වැට් එකට අත ඉස්සූ මහින්දගේ ආණ්ඩුව චීන සමාගමකට බදු පිට බදු සහන දීලා – කබීර් හෂීම් (සජබ)

71

ඩොලර් ලක්‍ෂ 35ක් වූ රජයේ තක්සේරුව නොසලකා ඩොලර් ලක්‍ෂ 5කට ඉඩම දීලා

සාමාන්‍ය ජනතාවට බදු පිට බදු ගසා සතියක් යෑමට පෙර චයිනා කලම්බෝ පෝර්ට් ලොජිස්ටික් සෙන්ටර් වෙත සියලු බදු රහිතව ටෙන්ඩර් කැඳවීමකින් තොරව අඩු මුදලකට ව්‍යාපෘතියක් බදු දීලා යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) ඊයේ (11 දා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

වැට් බද්ද ඇතුළත් අයවැය සම්මත කිරීමට ආණ්ඩුව ප්‍රීතියෙන් අත ඉස්සුවා. ආණ්ඩුවේ එක මන්ත්‍රීවරයෙක්වත් කෲර ලෙස අයකරන බදු ක්‍රමයට විරුද්ධව කිසිවක් කිව්වේ නෑ. ඡන්දය කියන විට උඩ පැන පැන හිනාවෙවී එදා සම්මත කළා.

නමුත් හොලිවුඩ්වලවත් නැති රඟපාන්න දක්ෂ කණ්ඩායමක් මහින්ද රාජපක්ෂ කණ්ඩායමේ ඉන්නවා. හොඳම නළුවා මහින්ද රාජපක්ෂයි. වැට් වැඩි කිරීමට අත්දෙකම ඔසවලා දවස් දෙකකින් පස්සේ කියනවා බදු ප්‍රතිපත්තියට විරුද්ධයි කියලා.

මේවා කරන විට මට තේරෙන්නේ සබරගමු පෙරහැරට මුහුණවල් දෙකක් ඇති මහබඹා ගෙනයනවා. ඒ වගෙයි ඔහුව මට පේන්නේ. ලොකුම මහබඹා ඔහු. ඒ වගේම මහබඹා පොකුරක් ඔහුට ඉන්නවා.

වැට් බද්ද වැඩිකර සතියක් යෑමට පෙර චයිනා කලම්බෝ පෝර්ට් ලොජිස්ටික් සෙන්ටර් නමැති ව්‍යාපෘතිය චීන සමාගමකට දුන්නා. ප්‍රසම්පාදන කටයුතුවලින් තොරව දුන්නේ. ඉඩම දෙනවා නම් ඩොලර් ලක්‍ෂ 35කට අවුරුද්දකට දෙන්න කියලා රජයේ තක්සේරුව කිව්වත් ඩොලර් ලක්‍ෂ 5කට දුන්නේ. කෝටි ගණනක් රජයට පාඩුයි. එය වැරැදි තීරණයක්. හැම ක්‍ෂේත්‍රයකටම බදු අයකර සතියක් ඇතුළත එම සමාගම සමාගම් බද්දෙන් නිදහස් කරලා. ඒ සමාගමට ලාභයෙන් බදු නිදහස් කරනවා. අයි. එම්. එෆ්. එක කිව්වා කිසිම විදේශ සමාගමකට බදු නිදහස දෙන්න එපා කියලා. හැබැයි ඒ කියන දේත් අහන්නේ නැතිව බදු සහන දීලා. එහි සේවකයන්ටත් බදු සහන දීලා. ඒ වගේම තවත් සහන දීලා. රඳවා ගැනීමේ බද්දෙන් රේගු බද්දෙන් නිදහස්, වැට් බද්දෙන් නිදහස්.

මේ සමාගම පැවරීම ගැන ගැසට් එකක් ගහලා තියෙනවා. මේක කැබිනට් එකට යායුතුයි. මේක කැබිනට් එකට ආවාම කෙලින්ම විරුද්ධ වෙන්න මේක නවත්වන්න පුළුවන්. මේක හොරකමක්. ආණ්ඩුවේ වරද්ද නිසයි ජනතාව දුක් විඳින්නේ.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment