විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්

459

අඳුර දුරු කර, දේශයට කුළුණුබර වූ වයඹ අහසේ කුලුනු ත්‍රිත්වය

ලක්විජය බලාගාරය ලිපි අංක – 3

ජාතියේ බලශක්ති බලවතා ලෙස අනභිභවනීය සේවයක් සලසන ලක්විජය බලාගාරය නූතන ලක්දිව ශිෂ්ටාචාරයේ බලශක්ති බර දරාගත් කුලුන ය. ලක්විජය බලාගාරය සැබැවින් ම ජාතියේ ප්‍රණාමයට පාත්‍ර විය යුතු සම්පතකි. නොරෝච්චෝලේ අහස මතින් නැඟී සිටින ඒ මහා කුලුනු ත්‍රිත්වය, මේ ජාතියට බලශක්තියෙන් කුලුනු බර නොවන්නට ඔබත් මමත් මේ මොහොතේ ද සිටිනු ඇත්තේ අඳුර දරාගෙන ය. බලශක්ති ඌනතාවයෙන් පෙළෙන ශ්‍රී ලංකාව මේ මොහොතේ ද මේ තරමින් හෝ පෝෂණය කරන්නේ ලක්විජය බලාගාරය ය. මේ ජාතියේ ප්‍රණාමයට ලක්විය යුතු සම්පතකි.

එහෙත් සිරිත් පරිදි ම එක් එක් කුමන්ත්‍රණනීය අවශ්‍යතා මත සහ නිවැරැදි තොරතුරු සන්නිවේදනය වීමේ ඌනතා මත මේ බලාගාරය ද ජනතා උදහසට ලක් වන ස්ථානයක් බවට පත්ව ඇත. ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා දරන උත්සාහයකි මේ. දිවයින මාධ්‍යය කණ්ඩායමක නිරීක්ෂණ චාරිකාවක් ලෙස, ලක්විජය ගල්අඟුරු බලාගාරය සහ ජාතියේ බලශක්ති අවශ්‍යතාවය පිළිබඳව පසුගිය සතියේ සිට ලිපි මාලාවක් අපි ආරම්භ කළෙමු.

එම ලිපි මාලාවේ තෙවැන්න මෙවර පළවේ.

මාධ්‍ය තුළින් බොහෝවිට ලක්විජය බලාගාරයේ බිඳවැටුම් මුල්කොට ගෙන අනේක විධ පුවත් නිර්මාණය වුවත්, බලාගාරය මගින් සිදුවන අපරිමිත මෙහෙය ඇගයීමකට ලක්වීම දුලභව සිදුවේ. ජාතික විදුලි බල පද්ධතියේ අවශ්‍යතාවයෙන් තුනෙන් එකකට (1/3) කටත් වැඩි ප්‍රමාණයකින් දායකත්වය දක්වමින් නිහඬව තම කාර්ය ඉටුකරන ලක්විජය බලාගාරයේ කාර්ය සාධනය ඇගයීමට භාවිත කරන තාක්ෂණික දත්ත මෙම ලිපිය වෙතින් ඔබ වෙත ගෙන එනු ලැබේ.

විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්

● ලංකාවේ ජනන සංකලනය (Generation Mix)

ලංකාවේ විදුලිය උත්පාදනය කරනු ලබන්නේ ප්‍රාථමික ප්‍රභවයන් තුනක් භාවිත කරමිනි. ඒවා නම් තාප බලය (ගල් අඟුරු සහ ඉන්ධන තෙල් ), ජල විදුලිය සහ අනෙකුත් සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් (සූර්ය බලය සහ සුළං බලය) වේ. ඔබ නිවසට නියමිත වෝල්ටීයතාවයකින් හා නියමිත සංඛ්‍යාතයෙන් විදුලිය ලබාදීමට එම මොහොතේ පවතින විදුලි ඉල්ලුමට සමානවන විදුලි උත්පාදනයක් සිදුකළ යුතු වේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලැබෙන බල ප්‍රමාණය මොහොතින් මොහොත වෙනස් වන බැවින් විදුලි බල මණ්ඩලය සතු ජල විදුලි බලාගාර හා තාප විදුලි බලාගාරවල ක්‍රියාකාරීත්වයෙන් සෑම මොහොතකම අවශ්‍යවන විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදෙයි. එමෙන්ම අප රට සතු ජල විදුලි සම්පත ද ප්‍රධාන වර්ෂා මෝසම් මත රඳා පවතින බැවින් අද වනවිට තාප බලාගාරවල දායකත්වය නොමැතිව විදුලි සැපයුම සැපයීමට නො හැකි තත්ත්වයට පත් වී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ 2021 Statistical Digest වාර්තාව අනුව ලංකාවේ 2021 වර්ෂයේ මුළු ස්ථාපිත විදුලි බලය මෙගා වොට් 4,186කි. එය පහත පරිදි වර්ගීකරණය කළ හැක.

විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්

● Base load බලාගාරයක අවශ්‍යතාව සැපිරීම

අප රටේ සාමාන්‍ය දිනක උපරිම විදුලිබල ඉල්ලුම මෙගා වොට් 2400ක් පමණ වේ. දිනයේ එක් එක් වේලාවන්වල රටේ විදුලි අවශ්‍යතාවය වෙනස් වී, එය අවම අවස්ථාවේ දී 1100MWක් පමණ වේ. රටට ස්ථාවර විදුලි සැපයුමක් ලබාදීමේ දී පැය 24 ම විදුලි ජනනය කළ හැකි ස්ථාවර විදුලි බලාගාරයක් අවශ්‍යම වේ. දිනකට පැය 24 බැගින් වසර පුරාම ක්‍රියාත්මක වන ලක්විජය බලාගාරය, ලංකාවේ base load අවශ්‍යතාවය සපුරාලනු ලබන ආකාරය පහතින් ඔබට පැහැදිලි වනු ඇත. (ළා දුඹුරු වර්ණයෙන් ලක්විජය බලාගාරය දැක්වේ).

විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්
2022 ජුනි 17 වන දින සැපයූ බලශක්ති ප්‍රමාණය (මෙදින විදුලිය විසන්ධි කළ දිනක් බව කරුණාවෙන් සලකන්න)

● ජාතික විදුලි ඉල්ලුමට ලක්විජය බලාගාරයේ දායකත්වය

විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්

ලක්විජය බලාගාරයේ දෙවන ඒකකය “ඒ” කාණ්ඩයේ නඩත්තු කටයුත්ත සඳහා නැවත්වීමට පෙර, එය රටෙහි දෛනික විදුලි අවශ්‍යතාව සපුරාලීමට දායක වූ අයුරු පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ. එමගින් දක්වා ඇති රටෙහි දෛනික ජනන සංකලනය සලකා බලන කල ලක්විජය බලාගාරය සපයන දායකත්වය ඇති මහත්ය.

විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්

2022 වසරේ සැප්තැම්බර් මස අග වනවිට ලක්විජය බලාගාරය සපයා ඇති සම්පූර්ණ ශුද්ධ ශක්තිය (net energy) විදුලි ඒකක මිලියන 46,979 කි. 2015 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා එය ජාතික විදුලි බල පද්ධතිය බලගැන්වීමට දායක වූ අයුරු පහත ප්‍රස්ථාරයෙන් විදහා දක්වයි.

● බලාගාරයක කාර්ය සාධනය (Performance) ඇගයීමට ඇති දර්ශක

විදුලි බලාගාරයක කාර්ය සාධනය ඇගයීම සඳහා ප්‍රධාන වශයෙන් දර්ශකයන් දෙකක් යොදා ගැනේ. ඒවා නම් Capacity Factor සහ Availability Factor වේ. පහත දක්වා ඇති දර්ශකවල අගයන් ගණනය කිරීමේ දී Capacity Factor සඳහා අදාළ ගණනය US EIA Guideline අනුව ද ප්‍රයෝජ්‍යතා සාධකය විදුලිබල මණ්ඩලයේ ආයතනික උපායමාර්ග සැලසුම්කරණ අංශයේ (KPI- Reliability of Generator ) අනුවද ගණනය කර ඇත.

● Availability Factor

මෙම සාධකය බලාගාරයෙහි දෝෂ හේතුවෙන් එහි ක්‍රියාකාරීත්වයට ඇති බලපෑම විදහා දක්වයි. එනම් බලාගාරයෙහි දෝෂ නිසා සිදුවන ඇනහිටීම් පමණක් සැලකිල්ලට ගනු ලැබේ.

Capacity Factor මෙන් නොව, Availability Factor කෙරෙහි බලාගාරයේ නිසි ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට සිදුකරන ලබන සැලසුම් කරනු ලබන නඩත්තු කටයුතු, පද්ධති පාලන මැදිරියෙහි උපදෙස් පරිදි සිදුවන ධාරිතාව අඩු කිරීම් සහ බලාගාරයෙන් බාහිරව විදුලි පද්ධතියේ ඇති වන දෝෂ සැලකිල්ලට ගනු නොලබයි.

විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්

2011 වර්ෂයේ සිට 2022 වර්ෂය ( සැප්තැම්බර් මස අග) දක්වා Availability Factor වාර්ෂික විචලනය පහතින් දක්වා ඇත.

● කාර්ය සාධන ඇගයීම් දර්ශකවල සැලසුම්ගත අගයන්

බලාගාරය සැලසුම් කරන අවස්ථාවේ දී නිර්මාණකරුවන්ගේ සැලසුමේ ඇති දත්ත ප්‍රයෝජනයට ගෙන Availability Factor සඳහා සැලසුම්ගත අගයක් ගණන් බලා දක්වා ඇත. ඒ අනුව ලක්විජය බලාගාරයේ සැලසුම්ගත Availability Factor 85%ක් වේ. බලාගාරය සැලසුම්වලට අනුකූලව විදුලි ජනනය සිදු කරනවද නැද්ද යන වග සොයා බැලීමට ඇති හොඳම දර්ශකය සැලසුම්කරුවන් විසින් ලබාදුන් Availability Factor බලාගාරයේ සත්‍ය Availability Factor සමග සසදා බැලීමයි.

විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්

ඉහත දත්ත අනුව බලාගාරය ආරම්භයේ සිට ම 2022 වර්ෂයේ සැප්තැම්බර් මස අග දක්වා මුළු කාලයම සලකා බැලීමේදී බලාගාරයේ Availability Factor 86.78% වේ. එබැවින් සැලසුම්ගත අගයන්වලට අනුව බලාගාරය විදුලිය ජනනය කරන බව පැහැදිලි වේ.

● Capacity Factor

බලාගාරයේ ධාරිතාවට සාපේක්ෂව බලාගාරය කොපමණ විදුලි බලය උත්පාදනය කර ඇත්ද යන්න ගණනය කර ගැනීමට Capacity Factor නමැති දර්ශකය උපයෝගී කරගනී. යම් කිසි කාල සීමාවක් තුළ බලාගාරයේ සත්‍ය වශයෙන්ම නිපදවූ විදුලි ඒකක ගණන උපයෝගී කරගෙන සාදන දර්ශකයක් බැවින් බලාගාරය ක්‍රියාත්මක තත්ත්වය පිළිබඳ අවබෝධයක් මෙම දර්ශකයෙන් ලබාගත හැක.

විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්

2011 වර්ෂයේ සිට 2022 වර්ෂය (සැප්තැම්බර් මස අග) දක්වා ලක්විජය බලාගාරයේ Capacity Factor වාර්ෂික විචලනය පහතින් දක්වා ඇත.

● ලක්විජය බලාගාරය ලෝකයේ අනෙකුත් බලාගාර සමග සංසන්දනය

විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්

U.S. Energy InformationAdministration හි දත්තවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ, 2021 වසරට අදාළව, න්‍යෂ්ටික (Nuclear), භූතාපජ (Geothermal), ස්වාභාවික වායු (Natural Gas ), ගල් අගුරු (Coal),ජල (Hydro), සුළං (Wind) සහ සුර්ය ( Solar) විදුලි බලාගාරවල සාමාන්‍යය Capacity Factor පහත ප්‍රස්ථාරයේ දැක්වේ. එයට අනුව ගල්අඟුරු බලාගාරවල 2021 වර්ෂයට අදාළ Capacity Factor 49.3%ක් වේ.

● විදුලිය නිපදවීමේ පිරිවැය

ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්ෂිකව නිකුත් කරන Statistical Digest හි 2021 වර්ෂයට අදාළ ප්‍රකාශනයෙහි දත්ත අනුව ලංකා විදුලිබල මණ්ඩලය සතු ප්‍රධාන තාප බලාගාරවලින් විදුලි ඒකක එකක් නිපදවීම සඳහා ඉන්ධනවලට වැය වන මුදල පහත පරිදි වේ.

විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්

එලෙස බලන කල ලක්විජය බලාගාරය පිරිවැය ඵලදායී බලාගාරයක් වනබව අවිවාදයෙන් පිළිගත හැක. අප විමර්ශන කණ්ඩායම ලක්විජය

බලාගාරය ආරම්භයේ සිට අද දක්වා ගල්අඟරු මගින් විදුලි ඒකක එකක් නිපදවීමට වැයකළ මුදල ද සොයා බලන ලදී. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් වාර්ෂිකව නිකුත් කරන Statistical Digest ප්‍රකාශනවල සඳහන් ආකාරයට 2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා විදුලි ඒකකයක් (01නWh) නිපදවීමට, ඉන්ධන සඳහා ලක්විජය බලාගාරයට වැයවූ මුදල රුපියල්වලින් පහත පරිදි වේ.

විදුලියෙන් රටක් දික්විජය කළ හැටි… දැනටමත් හතර ගුණයක ඉතිරියක්

2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ශුද්ධ ශක්තිය විදුලි ප්‍රමාණය නිපදවීමට, ගල්අඟුරු සඳහා වියදම රුපියල් බිලියන 292ක් පමණ වූ අතර එම විදුලි ප්‍රමාණයම ඒකාබද්ධ චක්‍ර බලාගාරය (combined cycle power plant ) නිපදවූයේනම් රුපියල් බිලියන 965ක් පමණ වැයවනු ඇත. ඒ අනුව ලක්විජය බලාගාරය නිසා අත්වූ ලාභය ආසන්න වශයෙන් රුපියල් බිලියන 673 කි. ලක්විජය විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා වැයවූ මුළු මුදල රුපියල් බිලියන 138ක් පමණ වේ. එසේ සලකන විට, 2021 වර්ෂයේ අවසානය වනවිට ලක්විජය බලාගාරය එය ඉදිකිරීමට වැය වූ මුදල මෙන් හතර ගුණයකටත් වැඩි ප්‍රමාණයක ඉතිරියක් අත්කර දී තිබේ.

● ලක්විජය බලාගාරයේ අභ්‍යන්තර දෝෂ බහුල ද?

බලාගාරයෙහි ඒකක අක්‍රීයව ඇති සෑමවිට ම එය බලාගාරයේ අභ්‍යන්තර දෝෂ හේතුවෙන් සිදුවන බව නො දැනුවත්කම නිසා සිතන පිරිසක් මෙන්ම තිරය පිටුපස සිට එය එසේ වූ බවට ජනතාවට එත්තුගන්වන දැනුවත් පිරිසක්ද සිටින බව අවධාරණය කළ යුතුම ය.

මෙම බලාගාරය මෙගා වොට් 300 ධාරිතාවකින් යුත් ඒකක තුනකින් සමන්විත බැවින්, එක ඒකකයක් අක්‍රියව ඉතිරි ඒකක දෙකම
( 2 x 300 MW ) ක්‍රියාත්මක වුවත්,සම්පූර්ණ බලාගාරය ම අක්‍රීයව ඇතැයි සමාජගත වීම කනගාටුවට කරුණකි. මෙම 300 MW ජනන යන්ත්‍ර 3 බලාගාර තුනක් ලෙස රටේ ස්ථාන තුනක ස්ථාපිත කර තිබුණේ නම්, එම ප්‍රවෘත්තිය ම වෙනත් ආකාරයකට ජනගත වනු ඇත. අනෙක් අතට මෙගා වොට් 300ක ධාරිතාවක් පද්ධතියට අහිමිවීම සැලකිය යුතු ලෙස දැනේ. ජනන සැලසුම්වලට අනුකූලව ඉදිකිරීමට යෝජිතව තිබූ අනෙකුත් ගල්අඟරු බලාගාර ගොඩනැඟුවේනම් ලක්විජය බලාගාරයේ ඒකකයක් විදුලිබල පද්ධතියට නොමැති වීමේ අඩුව මෙතරම් මහජනයාට නො දැනෙනු ඇත.

යෝජිත බලාගාර කලට වේලාවට ඉදි නො කිරීම ද ලක්විජය බලාගාරයේ අභ්‍යන්තර දෝෂවලට සැලකිය යුතු ලෙස හේතු වේ. මන්දයත්, සැලසුම් කරන නඩත්තු කටයුතු, රටේ විදුලි ඉල්ලුම සපුරාලීම පාදක කොටගෙන විටින්විට කල්දැමීම බලාගාරයේ නිසි ක්‍රියාකාරීත්වයට බාධා ඇති කරන බැවිණි. උදාහරණයක් වශයෙන් ඔබේ මෝටර් රථය සලකන්න; නියමිත සැතැපුම් ගණනකට පසු සැලසුම් කර ඇති නඩත්තු කටයුතු සම්බන්ධව ඔබ සැලකිල්ලක් දක්වන්නේ එසේ නො කළහොත් ඔබේ මෝටර් රථයට වන අහිතකර බලපෑම ගැන ඔබට නිසි අවබෝධයක් ඇති නිසා නො වේද?

බලාගාරයේ සැලසුම් කරන නඩත්තු කටයුතු සඳහා යන්ත්‍රවල මුල් නිපැයුම්කරුවන්ගේ කාර්මිකයන් (Original Equipment Manufacturer) ගෙන්වන්නේ ඇයි ද යන්න බොහෝ දෙනාට ඇති ගැටලුවකි. එදිනෙදා නඩත්තු කටයුතු සඳහා කුසලතා පරිපූර්ණ ශ්‍රමබළකායක් බලාගාරය සතු වුවත්, විශේෂ නඩත්තු කටුයුතුවලට යෙදවීමට යන්ත්‍රවල මුල් නිපැයුම්කරුවන්ගේ සේවාව ලබාගත යුතු වේ. චීනය, ඉන්දියාව වැනි ගල්අඟුරු බලාගාර බහුලව ඇති රටවල් එම බලාගාර සියල්ලෙහි සැලසුම් කළ නඩත්තු සඳහා යොදා ගැනීමට වෙන් වූ විශේෂිත ශ්‍රමිකයන් කණ්ඩායම් පවනත්වා ගනී. ඔවුනට වසර පුරා ම තම රටේ ඇති ගල්අඟරු බලාගාරවල විශේෂ නඩත්තු සඳහා ඇණවුම් ලැබේ. ලංකාවේ ඇත්තේ එක් ගල්අඟුරු බලාගාරයක් බැවින් මෙවන් විශේෂ කණ්ඩායමක් පවත්වා ගැනීම ප්‍රයෝගික හා ඵලදායි නොවේ.

ලක්විජය බලාගාරය මේ වනවිට ලබා ඇති ඉතිරිය ආසන්න වශයෙන් රු.බිලියන 673 කි. ලක්විජය විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා වැයවූ මුළු මුදල රු.බිලියන 138ක් පමණ වේ. එසේ සලකන විට 2021 වර්ෂයේ අවසානය වනවිට ලක්විජය බලාගාරය එය ඉදිකිරීමට වැයවූ මුදල මෙන් හතර ගුණයකටත් වැඩි ප්‍රමාණයක්, දැනටමත් ජාතියට ඉතිරි කර අවසන්ය. අනේකවිඳ අපහාස ලක්විජය බලාගාරය විඳින ලද්දේ එය ඉදිකිරීම ආරම්භ කළ සමයේ පටන්ය. එසේ වෙද්දී නිමක් නොවන අපහාස අසන මවක් සේ, ලක්විජය බලාගාරය ඒ සියලු අපහාස, අවලාද අසමින් ශ්‍රී ලංකාව විදුලියෙන් බලගැන්වීම සිදු කෙරෙමින් පවතියි.

සිරිමන්ත රත්නසේකර
ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment