විසකුරු සර්පයා දැක නෑර රකින විරල හදවත්

1128

නාගයන්, පොළඟුන් යනාදී උග්‍ර විෂ සහිත සර්පයන් පවා අපේ පරිසරයේ වැදගත් සාමාජිකයන් කොටසක් බවත් මතුපිටින් නොපෙනෙන ලොකු සේවයක් මේ සතුන්ගෙන් ද පරිසරයට සිදුවන බවත් සර්පයන් ගැන දරුවන්ට ළමා අවධියේ සිටම දැනුවත් කිරීම වැදගත් බවත් අනතුරට පත්වන සර්පයන් මුදා ගැනීමේ සත්කාර්යයක නියැළී සිටින චතුර උදයංග ලක්මාල් විමලසූරිය මහතා පවසයි.

හෙතෙම අ.පො.ස. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත්ව නිල්වලා විද්‍යා පීඨයේ තෙවසරක ගුරු පුහුණුව ලබා පස්සර පැල්ගහතැන්න මහා විද්‍යාලයේ විද්‍යා විෂයය උගන්වන ගුරුවරයෙකි.

ඔහු සොයා බදුල්ල බුලත්වත්ත ගමේ පිහිටි නිවසට ගිය අපට දක්නට ලැබුණේ තැන් තැන්වලින් මුදා ගත් තවත් සර්පයන් ගණනාවක් බඳුන්වල දමා වන රක්ෂිතවලට මුදාහැරීමට සූදානම් කර සිටින අයුරුයි.

මම දැනට විවිධ සර්පයන් අනූහය දෙනෙක් (96) අවදානම් ස්ථානවලින් මුදාගෙන නමුණුකුල සහ වික්ටෝරියා යන වන රක්ෂිතවලට මුදාහැර තිබෙනවා. ඉන් වැඩි දෙනා නාගයන්. මා ගැන දන්නා අය දුරකථනයෙන් ඉල්ලීම් කළ පසු ගොස් නිවෙස් සහ ගෙවතුවලින් සර්පයන් ඉවත් කර දෙනවා. මෙතෙක් කිසිදු සර්ප දෂ්ටනයක් සිදුවී නැහැ යැයි පැවසූ චතුර උදයංග ලක්මාල් විමලසූරිය මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

මම මේ කාර්යය ආසාවෙන් නොමිලේ කර දෙමින් ලොකු සතුටක් ලබනවා. නමුත් සමහර දෙනා යතුරුපැදියට ඉන්ධන ලබාදුන් අවස්ථා තිබෙනවා.

ප්‍රතිකාර ලබන සර්පයන් තුවාලය සහිතව වනයට මුදා නොහැර ගොදුරක් ගිලින්න පුළුවන් වනතෙක් නිවසේ තබාගෙන පෝෂණය ලබා දෙමින් රැක ගන්නවා. ඔවුන්ට බිත්තර මද දියකර සාදා ගත් සාරුව සිරින්ජරයක සහ සේලයින් බටයක ආධාරයෙන් පොවනවා.

මේ සඳහා පාසල් ගුරුවරියක වන මගේ බිරිඳත් පහ වසර පන්තියේ ඉගෙනුම ලබන පුතාත් දෙවන වසර ඉගෙනුම ලබන දුවත් නොමඳ සහායක් ලබා දෙනවා.

අපේ රටේ සිටින තෙල්කරවලා, මුදුකරවලා, තිත් පොළඟා, වැලිපොළඟා, නාගයා සහ කුණකටුවා උග්‍ර විෂ සහිතයි. මිනිසුන් වැඩිපුරම ඉල්ලා සිටින්නේ නයා සහ පොළඟා වැනි සතුන් ඉවත් කර දෙන ලෙසයි.

සර්පයන් අපට කරන සේවය නොපෙනුනත් පරිසරයේ සතුන් ගොදුරු කරගෙන අසාමාන්‍ය ලෙස වැඩිවීම පාලනය කරනවා. තෘතීයික යැපෙන්නන් වන මේ සතුන් විශාල සතුන් සංඛ්‍යාවක් මත යැපෙනවා. මාස තුනෙන් තුනට පැටව් දමන මීයන්ගෙන් මාරාන්තික මී උණ, මහාමාරියාව ආදී රෝග මෙන්ම අස්වනු හානි වළක්වා ගැනීම සරල උදාහරණයක්.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment