත්තිය පොදුයි. සමාගම් නියම කරන මිලට රසායනික පොහොර, බෙහෙත් ගන්න වෙනවා. මේ ගැටලුව මතු වුණේ කාබනික පොහොර මඟුලත් එක්ක. තව අවුරුදු දෙක, තුනකින්වත් මේ ගැටලුව විසඳෙයි කියලා හිතාගන්න අමාරුයි…” නුවරඑළියේ ගොවි මහත්මයෙක් වගා ගැටලු එසේ වචන කරනවිට ඔවුන්ගේ අස්වැන්නට මිල තීරණය කරන නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ ලේකම් අරුණ ශාන්ත හෙට්ටිආරච්චිට ද අපි කතා කළෙමු. පවතින එළවළු මිල සම්බන්ධයෙන් ඔහු කීවේ මෙවැනි කතාවකි.

“සාමාන්‍යයෙන් උත්සව සමය ළං වෙනකොට එළවළු මිල වැඩි වෙනවා. මේ වතාවේ හිතාගන්න බැරි විදිහට මිල වැඩි වුණා. ඒකට ප්‍රධාන හේතුව වසර දෙකකට වැඩි කාලයක සිට පවතින රසායනික පොහොර, බෙහෙත් ගැටලුව. මේ ප්‍රශ්නය නිසා අක්කර බාගය, කාල වගා කරගෙන හිටපු සුළු ගොවියො නැත්තට නැති වුණා. නිෂ්පාදන වියදම දරාගැනීමට බැරි ගොවීන් වගාවෙන් ඈත් වෙලා. දැනට නුවරඑළියේ එළවළු වගාවේ නිරත වෙලා ඉන්නෙ මහා පරිමාණ ගොවීන් කිහිපදෙනෙක් විතරයි. පාරිභෝගිකයාට වාසි වන විදිහට මිල පාලනයක් වෙන්න නම් සුළු ගොවීන්ගේ සහ මහා පරිමාණ ගොවීන්ගේ එළවළු පොදුවේ ලැබෙන්න ඕනෑ. දැන් එහෙම වෙන්නෙ නෑ. ලබන මාසෙ වෙනකොට කැරට්, ලීස් කිලෝවක තොග මිල රුපියල් හාරසියට වඩා වැඩි වෙනවා. අර්තාපල් ගැනුම් මිල දැනටත් තුන්සීය අසූවයි. බීට්රූට් ගැනුම් මිල දෙසීය පනහ, තුන්සිය අතර මිල වෙනවා. බෝංචි තොග ගැනුම් මිල තුන්සිය හැත්තෑව, හාරසිය අතර පවතිනවා. මාළු මිරිස් තොග ගැනුම් මිල අටසීයට වැඩියි. ලබන මාසෙ වෙනකොට සාමාන්‍ය මිනිසුන්ට එළවළු කෑම ගැන දෙපාරක් හිතන්න වෙයි. මේක උඩරට ගොවියට විතරක් තියෙන ගැටලුවක් නෙමෙයි. රටේ සමස්ත ගොවීන්ට තියෙන ගැටලුවක්…” සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්තගේ අනතුරු ඇඟවීම සරලව ගත යුත්තක් නොවේ. එහෙත් මෙරට වගා කටයුතු, වෙළෙඳාම සම්බන්ධයෙන් සිටින බලධාරීන් සහ නිලධාරීන්ගේ මන්දබුද්ධිකකම නිසා එම අනතුරු ඇඟවීම වැදගැම්මක් නැති විය හැකිය. උඩරට එළවළු වගාවට ඇති ගැටලු සහ මිල වැඩිවීමට බලපෑ කරුණු එසේ පෙළගැසෙනවිට රාජංගනයේ ගොවි මහත්මයෙක්ව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කරගනිමින් අදාළ ගැටලුව ගැන සාකච්ඡා කළෙමු. ඔහු ටෙරන්ස් ගාමිණිය. රාජංගනය ගොවි ජනපදයේ පැරැණිතම ගොවියෙකි. වගාවේ විනාශය ඔහු දකිනුයේ මේ අයුරිනි.

“අපේ ගම් ප්‍රදේශයේ අල, කැරට්, ලීක්ස් නැතිව හැම එළවළුවක්ම වගා කරනවා. වම්බොටු, බණ්ඩක්කා, පතෝල, කරවිල, මෑ කරල් විශාල වශයෙන් වගා කරනවා. පහුගිය කාලේ හොඳටම වැස්ස නිසා වගා පාළු වුණා. යන්තමින් හරි බේරුණු වගාවලත් අස්වැන්න අඩුයි. තියෙන අස්වැන්නටත් මහ ලොකු මිලක් ගොවීන්ට ලැබෙන්නේ නෑ. අපි දුක්විඳිනවා. අතරමැදි වෙළෙන්දො එහෙට, මෙහෙට කතා කරලා අධික ලාභ ගන්නවා. ඒ වගේම රසායනික පොහොර, බෙහෙත් නැති නිසා ගොවීන් බහුතරය ගොඩ ගොවිතැන අතහැර මඩ ගොවිතැනට යොමු වුණා. ඒත් මෙවර කන්නයේ වීවලට හරි මිලක් නෑ. ආණ්ඩුව පිටරටින් සහල් ගෙනත් වෙළෙඳපොළට නිකුත් කරනවා. අපේ වීවලට හරි මිලක් දෙන්නේ නෑ. මෝල්කාරයො තුට්ටුවට දෙකට වී එකතු කරනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි. නිෂ්පාදන වියදම තුන් ගුණයකින් විතර වැඩියි. වීවලට හරි මිලක් නැතිව කන්නය පාඩු වුණොත් අපිට වෙන්නේ වස බීලා මැරෙන්න…” අප කතා කළේ එළවළු වගාව ගැනය. ගාමිණී ගොවි මහතා වැඩියෙන් කතා කළේ මිලක් නැති වී අස්වැන්න ගැනය. රාජාංගනයේ වීවලට මිලක් නැති ගැටලුව බරපතළය. එහෙත් පෙළගැසෙන කතාව එළවළුය. එහෙයින් අපි සූරියවැව ප්‍රදේශයේ එළවළු මිල ගැන විමසීමට රංජිත්ට කතා කළේය. ඔහු සූරියවැව ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගොවි මහත්මයෙකි.

“පහුගිය දිනවලට සාපේක්‍ෂව එළවළු මිලේ පොඩි වැඩිවීමක් තියෙනවා. තක්කාලි කිලෝව රුපියල් 150 යි. මෑකරල් කිලෝව තොග මිල රුපියල් 250-270 අතර පවතිනවා. කරවිල කිලෝව රුපියල් 250 යි. පිපික්‍ද්ක්‍දා කිලෝව රුපියල් 30 යි. වටක්කා කිලෝව 40-50 යි. තලන බටු කිලෝව 220-230 අතර පවතිනවා. දඹල කිලෝව රුපියල් 120-140 යි. එළවළු මිල වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ පහුගිය කාලේ එක දිගට ඇදහැලුණු වාර්ෂාව. ඒ වගේම දැන් අපිට තියෙන ප්‍රධානතම ගැටලුව බීජ මිල වැඩිවීම. කඩකාරයන්ට හිතූ මිලට බීජ විකුණනවා. ඉස්සර රුපියල් හත්සීය පනහට තිබුණු තක්කාලි බීජ පැකට් එක දැන් කළු කඩේ හාරදහස් හත්සීය පනහයි. පරණ මිලට තිබුණු රසායනික බෙහෙත් අස්ප ගණන්වලට විකුණනවා. කඩවල විකුණන කිසිම රසායනික බෙහෙතක ලේබල් නෑ. ගලවලා. නැති නම් කුරුටු ගාලා. කිසිම මිල පාලනයක් නෑ. වැඩි මිලට විකුණන කඩකාරයන් කොටුකරගැනීමට නිලධාරියෙක් නෑ. හැම ප්‍රශ්නයකින්ම පීඩා විඳින්නේ අසරණ මිනිස්සු. ඒ ගොඩට අපිත් අයත්…” එළවළු, පලතුරු ගොවියෙක් වන රංජිත් නොව අපිත් අයත් වන්නේ මේ රටේ පීඩිත ජනතාවගේ පන්තියටය. බහුතරය දුක්විඳිනුයේ ප්‍රතිපත්තියක්, දැක්මක් නැති රටක ජීවත්වීමට ලැබීමේ කරුම නිසාය.

නුවරඑළියේ එළවළු ගුණාත්මක බව, රසය සහ කල්පැවැත්ම වැඩි නිසා වැලිමඩ, බණ්ඩාරවෙල ප්‍රදේශවලට සාපේක්‍ෂව එළවළු කිලෝවක මිල රුපියල් විස්සකින් පමණ වැඩිය. රාජාංගනය සහ අවට ප්‍රදේශවල, සූරියවැව සහ ඒ අවට ප්‍රදේශවල මෙන්ම තල්පිටිය ප්‍රදේශවල වගා කරන පහතරට එළවළුවල උඩරට එළවළුවලට සාපේක්‍ෂව මිල අඩුය. එහෙත් නගරයේ සුපිරි වෙළෙඳසලට, එළවළු කඩේට, ගමේ එළවළු තට්ටුවට පාරිභෝගිකයන් අතට යනවිට නුවරඑළියයි, වැලිමඩයි, පහතරටයි කියා වෙනසක් නැත. මිල තීරණය කරනුයේ අදාළ වෙළෙඳසල හිමිකරු සහ නිලධාරීන් විසිනි. එමෙන්ම ලේ දහදිය වගුරවමින් වගා කර නෙළාගත් එළවළු අස්වැන්නට මිල නියම කරනුයේ ගොවීන් නොවේ අතරමැදි වෙළෙන්දෝය. ආර්ථික මධ්‍යස්ථාන ප්‍රධානීන්ය. එමෙන්ම මෙරට පුරා එළවළු වගා කරන ප්‍රදේශවලින් සීයට හැත්තෑවකට වැඩි ප්‍රමාණයක එළවළු තොග රැගෙන එනු ලබන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයටය. මෙරට සියලු නගරවල එළවළු තොග වෙළෙන්දන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සමඟ දෛනිකව ගනුදෙනු කරන බව සැබෑය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ප්‍රධාන ගැනුම්කරුවන් එළවළු තොග වෙළෙඳුන්ය. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මෙරට එළවළු වෙළෙඳපොළේ ප්‍රධාන මිල තීරකයා කීවොත් අප නිවරැදිය. එහෙයින් පවතින එළවළු මිල ගැන කතා කිරීමට රංගිරි දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ලේකම් හේමන්ත වෙඩික්කාර මහතාව අපි සම්බන්ධ කර ගත්තෙමු.

සුළු සුළු තරම් නෙමෙයි එළවළු මිලත් ගිනි ගණං

“මේ වෙනකොට සෑම දෙයක්ම 300% කින් මිල වැඩි වෙලා තියෙනවා. ඒ තත්ත්වය ගොවියටත් සාපේක්‍ෂ වෙන්න ඕනෑ. නැති නම් ගොවියට ජීවත් වෙන්න බෑ. ඒත් මේ දිනවල එළවළු මිල අසාමාන්‍ය විදිහට වැඩි කරලා තියෙන්නෙ සිල්ලර වෙළෙඳපොළ. ඒ වගේම දැන් කාලයක සිට එළවළු මිල වැඩි ද? අඩු ද? කියන්න බැරි තරමට පාරිභෝගිකයො අසරණ වෙලා ඉන්නේ. සති පොළේ එළවළු එක මිලක්. එළවළු කඩේ තව මිලක්. සුපිරි වෙළෙඳසැල්වල එළවළු ග්‍රෑම් 100 ගිනි ගණන්. ඒ මිල තීරණය කරන්නේ එකී ව්‍යපාරිකයන්. එළවළු වෙළඳාමේ ලාභ ලබන්නෙ ගොවියො නෙමෙයි, අතරමැදි වෙළෙන්දෝ. ඒකට ප්‍රධාන හේතුව ආර්ථික මධ්‍යස්ථානවල එළවළු විකිණෙන මිල ගණන් පාරිභෝගිකයන් දැන නොසිටීම. ඕනෑම එළවළුවක අස්වැන්න වැඩි වෙලා ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන තොග වැඩි වෙනකොට එම එළවළුවේ මිල අඩු වෙනවා. ඒත් තොග වෙළෙන්දො මිල අඩු වුණා කියලා එම එළවළුවේ වැඩි තොග ප්‍රමාණයක් අරගෙන යන්නේ නෑ. වෙනදාටත් වඩා අඩු කිලෝ ප්‍රමාණයක් අරගෙන ගිහින් එම එළවළුවේ හිඟයක් නිර්මාණය කර වැඩි මිලට විකුණනවා. මිලක් නැතිව ආර්ථික මධ්‍යස්ථානවල විකුණගන්න බැරි එළවළු නගරයේ එළවළු කඩවල, සුපිරි වෙළෙඳසල්වල අධික මිලට විකිණෙනවා. මේක අද, ඊයේ ඉඳලා වෙන දෙයක් නෙමෙයි. කාලයක ඉඳලා වෙන මහා අපරාධයක්. මන්තර මතුරනවා වගේ මේවා ගැන අපි කියනවා. ඒත් වැඩක් නෑ…”

“මේ එළවළු ගැටලුව උඩුවන්න බලපාන ප්‍රධානතම හේතුව අතරමැදියො වැඩිකම. 2000 අවුරුද්දෙ එළවළු වෙළෙඳපොළේ අතරමැදියො අඩු කළා. 2007 වර්ෂය වෙනකම් ගැටලුවක් නැතිව වෙළෙඳාම සිද්ධ වුණා. 2007 වර්ෂයෙන් පසු ක්‍රමයෙන් නැවත අතරමැදි වෙළෙඳාම වැඩි වුණා. දැන් උච්ඡත්වයටම පැමිණ තියෙනවා. මේ ගැටලුව විසඳන්න රජය මැදිහත් වෙලා යම්කිසි යාන්ත්‍රණයක් ඔස්සේ පොදු ප්‍රවාහන ක්‍රමයක් හරහා රටේම එළවළු තොග පොදු වෙළෙඳපොළකට රැස් කරන්න ඕනෑ. අනතුරුව එළවළු ගොවීන් සහ සිල්ලර වෙළෙඳුන් සම්බන්ධ කරන්න ඕනෑ. එම වෙළෙඳාමේදී අතරමැදි ලාභය යන්නෙ සිල්ලර ව්‍යාපාරිකයින්ටයි, ගැනුම්කරු සහ විකුණුම්කරු මුහු කරන අතරමැදියටයි විතරයි. එහෙම වුණොත් පවතින තොග මිලට ප්‍රවාහන වියදම, එළවළු අපතේ යෑමේදී ඇති වන පාඩුව ගණන් බලා විනිවිදභාවයකින් යුක්තව උපරිම සාධාරණ මිලකට එළවළු අලෙවි කරන්න පුළුවන්. ගොවියත් ආරක්‍ෂා කරගෙන, පාරිභෝගිකයටත් විශාල සහනයක් ලබාදෙන්න පුළුවන්. එහෙම නොවෙන්න වගාවෙන් ඈත් වන එළවළු ගොවියො නැවත කිසිම ගොවිතැනකට යොමු වෙන්නේ නෑ. ඒක බරපතළ තත්ත්වයක්. ගැටලු වැලක පැටලැවිල්ලක්…” රංගිරි දඹුලු විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ලේකම් හේමන්ත වෙඩික්කාර මහතා පාලනයක් නැති එළවළු මිලේ බරපතළකම පැහැදිලි කරමින් රජයට යෝජනාවක් ද ඉදිරිපත් කළේය. ඒ ගැන අවධානය යොමු කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.

මේ වනවිට මෙරට සියලු වගාවන් නිසරුය. ‘ගමයි-පන්සලයි, වැවයි-දාගැබයි’ ප්‍රධාන කොටගෙන ගොඩනැඟුණු මෙරට කෘෂි සංස්කෘතිය ඉතිහාස පාඩමක් පමණි. කෘෂිකර්ම ඇමැති ඇස් උඩ තියාගෙන කියන කතා යථාර්ථය දැන සිටින මිනිසුන්ට කවට කතාය. මේ රටේ ආර්ථිකය ගොඩනැඟීමේදී කෘෂිකර්මාන්තය ප්‍රධාන විය යුතුය. කෘෂිකර්මාන්තය ගොඩනැඟීමට රටට හිතැති, විෂය පිළිබඳ දැනුම ඇති බලධාරීන් සහ නිලධාරීන් අදාළ නිල තලවල සිටිය යුතුය. එමෙන්ම මෙරට ක්‍රියාත්මක වෙළෙඳ මාෆියාව විනාශ කිරීමට කොන්ද පණ ඇති, අතරමැදි වෙළෙන්දෙක් නොවන වෙළෙඳ කටයුතු ඇමැතිවරයෙක් පත් විය යුතුය. එසේ නොවෙන්න එළවළු ටිකත් පිටරටින් ගෙනඒමට සිදුවන දිනය වැඩි ඈතට නොයනු නිසැකය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment