IMF තර්ජන මැද්දේ ETF – EPF පිළිබඳ මුළු රටම දෙගිඩියාවක…

152

මුළු රටටම අයහපත් කාලගුණයක් සහිත දින කීපයක් ලෙස පසුගිය සතියම ගෙවී ගියේය. බස්නාහිරට හා දකුණට වැටෙමින් තිබූ අධික වර්ෂාපතනය හේතුවෙන් එම පළාත් දෙකේ සබරගමුවේ ජන ජීවිතය තරමක් අඩාල විය. විශේෂයෙන්ම දකුණු පළාතට දැන් සති කීපයක සිට එක දිගට ඇද හැලෙන්නට වූ වර්ෂාපතනය නිසා ගංවතුර පමණක් නොව, නායයෑම් පිළිබඳ තර්ජනය ද වැඩිවී තිබිණි. එම පළාත්වල ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දේශපාලනඥයෝ පසුගිය සතියේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වනවාට වඩා පසු වූයේ තම තමන්ගේ දේශපාලන බලප්‍රදේශවල ප්‍රදේශවල ජනතාවගේ දුක සැප සොයා බලන්නටය. ඒ පිළිබඳ මාධ්‍ය සන්දර්ශන ද නොතිබුණාම නොවේ. එහෙත් වෙනදාට වඩා දේශපාලඥයන්ගේ අවධානය ජනතාව කෙරෙහි යොමුව තිබෙන ආකාරය දැකගත හැකි විය.

කෙසේ වෙතත් පසුගිය සතිය පාර්ලිමේන්තු සතියක් විය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ඇතුළු සැලකිය යුතු පිරිසක් මේ දිනවල විදේශගතව සිටි බැවින් දෝ අගමැතිවරයා අනෙකුත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට නොකඩවාම පාර්ලිමේන්තු එන්නැයි දන්වා තිබිණි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද සමහරු පිට රටවල ය. දයාසිරි ඇතුළු නම් කිහිපයක් ඒ අතර විය. එහෙත් සෙසු අය උනන්දුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටි බව දක්නට ලැබිණි.

මේ දිනවල පාර්ලිමේන්තුව ඇතුළාන්තයේත් පිටස්තරව මන්ත්‍රීවරු අතරත් බහුලව සාකච්ඡාවට ලක් වූ කාරණා කීපයක් තිබුණි. එක් කාරණාවක් වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම්ය. ඔවුන්ගේ දෙවැනි ණය වාරිකය ලබා ගැනීම සඳහා රජය මොන තරම් බලාපොරොත්තු තබාගෙන සිටියත් මෙවර ඒ සඳහා නිර්දේශ සපයන්නට පැමිණි පරීක්ෂණ කණ්ඩායමේ ආකල්ප විකල්ප අපේ රටට ඒ එතරම් සතුටුදායක ඒවා නොවීය. විශේෂයෙන්ම ඔවුන් අප පිළිබඳව කර තිබූ තක්සේරුව ගැන රජයේ ප්‍රධානීන් පවා සිටියේ බලවත් කලකිරීමකය.

රාජ්‍ය ආදායමට වඩා වියදම වැඩි වී ඇතැයි යන කාරණාව මුල් කරගෙන ඔවුන් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට විවිධ නිර්දේශ සපයා තිබිණි. විශේෂයෙන්ම බදු ආදායම ඉහළ නංවා ගැනීමට ඔවුන් සපයා තිබූ නිර්දේශ රටට කෙසේ වෙතත් ජනතාවට නම් ඒ තරම් හිතකර ඒවා නොවන බව විපක්ෂය පමණක් නොව, ආණ්ඩු පක්ෂය ද තේරුම් ගෙන සිටියා විය හැකිය.

● රටට ඩොලර් නෑ
ආණ්ඩුවට රුපියල් නෑ…

කෙසේ වෙතත් ඊළඟ ණය වාරිකය ලබාගන්නට නම් රජය අකමැත්තෙන් හෝ ඔවුන්ගේ නිර්දේශ සලකා බැලිය යුතුය. එහෙත් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමේදී රට සහ ජනතාවට මුහුණපාන්නට සිදුවන දුෂ්කරතාවය ගැන ද ආණ්ඩුව සංවේදී විය යුතුය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඇතුලේ පසුගිය සතියේ මන්ත්‍රීවරු අතර නොයෙක් සාකච්ඡා ඇතිවිය.

ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු එකට එකතු එකතු වී සාකච්ඡා කරන ආලින්දයක මෙසේ හදිසි කතාබහක් හටගත්තේ ඉහත පසුබිම තුළය…

“මට නම් පේන්නේ ආණ්ඩුව දැන් තියෙන්නේ බරපතළ අපහසුතාවය ක. රට ට ඩොලර් නෑ ආණ්ඩුවට රුපියල් නෑ… මේ දෙකම වැඩි කරන්න අප ඉතා ඉක්මනින් නිෂ්පාදන ආර්ථිකයකට යා යුතුයි. සේවා ආර්ථිකය පුළුල් කළ යුතුයි. හැබැයි ආණ්ඩුව මේ කරන්නේ නම් නිෂ්පාදනය වැඩි කරන එක නෙවෙයි. කරන්නේ රටේ ජනතාවගේ බඩට පටි තද කර කර පිටින් ලැබෙන ණය දිහා බලාගෙන හූල්ලන එක විතරයි..” විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කීවේය.

“ඔයගොල්ලොත් ඉතින් 2015 ඉඳලා ආණ්ඩුවක් අරගෙන කරේ ඕකම තමයි. වැඩිම විදේශ ණය ප්‍රමාණයක් අරන් තියෙන්නේ ඒ කාලේ…”

“කවුද ඒවා කළේ… ඒව කළේ දැන් ඉන්න ඔයාලගේ ලොක්කාම තමයි. අද ඔයාලයි ලොක්කාට මේ තියන ප්‍රශ්න විසඳගෙන රටේ නිෂ්පාදනය වැඩි කරලා සංචාරක ව්‍යාපාරය තව දියුණු කරල සේවා ආර්ථිකයට යම් යම් වෘත්තීය නිපුණතා ඇති අය පුහුණු කරල පිට රට යවලා ඩොලර් හොයන්න වුවමනාවක් නෑ. රාජ්‍ය නායක සමුළු වලට පිටරට යනවා. ලෝක නායකයෝ හමුවෙලා එහෙනම් මොකද්දෝ ගේමක ඉන්නේ. යටින් කතාවක් යනවා රනිල් මේ ට්‍රයි කරන්නේ යූ එන් එකේ සෙකට්‍රි කමට ඉල්ලන්න කියලා.”

“බහුබූත කියවන්න එපා. පිටරටවල්වල ගිහින් රාජ්‍ය නායකයො හමුවුණා කියලා හිතනවද ඒක එච්චර ලේසි වැඩක් කියලා. ඔයාල දන්නවද යූ එන් එකේ සෙකට්‍රි කමට ඉල්ලන්න මොනවද තියෙන්න ඕන සුදුසුකම් කියලා. ඒ තනතුරට එන්න නම් යූ එන් එකේ නියෝජිතයන් පහළොස් දෙනාගෙන් නම දෙනකුගේ ඡන්දෙ ලැබෙන්න ඕන නිත්‍ය නියෝජිතයන් වන මහා බලවතුන් පස් දෙනාගේ කැමැත්ත ද ඇතුළත්ව. මහා බලවතුන් කියන්නේ ඇමරිකාව රුසියාව එංගලන්තය ප්‍රංශය චීනය. අර ඔක්කොම කැමති වුණත් වැඩක් නෑ මහා බලවතුන්ගෙන් එක්කෙනෙක් හරි අකමැති නම්. ඒකයි නිශේධ බලය කියන්නේ. එක පාරක් සිරිල් ගුණපාල ගිහින් ඒක බැරි වුණා. මං නං හිතන්නේ ජනාධිපතිතුමා දැන දැනත් ඕකට ඉල්ලුම් කරයි කියලා. ඕවා එක එක්කෙනා කටට එනවාට කියන කතා.” ආණ්ඩු පක්ෂයේ යමක් කමක් දැනුවත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා එසේ කියද්දී අනෙක් අය කට වසා ගත්තේ ඊට සරිලන උත්තරයක් දෙන්නට කිසිවෙක් පොහොසත් නොවූ නිසාය.

ඒ මාතෘකාව ගැන කතාබහ එසේ නිමා වූවත් රටේ මූල්‍ය තත්ත්වය හා ආර්ථික සාධක අරමුදල මෙන්ම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සම්බන්ධයෙන් ඔවුන් තුළ වූ සාකච්ඡාව දිගින් දිගටම ඇදී ගියේය.

● අයි එම් එෆ් එක ගැන
රනිල්ගෙන් නඩුවක්…

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම ජර්මානු සංචාරය නිමා කර නැවතත් ලංකාවට පැමිණියේ ඉකුත් ඉරිදා අලුයම ය. බර්ලින් ගෝලීය සංවාදයට එක්වීම සඳහා ජනාධිපතිවරයා ජර්මනියට ගොස් සිටියේය. සංචාරයේදී ජර්මන් චාන්සලර් ඔල්ෆ් ශොල්ස් මහතා මුණගැසී සාකච්ඡා කරන්නට අප ජනාධිපතිවරයාට හැකි විය. ජනාධිපතිවරයා මෙහිදී ජර්මනියේ දී හමුවූ රාජ්‍ය පාලකයන් සමඟ සාකච්ඡා කරනු ලැබුවේ ලංකාවේ මූල්‍ය අර්බුදය ගැනය. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලක් රජය අපහසුතාවයට ලක්වන සේ ජනතාවට මහත් පීඩාකාරී ලෙස බලපාන කොන්දේසි දිගින් දිගටම දැමීමට යෝජනා කිරීම ගැන ජනාධිපතිවරයා ඔවුන්ගේ අවධානය යොමු කළේය…

රටක් අමාරුවේ වැටී තිබෙන වෙලාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වඩාත් සංවේදීව ඒ රටේ ජනතාව දෙස බැලිය යුතු බව ඔවුන්ගේ අදහස වූහ.

ජනාධිපති රනිල් මෙහිදී කසකස්තාන ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් කරමින් දෙරට අතර තානාපති කාර්යාල පවත්වාගෙන යෑම සඳහා එකඟත්වයක් ඇති කර ගත්තේය. මේ අතර ජර්මනියේ ආරක්ෂිතව පවතින ශ්‍රී ලංකාවේ කලා කෘති එකතුවක් බලන්නට ද ජනාධිපතිවරයා ජර්මානු කෞතුකාගාරයකට ගියේ සාගලද සමගය. ඇමෙරිකාවේ වෙනත් කටයුත්තක් සඳහා සංචාරයකට එක්ව සිටි සගලද මේ වන විට ජර්මනියට පැමිණ ජනාධිපතිවරයා හා එක්ව සිටියේය.

ශ්‍රී ලංකාවේත් ආසියාවේත් වෙනත් බෞද්ධ රටවලත් නිර්මාණ හා සිතුවම් ඇතුළත් ඒ ඓතිහාසික කෞතුක භාණ්ඩ හා නිර්මාණ රැකබලාගත් ජනාධිපති රනිල් යෝජනාවක් කළේය.

“අපි මේ නිර්මාණ මේ ආකාරයට පිටරටවල සංරක්ෂණය වෙලා තියෙන ආකාරය අපේ ජනතාවට දැකගන්න වාර්තා චිත්‍රපටයක් හදලා පෙන්නන්න ඕන. මෙන්න මේවා තමයි සංරක්ෂණය කියන්නේ.” රනිල් කීවේය.

“ඔව් සර්… අපේ රටවල්වල තිබිච්ච නිර්මාණ මේ විදිහට මුළු යුරෝපය පුරාම රට රටවල සංරක්ෂණය කරලා ප්‍රදර්ශනයට තබලා තියෙනවා. හැම දෙයක් ගැනම වාර්තා වැඩසටහන් හදලා රටට ගෙන යන එක හරි වැදගත්…” සාගල කීවේය.

මේ සියලු සංචාරයන් නිමවා ඉරිදා පාන්දර දිවයිනට පැමිණි ජනාධිපතිවරයා පසු දා පටන් යළිත් සුපුරුදු වැඩ රාජකාරීවල යෙදුණේය. මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීම ඒ අතර එක් කාර්යයක් විය.

සඳුදා හවස විශේෂ මන්ත්‍රී කණ්ඩායම් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් කැඳවන්නට ජනාධිපතිවරයාට අවශ්‍ය විය. ඔවුන් මෙහිදී කතා කළ වැදගත්ම කරුණ වූයේ ලබන වසර සඳහා අයවැය ඉදිරිපත් කරන විසර්ජන පනත් කෙටුම්පත ගැනය. මුලතිව් විනිසුරුවරයා ඉවත්වීම ගැන ද මෙහිදී කතාබහට ලක්විය.

මේ අතරතුර රටේ අවධානයට යොමු වූ තවත් විශේෂ කාරණාවක් වූයේ ඔස්ට්‍රේලියාවේ නඩුවකින් නිදොස් කොට නිදහස් වූ ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ සිද්ධිය යි. ඔහු මෙසේ පැමිණීමේදී ඔහු සමඟ තවත් ඔස්ට්‍රේලියානු කාන්තාවක් පෙම්වතියක සේ පැමිණ තිබීම රටේ බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූ මාතෘකාවක් විය. ඔවුන් එසේ පැමිණෙන අවස්ථාවේ ඔවුන්ගෙන් වචනයක් හෝ මාධ්‍යයට ගන්නට මාධ්‍යවේදීන් කොතරම් වෙහෙස වුවත් ඔහු නොවේ වචනයක්වත් කීවේ…

ඒ අතරතුර පහුගිය සතියේ මුළු රටේම අවධානයට ලක් වූ වඩාත් වැදගත්ම සිද්ධිය වූයේ තරුෂිගේ රන් පදක්කමයි. මේ මෑතක රටේ ජනතාව දේශපාලන පක්ෂ, ජාති, ආගම් පිල් බේද කිසිත් නොසලකා එකාවන්ව සතුටු වූ එක් වැදගත් කාරණාවක් ලෙස තරුෂිගේ ජයග්‍රහණය පසුගිය සතියේ කැපී පෙනෙන්නට විය.

● එයාලට තෝර මාළු
අපිට හාල්මැස්සෝ…

මෙවර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැති ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අයහපත් කාලගුණික තත්ත්වය නිසා පෙර වූ තරම් සාර්ථක වූයේ නැත. මෙවර එහි ඉලක්ක සපුරා ගන්නට සංවිධායකයන්ට නොහැකි වූයේ ප්‍රදර්ශනය ආරම්භ කළ දා පටන් කොළඹට ඇදහැලුනු ධාරානිපාත වර්ෂාවත් නිසාය.

ඒ මොනවා වෙතත් වෙනදා පොත් ප්‍රදර්ශනයේ දක්නට ලැබෙන විශේෂතා සියල්ල මෙවරත් තිබිණි. සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. අරගලයෙන් පසුව ජනතාව සතුටින් පෙළගැසී යම්කිසි පොදු කාරණාවක් වෙනුවෙන් එකට එකතු වූ අවස්ථාවක් ලෙස සැලකෙන පොත් ප්‍රදර්ශනයට දේශපාලනඥයෝ ද සැලකිය යුතු පිරිසක් නිදැල්ලේ සහභාගි වී සිටින බව දැකගත හැකි විය. ඔහුගේ කාලය මුළුල්ලේම දේශපාලනඥයෝ සෙනඟ වඩාත් වැඩියෙන් ගැවසෙන මෙවන් තැන්වලට ලං වූයේ පරිස්සමිනි.

එහෙත් පොත් ප්‍රදර්ශනය පැවති මුළු දින ගණන පුරාම ඒ ප්‍රදර්ශනයට සහභාගි වූ මන්ත්‍රීවරයෙක්ද වී ය. මන්ත්‍රීවරයා ගෙවිඳු කුමාරතුංගයි. සිය මුත්තණුවන් වන මුනිදාස කුමාරතුංගයන්ගේ ආරයට සමාන්තර ගමනක් යමින් සාහිත්‍යකරණයේ යෙදෙන ගෙවිඳු පොත් ප්‍රකාශකයකු ලෙස මේ ප්‍රදර්ශනයට එක්ව සිටියේය.

මෙහිදී ගෙවිඳු හමුවන්නට හිතවතුන් සාහිත්‍යකරුවන් මාධ්‍යවේදීන් මෙන්ම පාඨකයන් ද පැමිණ සිටියහ. ප්‍රදර්ශනයේ අවසාන දිනය වූ පසු ගිය ඉරිදා මෙසේ පැමිණ සිටි මාධ්‍යවේදීන් හා පාඨකයන් පිරිසක් සමග ගෙවිඳු කතා කරමින් සිටිය දී මේ දවස්වල දේශපාලනය උණුසුම් මාතෘකා ගැන ද කතාබහක් ඇති විය.

“ඇත්තටම මන්ත්‍රීතුමා අපි මේ දවස්වල බයේ ඉන්නේ අපේ අර්ථසාධක මුදල්වලට මොනවා වේවිද කියලා. අපි දැක්කා ඔබතුමා ඒ ගැන ප්‍රශ්න කරල තියෙනවා මීට ටික දවසකට කලින්. ඒත් අපිට තවම පැහැදිලි නැහැ. අපේ අර්ථසාධකයේ පොලියට තට්ටු වෙයිද…?” පාඨකයෙක් එසේ ඇසූ ප්‍රශ්නයකට මාධ්‍යවේදීන් ද උනන්දු වී එක්රොක් වූහ.

“ඇත්තටම මම ඒ ප්‍රශ්නේ ඇහුවේ ලොකු හේතුවක් නිසයි. ඔව් කොල්ලෝ දන්නවද මං දන්නෙ නෑ.. මේ වගේ සාමාන්‍යයෙන් වැඩකරන ජනතාවගේ සල්ලි ඊපීඑෆ් – ඊ ටී එෆ් වගේ අරමුදල්වලට ගියාට මහ බැංකුවේ සේවකයන්ගේ මුදල් ඒවාට යන්නෙ නෑ. එයාලාට විශේෂ වූ වෙනම අරමුදලක් තියෙනවා.

ඉතින් මට ආරංචි වුණා මහ බැංකුවේ අධිපති හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඒගොල්ලන්ගේ මුදල් බැර වෙන ගිණුමට රහසිගතව විශේෂ සැලකීමකුත් සාමාන්‍ය ජනතාවගේ ඊපීඑෆ්, ඊටීඑෆ් අරමුදල්වලට වෙනම සැළකීම කුත් කරනවා කියලා. මහ බැංකුවේ සල්ලි යන ගිණුමට 29% ක පොලියක්. වැඩ කරන පොදු ජනතාවගේ සල්ලි යන ගිණුම්වලට 9% ක පොලියක් 2022 යවලා තියනවා. උද්ධමනය සියයට හතළිස් හයකට තිබියදී. උද්ධමනය සියයට හතළිස් හයක් නම් පොලිය අඩුම ගාණේ සියයට 20% වත් වෙන්න එපාය. මේක හරියට එයාලයි පිඟානට තෝර මාළු බෙදාගෙන අපේ පිඟන්වලට හාල්මැස්සො බෙදුවා වගේ. මම ඒකයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළේ මේ ගිණුම්වලට වර්තමානයේ ලබා දෙන පොලී අනුපාත ප්‍රකාශ කරන්න කියලා.

කලින් මම මේ ප්‍රශ්නය ආපු හැම වතාවේම ආණ්ඩුවේ ඇමැතිවරු උත්තර දෙන එක මග ඇරියා. මහ බැංකුවෙන් උත්තර ලබාගන්න ඕන කියලා කල් ගත්තා. දැන් ලබන සිකුරාදාත් මම ඔය ප්‍රශ්නය න්‍යාය පුස්තකයට ඇතුළු කරල තියෙනවා. බලමු මොකක්ද දෙන උත්තරේ කියලා…” ගෙවිඳු මේ ගැන ලොකු පැහැදිලි කිරීමක් කළේය.

ආණ්ඩුවේ අය ගැන නම් විශ්වාස කරන්න බෑ. විපක්ෂයේ අයත් මේ වගේ ප්‍රශ්නයක් අහල ජනතාවට පණිවිඩයක් අරන් දෙන වගකීම ඉටු කරන්නේ නෑ. ඔබතුමා ලොකු දෙයක් මේ වෙලාවේ කරන්නේ… කියමින් එසේ රැස්ව සිටි අය විසිර ගියේ ගෙවිඳුට ස්තුතිවන්ත වෙමිනි.

● ඔන්න ආයෙමත්
මහින්ද නැගිටලලු…

මේ දිනවල වැඩි වශයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිබඳව විශාල කතාබහක් සමාජයේ නිර්මාණය වී ඇත. පසුගිය කාලය පුරාම නිහඬ පිළිවෙතක් අනුගමනය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැන් දැන් නැවත සක්‍රීය වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් නියෝජිතයන්ද හමුවෙමින් පවතියි.

පසුගිය සතියේ රුමේනියාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශාඛාවේ සභාපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුණගැසීමට පැමිණියේය. මෙම හමුවීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද සහභාගි විය. මෙහිදී පොහොට්ටුවේ සංවිධානය කිරීම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙහිදී රුමේනියාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශාඛාවේ සභාපතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් නාමල් ගැන විමසීය.

සර් ඔබතමා එදා කැලණි පන්සලට ගිය වෙලාවෙ කිවුවා නාමල් මන්ත්‍රීතුමාට නායකත්වයට එන්න කල් තියෙනවා කියලා.

ඔව් මම කිවුවා නාමල්ට තව කල් තියෙනවා කියලා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිතුරු බැන්දේය.

ඇත්තටම ලෝකයේ බහුතරයක් ඉන්නෙ තරුණ නායකයන්. බලන්න නවසීලන්තෙ හිටපු අගමැතිනි ජසින්ඩා ආර්ඩන්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්, කැනඩාවෙ ජස්ටින් ටෲඩෝ, ෆින්ලන්තයේ හිටපු අගමැතිනි වයස අවුරුදු 40ට අඩුයි. ඉතින් ඇයි නායකත්වයට එන්න තව කල් තියෙනවා කියන්නෙ. දැන් ලෝකයේ බහුතරයක් ඉන්නෙ තරුණ නායකයන්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රුමේනියානු ශාඛාවේ සභාපතිවරයා පැවසීය.

නාමල් මගේ පුතා තාත්තා කෙනකුට තමන්ගෙ දරුවන්ව හැමදාම පේන්නෙ පොඩියි කියලා තමයි. නාමල්ට ජනතාවගේ කැමැත්ත වගේම පක්ෂයෙන් කැමැත්ත තියෙනවානම් රටේ නායකත්වයට එනවට මගෙ කිසිම විරුද්ධත්වයක් නෑ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.

මෙම කතාබහෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ උත්සවයක් සඳහා පිටත්විය.

● අලි ඇතුන් ඝාතනය
වාර්තාව ලංකාවෙන්…

පසුගිය සතියේ රටේ කතාබහට ලක්වූ තවත් කාරණාවක් වූයේ මහියංගනයේ පෙරහැරක් සඳහා රැගෙන ගිය සීතා නැමැති ඇතින්න වනජීවී දෙපාර්තමේන්තුවේම නියාමකවරයකුගේ ගිනි අවියකින් තුවාල ලැබීම ය. පෙරහැරට රැගෙන ගිය ඇතින්න වැවක් අයිනේ බැඳ තිබියදී වල් අලියකු යැයි සිතා බිය වී ප්‍රහාරය එල්ල කළේ යැයි අදාළ නියාමකවරයා කියයි. ඒ පිළිබඳ වෙනමම පරීක්ෂණයකි.

අලි ඇතුන් ඝාතනය සම්බන්ධයෙන් රටේ පැවති අවධානය සිද්ධියක් නිසා වැඩිවිය. ඒ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම අපූරු සටහනක් තබා තිබුණේ අලි ඇතුන් ඝාතනයේ ගිනස් වාර්තාව ලංකාවට තැබීමට ඇති සුදුසුකම් කීපයක් ද මෙසේ ගොනුකොට දක්වමිනි… ඔහු ඊට අපූරු ශීර්ෂ පාඨයක් ද යොදා තිබිණි.

“වෙඩි කෑවට සීතා පොතම දන්නවා පවිත්‍රා” සටහනේ කොටසක් මෙසේය.

සැප්තැම්බර් 27 බදාදා සිට 29 සිකුරාදා දක්වා ගත වූ පැය 48 ඇතුළත අලි ඇතුන් 13 දෙනකු ඝාතනය වී තිබේ. මේ දින දෙකේ වාර්තාවට වඩා අවධානය යොමු විය යුතු වන්නේ 2022 වසරේදී ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබූ රට ලෙස අප ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෝක වාර්තාවක් තබා ඇති බවට පළවන ප්‍රවෘත්තිය ගැනය. ඒ අනුව එය ගණනින් 420 ඉක්මවා යයි. ඊටත් වඩා ලොමු ඩැහැගන්වන පුවතක් වන්නේ සැප්තැම්බර් 30 දක්වා 2023 මේ වසර සලකා බැලීමේදී දැනටමත් අලි මරණ සංඛ්‍යාව 400ක් ඉක්මවා තිබීමයි. තවත් දින 90ක් මේ වසර අවසානය දක්වා ඉදිරියට යෑමේදී පෘතුගීසි ලන්දේසි යුගයටත් වඩා අලි ඝාතනය සම්බන්ධයෙන් මිලේච්ඡ වාර්තාවක් අපසතු වනවා ඒකාන්තය.

මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් කිසිවකුටත් දොස් පවරන්නට උත්සාහ ගෙන නැතත් වන සතුන්ට ආදරය කරන පුරවැසියන්ට සංවේදී කරවන්නට දරා ඇති උත්සාහය නම් සුළුපටු නැත. මේවන් බරපතළ ව්‍යසනය හමුවේ නොදුටු දෑස්ව නෑසූ කන්ව බලා සිටින, පපුවලට අලි හෙණ්ඩු එල්ල විය යුතු නිලධාරීන්ගේ විශ්මයජනක නිහැඬියාව ගැනද ඔහු ඉන් ප්‍රශ්න කර ඇත.

● සුදු හම දැක්කට
රනිල් බය නැහැයිලු…

ජනපති බදාදා පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගියේ සෑම පාර්ලිමේන්තු සතියකම එක් දිනයක් පාර්ලිමේන්තු යෑමේ ජනපති වැඩපිළිවෙළ අනුවය. ජනපති සභාව වෙත ගියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කරනා කතාවන් අසා සිටීමෙන් අනතුරුවය. ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ජනපතිගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ජනපති කීවේ හැමෝම එකතුවෙලා වැඩ කළොත් ඉක්මණින් රට ගොඩගත හැකි බවය.

ජනපති සභාවේ සිට ලොබිය වෙත පැමිණෙද්දී සුපුරුදු පරිදි මන්ත්‍රීවරුන් ජනපති වටකර ගත්තේ ජර්මන් මාධ්‍ය ආයතනයක් සමඟ කළ කතාව ද ඇද ගනිමිනි. රට වෙනුවෙන් මෙන්ම ආසියාව වෙනුවෙන් කළ කතාව සැවොම අගය කළේය.

“සුදු හම දැක්කම ඔක්කොම බය වෙනවා. හැබැයි ජනාධිපතිතුමා සෘජුව කිව්වා අපිව දෙවෙනි පන්තියට තුන්වෙනි පන්තියට දාන්න එපා කියලා. එය ඉතාම අගය කළ යුතුයි.” මධුර විතානගේ මන්ත්‍රීවරයා කීවේය.

“ජනාධිපතිතුමා විදේශ රටවලට ගිහින් ලංකාව ගැන කතා කරනකොට විපක්ෂයේ අයගේ ඇස්වල කටු අනිනවා වගේ. හැබැයි ඔබතුමා ජර්මනියේදීම කිව්වා ශ්‍රීමත් ගරු නාම භාවිතා කරන්නේ නෑ කියලා. හැබැයි ශ්‍රීමත් භාවිතා කළ කෙනාගේ පුතා තමයි අද ගොඩක් කලබල වෙලා තියෙන්නේ.” මන්ත්‍රී දොළවත්ත කියද්දී සැමට සිනහව නතර කරගත නොහැකි විය.

මන්ත්‍රීවරියන් පිරිසක් පැමිණ ජනපතිට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ බැංකු ඇතුළු සමහර රාජ්‍ය ආයතනවල සභාපතිවරු කිහිප දෙනෙක් හිතු මනාපෙට වැඩ කරමින් ඒ ආයතන කඩා වට්ටන බව කියමිනි.

“සර් මේ සීල් අරක්කුවල මිල වැඩි කරලා නිසා දැන් හුඟක් දෙනෙක් හොර මත්පැන්වලට ගිහිල්ලා. මේ ගැන මට කාන්තාවෝ රැසක් පැමිණිලි කළා. අනෙක් පැත්තෙන් රටට ආදායමක් එන්නෙත් නෑ.” ඇමැති ප්‍රසන්න රණවීර කියද්දී එහි සිටි සෙසු මන්ත්‍රීවරු “දැන් මෙතුමත් අමද්‍යප වෙලා” යැයි කියද්දී සැවොම කොක් හැඬලූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැටලු ගැන මන්ත්‍රීවරු විමසද්දී ජනපති කීවේ අපට ජනතාව මත තවත් බර පැටවිය නොහැකි බවකි. “ජනතාව කැපකිරීම් කරලා තියෙනවා. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරලා නෑ. මේ ආයතන දැනගන්න ඕනේ තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන්න. 2024 ඉඳලා ආදායම් එකතු කරන හැම ආයතනයකටම මම ඉලක්කයක් දෙනවා.” ජනපති කීවේ දැඩිවය.

එහි සිටි මහින්දානන්ද මන්ත්‍රීවරයා ද එවිට රේගුවේ ඇති ගැටලු කිහිපයක් පෙන්වා දුන්නේය. “ඔව් අයි.එම්.එෆ්. එකත් ඒ ගැන කියලා තියෙනවා.” වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා ද කතාවට එක්වූවේය.

“අපේ මන්ත්‍රීවරු එක්සත් ජාතීන්ගේ සම්මේලනයට රජයේ මුදල් වියදම් කරගෙන ගියා කියලා විපක්ෂ නායකතුමා බොරු කියනවා. හැබැයි රාජ්‍ය මුදල් වැඩියෙන්ම නාස්ති කරන්නේ එතුමා. විපක්ෂ නායක කාර්යාල වැය ශීර්ෂය යටතේ වෙන් කරන මුදල් මාස 6 න් ඉවරයි. ඒ නිසා ඔබතුමා කමිටුවක් දාලා හරි විපක්ෂ නායක කාර්යාලයේ වියදම් ගැන හොයන්න.” මධුර විතානගේ මන්ත්‍රීවරයා කියද්දී ජනපති සිනාසෙමින් හිස සැලුවේය.

“ජනාධිපතිතුමාගේ කියුබා විදේශ සංචාරයේ සිට එක්සත් ජාතීන්ගේ සම්මේලනයට යෑම හා බර්ලීන් සමුළුවට යෑම දක්වා විදේශ සංචාර බැලුවම ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව පෙරමුණට ඇවිල්ලා තියෙනවා. එදා ලංකාව ගැන තිබුණ වැරදි මත මේ නිසා නැති වුණා. එතුමගේ කතා අහපු විදේශ නායකයෝ කිව්වේ අසියාවේ හා අප්‍රිකාවේ රන් හඬ වෙලා තියෙන්නේ එතුමා කියලා. වොයිස් ඔෆ් ඒෂියා ඇන්ඩ් අප්‍රිකා කියලා තමයි ඔවුන් කියන්නේ.” මන්ත්‍රී වජිර කියද්දී සැවොම හිස සැලුවේය.

එදින සවස බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වෙත ජනපති පැමිණියේ කොතලාවල ආරක්ෂක පීඨයේ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වීමටය. ජනපති උපදෙස් මත එදින සවස කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සූම් සාකච්ඡාවක් ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හා කතා බස් කර තිබුණි.

බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති රනිල් ෂැන්ග්‍රිලා හෝටලය වෙත ගියේ ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ හා පරිසර බලධාරීන්ගේ 05 වැනි සංවත්සරයට සහභාගි වීමටය. ඊට සහභාගි වී පැමිණෙද්දී ජනපති රනිල් ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් හිමිකර ගත් පාසල් ශිෂ්‍යාව වන තරුෂි කරුණාරත්නට දුරකථන ඇමතුමක් දී සුබපැතුවේ ඇය දිරිගන්වමිනි.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment