ඩුබායි සිට වැටුණු තැනින්ම නැගිට්ට වීරයා පාන්ඩයා

383

ඩුබායි ක්‍රීඩාංගණයේ පසුගිය 28 වෙනිදා පැවැත්වුණේ ලෝක ක්‍රිකට් පිටියේ දැවැන්තම ප්‍රතිමල්ලවයින් දෙදෙනාගේ සටන. ඒ තමයි ඉන්දියාව සහ පකිස්තානය අතර තරගය. ශ්‍රී ලංකා මුදල්වලින් රුපියල් ලක්ෂ දෙකකට වැනි මුදලකටත් ටිකට් අරගෙන ජනතාව ඒ තරගය බැලුවා. දිනුවේ ඉන්දියාව.නිකම්ම නොවේ ලොකු සටනක් දීලා.ඒ සටනේ නියමුවෙකු හිටියා.පන්දු යැවීමෙන්ද පිතිහරඹයෙන්ද කොහෙන් ගත්තත් ඔහු තමයි එදා වීරයා. ඒ හර්දික් පාන්ඩයා.

ඩුබායි සිට වැටුණු තැනින්ම නැගිට්ට වීරයා පාන්ඩයා

ඔහු එදා ඉන්දීය කණ්ඩායම ඔසවා තැබුවත් මීට වසර හතරකට උඩදී ඩුබායි ක්‍රීඩාංගණයේදීම” මේ ප්‍රතිවාදී පකිස්තානයටම එරෙහිව ආසියානු කුසලාන තරගාවලිය යටතේ තරගයකදීම සිදු වුණේ ඔහු ව ඔසවා ගෙන ක්‍රීඩාගාරයට ගෙන යාමටයි. එදා ඔහු පන්දු යවමින් සිටියදී කොන්දෙ ආබාධයකට ලක් වුණා.

‘මම හිතුවේ එදා මගේ ක්‍රිකට් ඉවරයි කියලා.විනාඩි 10 ක් ඇතුළත මගේ හැම දෙයක්ම අවසානයි කියලා දැනුණා. මට ඇඬෙන්න ආවා..

2018 වසරේ සැප්තැම්බර් මස 19 වෙනිදා තමයි පාන්ඩයා එසේ ආබාධයට ලක් වුණේ. එදා පටන් ඔහුට මාස ගණනාවක් ඇඳට වෙලා ඉන්න වුණා. ඔහුගේ කණ්ඩායමේ සගයන් ක්‍රීඩා කරනවා ඔහු බලා ගෙන හිටියා. ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයන් ආවා.

ඊට මාස කිහිපයකට පසුව පාන්ඩයා යම්තාක් දුරට සුව අතට හැරුණා. ඒත් පන්දු යයවන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. පසුව කණ්ඩායමටත් ආවා. ඒත් සුපුරුදු දක්ෂතා ඔහුගෙන් ආවේ නැහැ. 2020 සහ 2021 වසරවල පැවැති අයිපීඑල් තරගවලදිත් එහෙමයි.

ඒත් 2022 අයිපීඑල් තරගාවලිය. ඒක තමයි පාන්ඩයා ගේ ක්‍රිකට් ජීවිතයේ දෙවෙනි හැරවුම. එවර ගුජරාටි ලයන්ස් නම් කණ්ඩායමක් අලුතින් අයිපීඑල් ආවා. එහි නායකත්වය පාන්ඩයා ට හිමි වුණා. එහිදි පාන්ඩයා හැම අංශයකින්ම ඉදිරියට ආවා. දෝනිලා” ශර්මලා පරදවා කණ්ඩායමට ශූරතාවය ගෙන ආවා. ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ගේ අවධානය යළි පාන්ඩයා දෙසට හැරෙන්නට පටන් ගත්තා.

එහෙම වැඩ පෙන්වලා තමයි පාන්ඩයා මෙවර ආසියානු කුසලාන තරගාවලියට ආවේ. එහෙම ඇවිත් ඔහු පකිස්තානයට එරෙහි තරගය තනිවම දිනලා දුන්නා. අවසන් ඕවරයට ලකුණු 7ක් ගන්න තිබුණා. පාන්ඩයා එල්ල කළ පහරක් ප්‍රේක්ෂකයන් අතරට ඉහළින් ඇදී යද්දි තරගයේ ජය ඉන්දියාව ට හිමි වුණා. පාන්ඩයා ඩුබායි හිදීම යළි නැගිට්ටා.

advertistmentadvertistment
advertistmentadvertistment